ගමන් මග නිවැරදි කිරීමකට වඩා පැහැදිලිව කිවහොත් ගෙවුණු සතියේ සිදුවූ කැබිනට් තනතුරු මාරුව සමාන කළ හැක්කේ ගමන් දිශාව නිවැරදි කිරීමකටම නොව ක්‍රිකට් හෝ රගර් වැනි ක්‍රීඩාවක දී ක්‍රීඩකයන් මාරු කරනවා වැන්නකටය.
දැනගන්නට තිබෙන ආකාරයට, දුර්වල කාර්යසාධනයක් පෙන්වූ තිදෙනෙක්, ඊට වඩා හොද කාර්යසාධනයක් පෙන්වීයැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිගමනය වූ තවත් තිදෙනෙක් සමග මාරු කිරීම සිදුව ඇත.
දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව ලැබෙතැයි එදින උදැෑසන සිය ජංගම දුරකතනයට ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි කිහිපදෙනෙක්ටම අවසන සිදුවූයේ පසුතැවිලි වන්නට ය. ඉහත සදහන් කළ අය හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ වෙනත් වෙනසක් සිදුවූයේ නැති අතර මෙම ව්‍යායාමය එයට මුල් වූ ප්‍රධාන අරමුණ මෙන්ම එම අවස්ථාවේ දී පැන නැගි අවශ්‍යතාවය මුල් කරගෙන සිදුකෙරුණක් පමණක්ම විය.
පළමුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් කිරීම අවධානයට ගනිමු.
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාතික තලයේ වූ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිසි ප්‍රතිචාරයන් නොදැක්වූ බව රහසක් නොවේ. එම සිදුවීම් අතර, ලබන මස 13 වැනිදා පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ප්‍රධානය.
ගෙවුණු මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව අරබයා සම්මත වුනු යෝජනාවලිය මෙම සැසිවාරයන්වල දී නැවත සාකච්ඡාවට ගැනීමට නියමිත අතර එම යෝජනාවලිය ගෙන ඒමට පෙරමුණ ගත් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායමේ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සැළසුම් කරමින් සිටින බව ද සැළය.
තවත් බරපතල පන්නයේ යෝජනාවලියක් එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත්ව ඇත. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජය මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රධානීන් සමග තිරසාර සබදතාවන් පවත්වාගැනීම අනිවාර්යය අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.
මීට වසරකට පෙර කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් අවස්ථාවේ දී නව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සිටියේ එම තනතුර තමාට ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන්ය. නමුත් ඊට වඩා පක්ෂයේ සහාපතිධූරය වැදගත් යැයි ඔහුට උපදෙස් දී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය මෙන්ම නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය. එනිසාම, ජී.එල් පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යධූරය භාරගැනීමට එකගව ඇත.
මෙවර ද දෛවෝපගතව මෙන් ජී.එල් පීරිස් මහතාහට විදේශ කටයුතු අමාත්‍යධූරය ලබාදීමට සම්පූර්ණ එකගත්වය පළකර ඇත්තේ ද බැසිල් රාජපක්ෂ මහතාමය. එය ඔහු හිටපු ස්ථාවරයෙන් අංශක 180 ක ආපසු හැරීමකි. අනෙක් අතට හිටපු විදේශ කටයුතු අමාත්‍ය ගුණවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා අතර නොයෙකුත් හැලහැප්පීම් පැවැති බව ද රහසක් නොවේ.
ගෙවුණු සමයේ පැවැති විවිධ සම්මන්ත්‍රණවල දී, ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින විදේශ ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් නිවැරදි යැයි කොළඹගේ මහතා නිතර ප්‍රකාශ කළ මුත් එම ප්‍රතිපත්තිය මත පිහිටා ආර්ථික වශයෙන් සාර්ථකත්වයක් අත්කරගැනීමට රජයට නොහැකි විය. අපේක්ෂා කළ පරිදි සෘජු විදේශ ආයෝජනයන් දිනාගැනීමට නොහැකිවීම සම්බන්ධව ඔහු සැබැවින්ම කණගාටුව පළකළ අවස්ථා ද තිබුණු බව සදහන් කළ යුතු වේ.
එම පසුබිම යටතේ සැළකුවහොත්, වෙළද ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර නියෝජනය කරන බලධාරීන් එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කටයුතු කළ අවුල් සහගත විලාශය ඔහු වුවමනාවෙන්ම නොසළකා හැරීම නිසාවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඔහු ද සිය රාජකාරියේ අපොහොසත්ව ඇති බව කිව හැකි ය.
මේ ආකාරයෙන්, සියලු වැරදි විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් මත පැටවීම, විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වය ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට තබා වෙළදුන් සහ සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක පවතින විට, කොතරම් දුරකට සාර්ථකදැයි යන්න ප්‍රබල ගැටලුවකි.
පැරණි අමාත්‍යවරයා නික්ම යන - නව අමාත්‍යවරයා වැඩ භාරගත්, අවස්ථාව සනිටුහන් වූ ගෙවුණු සඳුදා නව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම කැපී පෙනිණ. අමාත්‍යංශයේ විවිධ අංශවල ප්‍රධානීන්, ලොවට පෙනෙන රටේ මුහුණත වන විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධයෙන් නව අමාත්‍යවරයා අනුගමනය කිරීමට යන දැක්ම දැනගැනීමට පුලපුලා බලාගෙන සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. නික්ම ගිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද අදහස් දැක්වීමක් කළේ නැත.
ව්‍යවස්ථා සංශෝධනය ඉක්මන් කිරීම
මෙම තීරුවෙන් පසුගිය සතියේ අනාවරණය කළ ආකාරයට, එක්සත් ජනපදය සමග වන සබදතා යහපත් අතට හරවාගැනීම සදහා තිරය පසුපස සිට මෙහෙයුම් දියත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනටමත් පියවර ගෙන ඇත. මෙරට එක්සත් ජනපද තානාපතිනී ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයකට ජී.එල්.පීරිස් මහතාද සහභාගීව සිටි අතර, එයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ද එක්ව සිටියේ ය.
රජයේ ආරංචි මාර්ගයක් මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරමින්, ජී.එල් පීරිස් මහතාට එසේ එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගීවන්නැයි උපදෙස් දී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා යැයි පැවසුවේය.
ඔහු එසේ සහභාගී කරවීමේ අරමුණ සංහිදියාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සිතැඟි දැනගැනීම වී තිබෙන අතර, සංහ`ිදියාව සම්බන්ධයෙන් වන යෝජනා කිසිවක් රාජපක්ෂවරුන්ගෙන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොදුවේ ඉදිරිපත් කෙරෙන්නන් ලෙස මින් ඉදිරියට වෙනසක් සිදුකිරීමට නව මුදල් අමාත්‍යවරයාට වුවමනා වී ඇත. සංහිදියාව අරබයා යම් සාකච්ඡාවක් ආරම්භ වූ සෑම අවස්ථාවකම පාහේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය එයට ඈඳීමට මහාචාර්ය පීරිස් මහතා කටයුතු කළේ යැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේ ය.
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ නායක රාජ්වරෝයතම් සම්බන්ධන් මහතා පසුගිය 18 වැනිදා, ජනපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමුකරමින් ජූලි මස 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබී කල්දැමුණු රැස්වීම නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලා සිටියේය. පිටු තුනකින් සමන්විත වූ එම ලිපියේ මෙසේ සදහන්ව තිබිණ.
රජය සහ දෙමළ සන්ධානය අතර යළි සාකච්ඡා ආරම්භ කිරීමට අවස්ථාව සැළසෙන සේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවල එක්සත් ජනපදයේ භූමිකාව සම්බන්ධයෙන් ද සහ දෙපාර්ශවය සාකච්ඡා පැවැත්වීමට යන්නේ යැයි පළවූ වාර්තා අරබයා දේශීය මෙන් විදෙස් ඩයස්පෝරා කණ්ඩායම් දැක්වූ ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් ද ඉන්දියානු මහකොමසාරිස්වරයා දැනුම්වත් කිරීම මෙම සාකච්ඡාවල අරමුණව ඇත. සංහිදියාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කිරීමේ ක්‍රියාවලියට මුල පිරීමක් සිදුව තිබෙන බවක් පෙනෙන්නට ඇත. එක්සත් ජනපද තානාපතිනියගේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතා හමුවීමෙන් පසුව සම්බන්ධන් මහතා මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද අවස්ථා දෙකක දී හමුව තිබේ.
ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. 1972 සහ 1978 ව්‍යවස්ථාවන් සම්පාදනය කිරීමට ගතවූයේ වසර දෙකකුත් සහ මාසයක් වැනි කාලයකි. නමුත් වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පුරා වසර 32 ක්ම දිවෙමින් පවතින්නකි.
දෙදෙනා අතර පැවැති දෙවැනි රැස්වීමේ දී, දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසකට ඉන්දියා සංචාරයක් සදහා ආරාධනා කිරීමේ සැළසුමක් සම්බන්ධයෙන් ද, අදහස් හුවමාරු වූ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් පැවසුවේ ය.මෙම සංචාරය සංවිධානය කිරීමට නියමිතව තිබෙන්නේ එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ය.ඉතිහාසය අනුව මෙන්ම සාම්ප්‍රදායික වශයෙන් ද, තමන් මෙතෙක් දායකත්වය දෙන නායකත්ව භූමිකාව තවදුරටත් එළෙසම පවත්වාගැනීම ඉන්දියාවේ කැමැත්ත වේ.මෙම සංචාරයේ දී, දෙමළ ජාතික සන්ධාන දූත පිරිස ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයරාම් ජයිශංකර් සහ ජාතික ආරක්ෂාව පිළිබද උපදේශක අජිත් දෝවාල් හමුවනු ඇත.ගෙවුණු අගහරුවාදා, නව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් ද, කොළඹ දී, ඉන්දියා මහකොමසාරිස්වරයා හමුවිය.
කෘතහස්ථ මෙන්ම වෘත්තිමය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ටෙප්ලිට්ස්ගේ ධූර කාලය නුදුරේදීම අවසන්වීමට නියමිතය. තමන් යටතේ ආරම්භ කෙරුණු සාකච්ඡා ඉදිරියට යන බව සහතික කිරීමට ඇයට ඇවැසි යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් සදහන් කරයි. ඇයගේ අනුප්‍රාප්තිකයා වන ජූලි චන්ග් මේ වන විට සිටින්නේ සිය පත්වීම සදහා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවන තෙක්ය. ඇය බොහෝදුරට ලබන ඔක්තෝබර් මාසය පමණ වන විට කොළඹට පැමිණෙනු ඇත.
පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අත්දැකීම් බහුල මෙන්ම ඉතා මිත්‍රශීලී දේශපාලකයෙකි. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහුට ඉතා භාරදූර රාජකාරියක් පැවරී තිබෙන අතර නව අමාත්‍යවරයා හමුවීම රජය සමග ආරෝවක පැටලී සිටින ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත. කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටේ පාසල් තිබෙනුයේ දීර්ඝ කාලයක් තිස්සේ වසා දමාය. ඒවා විවෘත කෙරෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කැරුණු මුත්, එසේ සිදුවූයේ නැත.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කොවිද ගුණසේකර