ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට මානසික හේතු මත ඇතිවන තත්ත්වයකි. එහෙත් මෙය රෝග හා ඇතැම් ඖෂධ නිසාත් ඇතිවෙන අවස්ථා තිබේ. මේ සම්බන්ධ මිථ්‍යාමත හා වැරදි අවබෝධය බොහෝ විට දක්නට ලැබේ.
ලිංගික අප්‍රාණිකත්වය පවුල් ජීවිතයක් දෙදරා යාමට බොහෝ දුරට හේතු වේ. මේ නිසා ඇතැම් පිරිස් විවාහයට පෙර පවා තමන් ගෙවන ජිවිතයේ ඇතැම් අසම්මත දෑ මෙන්ම වැරදි විශ්වාස විවාහයට බලපාවි යැයි සැකෙන් බියෙන් පසුවෙන අවස්ථා තිබේ. මෙනිසාම මානසික බලපෑම ප්‍රාණවත් බවට බලපාන අවස්ථාද ඇත.
කෙසේ වුවද මේ දිනවල කොවිඩ් තෙවැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති වන්නේ යැයිද බොහෝ පිරිස් අතර මතයක් පවතී. එනිසාම මෙම එන්නත ගැසීම ගැන දෙවරක් සිතන පිරිස් පවා අපට හමුවෙයි. එබැවින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට මෙම එන්නත බලපාන්නේ දැයි යන්න පිළිබඳ කරුණු විමසා බැලීමට සිතුවෙමු.
ඉහත සඳහන් සෞඛ්‍යමය ගැටලුව පිළිබඳ අපේ රටේ බෙහෙවින් විවිධ මත පවතී. එහෙත් ලිංගික අප්‍රාණිකත්වය පිළිබඳ කර තිබෙන පර්යේෂණ වලින් පෙනී යන්නේ අපේ රටේ වයස අවුරුදු 40-70 අතර පිරිමි පුද්ගලයන්ගෙන් සියට 10ක් පමණ බරපතළ ලෙසට හෝ සම්පූර්ණයෙන්ම ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන බවය.
අප්‍රාණිකත්වයට හේතු මොනවාද?
පුරුෂ ලිංගය සෑදී තිබෙන්නේ උත්තේජනය කළ හැකි රුධිර නාළවලිනි. මෙය පිරිපුන් ස්පොන්ජ්මය පටකයකින් සමන්විත වේ. මෙම රුධිර නාළවලට රුධිරය පිරීම මගින් ප්‍රාණවත්වීම සිදුවේ. මෙම රුධිර නාළවලට හානියක් සිදු වුවහොත් හෝ රුධිර නාළ අවහිරතාවක් සිදු වුවහොත් හෝ නැතහොත් ලිංගේන්ද්‍රය උත්තේජනයට අවශ්‍ය ස්නායුවලට යම් බලපෑමක් වුවහොත් බොහෝ විට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.
විශේෂයෙන්ම රුධිර සංසරණ පද්ධතියට හා රුධිර නාළවලට හානි කරන දියවැඩියාව, රුධිරය කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ යාම හා දුම්පානය වැනි හේතු මත මෙවැනි ගැටලු සුලබව ඇතිවේ. ඊට අමතරව මානසික ආතතිය, මානසික රෝග, හෝමෝන ඌනතා හා විවිධ ඖෂධ වර්ග ගැනීම වැනි හේතු නිසාත් ලිංගික අප්‍රාණිකත්වය ඇති වන බවට තහවුරු වී තිබේ.
කොවිඩ් එන්නත යම් තරමකට බලපානවාද?
දැනට ලෝකයේ විවිධ කොවිඩ් මර්දන එන්නත් වර්ග කිහිපයක් භාවිතා කරයි. එනම් ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, සයිනෝෆාම්, මොඩර්නා, සයිනෝවැක් වැනි එන්නත් වර්ග රාශියකි. මෙම එන්නත් කිසිවකින් හෝ වර්ධක මාත්‍රාවලින් කිසියම් ලෙසකට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන බවට මෙතෙක් කිසිම සාධකයක් සොයාගෙන නැත. ලෝකයේ මේ පිළිබඳ පර්යේෂණ රාශියක් සිදුකර තිබේ. එම කිසිම පර්යේෂණයකින් කොවිඩ් මර්දන එන්නත නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවූ බවට තහවුරු වී නැත.
● කොවිඩ් ආසාදනය බලපානවාද?
කොවිඩ් වයිරසය ආසාදනයට ගොදුරු වන රෝගීන් ගෙන් ලිංගික අප්‍රාණිකත්වය යම් තරමකට ඇතිවන බවට ලෝකයේ මේ සම්බන්ධව කරන පර්ෙ ය්ෂණවලින් නම් සාක්ෂි මතුවෙමින් පවතී. මේ සඳහා කොවිඩ් වයිරසය හා සම්බන්ධ කායික මෙන්ම මානසික හේතුද බලපාන බව පර්යේෂකයෝ සඳහන් කරති.
කොවිඩ් ආසාදනය වීමෙන් රුධිර නාළවල බිත්තිවලට හා රුධිර සංසරණ පද්ධතියට ඇති කරන හානි නිසා ලිංගේන්ද්‍රයේ රුධිර නාළවලටද හානි සිදුවිය හැකිය. කොවිඩ් වයිරසය පුද්ගලයාගේ ස්නායු පද්ධතියට එල්ල කරන බලපෑමද මෙයට හේතු විය හැකිය. එසේම මෙම වයිරසය වෘෂණ කෝෂවලට හානි කළ හැකිය. එසේ වුවහොත් පුරුෂ හෝමෝනවලට මෙන්ම ශුක්‍ර තරලයේද යම් යම් වෙනස්කම් සිදුවන බව වෛද්‍ය මතය වී තිබේ.
මෙහිදී ශාරීරික හානිවලට අමතරව මෙම ආසාදනයට ගොදුරු වීමෙන් ඇති වන මානසික ආතතිය නිසාද ලිංගික අප්‍රාණිකත්වය ඇති වන බවට මත පළ වී තිබේ. මෙම කරුණු කාරණා සලකා බලන විට ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට හේතු රාශියක් තිබුණද කොවිඩ් මර්දන එන්නතෙන් මේ කිසිදු බලපෑමක් නැති බව කිව යුතුවේ.
එසේම මෙම එන්නත ලබාගැනීවීමෙන් රෝගයෙන් වැළකීමට ප්‍රතිශක්තිය ලැබේ. එයින් පුද්ගලයාට කායික මෙන්ම මානසිකව බලපාන ඉහත සඳහන් ගැටලුවලින් වැළකිය හැකි බව පැහැදිලිවම සඳහන් කළ හැකිය.
මේ නිසා කිසිම පුද්ගලයකු මෙම ප්‍රතිශක්ති එන්නත් පිළිබඳ වරදවා වටහා නොගත යුතුය. එය ලිංගික අප්‍රාණිකත්වයට යම් තරමකට හෝ බලපෑ හැකි කොවිඩ් රෝගයෙන් වැළකීමට තිබෙන පිළියමකි.
වෛද්‍ය ප්‍රතිකාර තිබේද?
ලිංගික අප්‍රාණිකත්වය තිබෙන කෙනකු ඒ නිසා මානසිකව තැවිය යුතු නැත. අද වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් අනුව මෙවැනි කරුණු කාරණා සඳහා නවතම ප්‍රතිකාර තිබේ. එහෙත් මෙවැනි ගැටලුවලට මුහුණ පා තිබේ නම් ඒ සඳහා පළමුව කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමය. ඒ අනුව නිසි ප්‍රතිකාර මගින් මෙවැනි ගැටලු විසදා ගත හැකිය.
ලිංගික අප්‍රාණිකත්වය වැනි ගැටලු මඟ හරවා ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර බෙහෙවින් තිබේ. ඒ නිසා එවැනි දෑ ගැන බිය විය යුතු නැත. මෙවැනි ගැටලු නිසා විවාහ දිවිය දෙකඩ කරගත යුතුද නැත. තමන්ට යම් සැකයක් පවතී නම් විවාහ වීමට තීරණය කර තිබෙන්නේනම් ඊට පෙර නිසි ප්‍රතිකාර සඳහා යොමු වී තමන් ගේ සැකය බිය දුරු කර ගත යුතුය.
වෛද්‍ය උපදෙස් හැර කෙනකු කී පමණින් මුළා නොවී අදාළ එන්නත් මාත්‍රාව ලබාගෙන සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට සෑම කෙනෙක්ම සිතට ගත යුතුය. ඒ හැර එවැනි නොමිලේ ලැබෙන ප්‍රතිශක්ති එන්නත මඟ හැර අමාරුවේ නොවැටෙන්න යැයි මෙහිදී නැවතත් මතක් කර දිය යුතුවේ.
සටහන:- ශිරාණි ගල්ලෑල්ල
හම්බන්තොට මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිකා පෙරේරා