අන්ත පරිහානියට ලක් වෙමින් පැවැති සිංහල භාෂාව යළි ඔසොවා සවිමත් කිරීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටු කළ මෙරට බිහි වූ අද්විතීය භාෂා විශාරදයාණන් වන කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් දැයෙන් සමුගෙන මේ මස දෙවන දාට සැත්තෑනව වසරක් සපිරෙයි.
එතුමන් ඇරැඹූ බස් මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා පිහිටුවාගත් හෙළ හවුල ඒ වෙනුවෙන් සෑම වසරෙකම මාර්තු මස දෙවනදා සමරු උළෙලක් පවත්වන බව බොහෝ දෙනා දනිති. කුමරතුඟු දිනය වශයෙන් හෙළහවුල හඳුන්වන මාර්තු මස දෙවනදාටම සිංහල භාෂා දිනය ද යෙදී ඇති නිසා මවුබස වශයෙන් සිංහලය භාවිත කරන සෑම දෙනාටම එදින සුවිශේෂ දිනයක් වන බව වෙසෙසින් කිව යුතු නොවේ. සෑම කෙනකුටම තම මව තරම් අගනා වස්තුවක් නැත්තා සේ ම තම මවුබස තරම් අගනා සම්පතක් නැති බව ද අමතක නොකළ හැක්කකි.
කෙනකු ගේ චින්තනයේ පදනම රඳා පවත්නේ ඔහු සතු භාෂාඥානයේ ප්‍රමාණයට බව සෑම මනෝ විද්‍යාඥයකුම පාහේ පිළිගන්නා කරුණකි. එපමණක් නොව කෙනකුගේ පෞරුෂය විදහා පාන ප්‍රධාන සාධකය රඳා පවත්නේ ඔහු ලත් භාෂා ප්‍රවීණත්වයේ ප්‍රමාණයට බව ද පිළිගත් සත්‍යයෙකි. බසින් තොරව පවත්නා කිසිදු විෂයයක් හෝ ශාස්ත්‍රයක් හෝ ආගම දහමක් හෝ ලොවෙහි නොමැත. භාෂාව සියලු විෂයයන් රඳා පවත්නා බඳුන ලෙස සලකන්නේ එහෙයිනි.
බසින් ලැබිය හැකි සියලු සම්පත් නිසි ලෙසින් ලබා ගැනීමට නම් ඒ සඳහා නිරවුල් සවිමත් බස් වහරක් තිබිය යුතුය. වහරන බස අවුල් නම් ඒ බස වහරන පුද්ගලයා පමණක් නොව ඔහු සිටින සමාජය ද අවුල් ජාලයක් වීම නොවැළැක්විය හැක්කකි.
ඊශ්‍රායලයේ බෙන්හුයෙදා අන්තයටම පිරිහී ගිය ජාතිය ගොඩ ගත්තේ ඒ වන විට අවුල්ජාලයක් බවට පත් ව තිබූ ඊශ්‍රායල් බසට යළි පණ දීමෙනි. කුමාරතුංග මුනිදාසයන් කළේද එවැනිම ජාතික මෙහෙවරකි. එතුමන් පහළ වූ යුගය අධිරාජ්‍යවාදීනට රට යටත්ව පැවැති වකවානුවෙකි. ඒ හේතුව නිසාම සිංහල භාෂාව අන්ත පරිහානියක් කරා යමින් පැවැතිණි. විවිධ හේතු නිසා මෙකල පවත්නා භාෂා පරිහානිය ඊට වඩා කීප ගුණයෙකින් උග්‍ර වී ඇත. එය කොතරම් දැරුණුදැයි කිවහොත් අද සිංහලය යයි කිව හැකි බසක් ඉතිරි වී නැති පමණටම කරුණු යෙ දී ඇති ආකාරය බුද්ධියෙන් විමසා බලන විට පසක් කැර ගත හැකිය.
බසෙක ජීවය රඳා පවතින්නේ එබසට අයත් ව්‍යාකරණය මතය. ‘‘විනයොනාම සාසන ආයු’’ යනුවෙන් කී පරිදි සස්න පවත්නේ විනය රක්නා තෙක් පමණය යන දහම්පදය සසුන පිළිබඳ පරම සත්‍යයක් වන්නා සේම බස පිළිබඳව ද එවැනිම සත්‍යයක් වියරණය හා සම්බන්ධ කොට ද සඳහන් කළ හැකිය. භාෂාවේ විනය නම් එහි වියරණයම මිස අන් කිසිවක් නොවේ.’’ ව්‍යාකරණො නාම භාසාය ආයු’’ යනුවෙන් පෙළබසින් තනාගත් නව ආර්ථ කථනයක් ඒවෙනුවෙන් සමාජගත කළ හැකි නම් ඒ කෙතරම් අගනේදැයි සිහිවන්නේ එහි අරුත තව තවත් ගැඹුරින් දකින විටය.
බස වෙනුවෙන් කුමරතුඟුන් සිය දිවිය කැප කළේ මේ පරම සත්‍යය සමාජයට ඒත්තු ගැන්වීමේ පවිත්‍ර චේතනාවෙනි. එහෙත් අද සිදු වෙමින් පවත්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ වියරණ විරෝධී භාෂා නාශක ව්‍යාපාරයෙකි.’’
සංවරව ලිවීමට ලියන භාෂාවේ ව්‍යාකරණය නමින් අමුතු ව්‍යාකරණ ක්‍රමයක් රැකගෙන එන්නේ මහත් මුළාවකින් බවත්, අමුතු ප්‍රයෝජනයක් නැති නම් අමුතු ව්‍යාකරණයක් ඉගෙනීමට අවුරුදු ගණන් ගත කිරීම වැදගත් දෙයකට යෙදිය යුතු කාලය අපතේ යැවීමක් බවත් කියමින් වියරණයත් වියරණ ගැන කතා කරන්න වුනුත් අවඥාවට ලක් කරන විද්වතුන් ලෙස පෙනී සිටින නූතන ඇතැම් වාග් විද්‍යාඥයන් ගෙනයන වියරණ විරෝධී ව්‍යාපාරය ඒ අතර ප්‍රමුඛස්ථානය ගෙන තිබේ.
මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන ඒ පිළිබඳ විද්වතුන් කුමරතුගු මඟට ඉඳුරා පටහැනි නව වියරණ පොත පත මඟින් පළ කරන මතවාද ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ඒ සමඟම තවත් විද්වත් පිරිසක් වියරණ මරමින් ලියාපළ කරන පොත පතට ආවඩමින් ඔවුන් නව බස් වහරක් කරා යන විශිෂ්ට ලේඛකයන් වශයෙන් හඳුන්වා දෙමින් ඒ වියරණ විරෝධි ව්‍යාපාරයට තවත් අතකින් අනුබල දෙති. ඒ සමගම තවත් විද්වත් පිරිසක් කට වහරේ බසින් ලියන්නන් දිරි ගන්වමින් තව තවත් අය ද ඊට පෙළඹවීමේ ව්‍යාපාරයක නියැලී සිටිති. මෙවන් භාෂා නාශක ව්‍යාපාරවල මුල්තන්හි සිටින්නේ සුළු පටු පුද්ගලයන් නොවන නිසා ඊට එරෙහිව මුහුණ දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව කාහට වුවද පසක් කැර ගත හැකිය.
මෙවන් ගැටලුවලට මුහුණ දුන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවල් සිය බස රැක ගනු බස් රාජ්‍යය අනුග්‍රහයෙන් භාෂා ඇකඩමි නමින් භාෂා සංරක්‍ෂණ මණ්ඩල පිහිටුවා බසට හානි කරන්නවුන් ගෙන් එය රැක ගැනීමට ගෙන යන ජාතික ව්‍යාපාර ආදර්ශයට ගෙන මෙරටෙහි ද එවන් පියවර ගැනීමට අවශ්‍ය කාලයක් දැන් එළඹ තිබේ.
රාජ්‍යය භාෂාව වශයෙන් ද සම්මතයේ පවත්නා සිංහල නිරවුල්ව සවිමත්ව පවත්වාගෙන යාමේ වගකීම අන් හැමටම වඩා රජයට පැවැරෙන්නක් බව මෙහිලා අමතක නොකළ යුත්තෙකි.
ඒ සඳහා බස පිළිබඳ වගකීම් හා සබඳතා පවතින අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය වැනි රජයේ ආයතන මුල්කොට ගෙන පිරිවෙන් හා සබැඳි ප්‍රධාන ආයතන ද රජයේ ලියාපදිංචි භාෂා සංවිධානයක් වශයෙන් අවුරුදු අසූඑකකට අධික කාලයක් ක්‍රියාත්මක වන හෙළ හවුල වැනි භාෂා සංවිධානද නියෝජනය වන වියත් මඩුල්ලෙකින් යුත් භාෂා ඇකඩමියක් හෙවත් භාෂා සංරක්‍ෂණ ආයතනයක් පිහිටුවා ගැනීමට සිංහල භාෂා දිනය වශයෙන් සමරු උත්සව පවත්වන මෙවන් අවස්ථාවකදීවත් අවධානය යොමු වන්නේ නම් එය බස වෙනුවෙන් කරන මහඟු මෙහෙවරක් වශයෙන් අගය කළ හැක්කෙකි.
අ.ආ ගුණතිලක