භාෂාව හිතුමතේ විකෘති කිරීමට මාධ්‍යයට අයිතියක් නෑ


විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි දශක පහකට අධික කාලයක අත්දැකීම් ඇති ප්‍රවීණ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න මහතා රචනා කළ “ඇසිදිසි ‘මාධ්‍ය චාරිකාව” කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළි දැක්වුණි. කලක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ කතුවරයා ලබාගත් විෂයානුබද්ධ දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් පිළිබඳවත් පෞද්ගලික ජීවිතයේදී කතුවරයා ලැබූ අත්දැකීම් ගැනත් තොරතුරු එකතුවක් මේ කෘතියට ඇතුළත් වේ.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ඉංජිනේරු වැඩ සටහන්, ප්‍රවෘත්ති, වාණිජ හා කළමනාකරණ යන අංශවල ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් ලැබූ අත්දැකීම් මෙසේ කෘතියකට නැගීම මේ ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කරන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. මතු දැක්වෙන්නේ රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ නවතම කෘතිය පදනම් කොටගෙන අප කළ සංවාදයකි.

• ඔබ වෘත්තීය ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් ලැබූ අත්දැකීම් කෘතියකට සංග්‍රහ කළ යුතු යැයි කල්පනා කළේ ඇයි?

මුලින් මෙවැනි කෘතියක් ලිවීමේ අදහසක් මට තිබුණෙ නැහැ. එහෙම අවශ්‍යතාවක් නොදැනුණු එක් හේතුවක් තමයි මේ විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඒවායේ මූලධර්ම සම්බන්ධයෙන් ශාස්ත්‍රීය මට්ටමින් ලියැවුණු ඉංග්‍රීසි-සිංහල පොතපත බොහොමයක් තිබෙනවා. මාධ්‍ය අධ්‍යයනය පාසල් විෂයක් හැටියටත් අද භාවිත කෙරෙන නිසා මේ ක්ෂේත්‍රවල මූලධර්ම ආදිය ගැන දරුවන් පවා දන්නවා. 

ඒත් මගේ මිතුරන් අවස්ථා බොහොමයකදී ඉල්ලා සිටියා මාධ්‍ය ජීවිතයේ ගමන් මඟේදී ලැබූ අත්දැකීම් ලියා තබන්න කියලා. ඒ ගැන කල්පනා කරනකොට තමයි මටත් වුවමනාවක් ඇතිවුණේ මෙවැනි පොතක් ලිවීමට. කෘතිය රචනයේදී මා බොහෝ වෙලාවට මහන්සි ගත්තා පාඨකයාට වෙහෙසකින් තොරව මේ කෘතිය කියැවිය හැකි රචනා මාර්ගයක් යොදා ගන්නට.

• ඔබ ලැබූ විවිධ අත්දැකීම් කියවා බලනවිට ඒ හරහා මේ රටේ එක්තරා යුගයක ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික අංශ වෙත එබී බැලීමක් සිදුකළ හැකියි නේද?

ඔව්. එම කාරණයත් සමඟ මම එකඟ වෙනවා. විශේෂයෙන් මීට දශක කිහිපයකට පෙර මාධ්‍ය ඉතිහාසය අධ්‍යයනය කරන කෙනෙකුට මේ තොරතුරු වැදගත් වේවි. අනෙක් කාරණය මාධ්‍ය භාවිතයේදී අප එදා අනුගමනය කළ ක්‍රමවේද කෙබඳුද යන්න වටහාගත හැකියි. එදා විද්‍යුත් මාධ්‍යයක සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවීමේ වෙනසක් අදට වඩා දක්නට ලැබුණා. වත්මන් මාධ්‍යවේදියා නොබියව ඇතැම් විට ආවේගාත්මකව ප්‍රශ්න කරනවා ඕනෑම දේශපාලකයකුගෙන්. ඒත් දශක කීපයකට පෙර තත්ත්වය ඊට වෙනස්. භාවිත කරන භාෂාවේ යම් සංයමයක් තිබුණා. එදා දේශපාලකයන්ටත් මීට වඩා මහජන ප්‍රසාදයක් තිබුණා. කිසියම් වරදක් කරපු දේශපාලකයකු සිටියොත් ඔහුට අපහසුවන ලෙස ප්‍රශ්න යොමු කළේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයා දන්නවා ඔහු වරදක් කර ඇති බව.

ඒ වගේම රේඩියෝ සිලෝන් ආයතනයේ ඉතිහාසයේ යම් යම් රසවත් සිදුවීම්, ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය, 1979 දී මෙරට ප්‍රථම රූපවාහිනී සේවය ආරම්භ කිරීම, ප්‍රථම සජීවී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, නිසි බලධරයකු පත් කිරීම, 1989 දී කළ ප්‍රථම රූපවාහිනී රියැලිටි වැඩ සටහන, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ප්‍රතිපත්ති වගේ කරුණු ගැන තොරතුරු නොදන්නා කෙනකුට මේ විස්තරවලින් යම් අධ්‍යයනයක් කරන්න පුළුවන් වේවි කියල මම හිතනවා.

• මෙය එක්තරා දුරකට චරිතාපදානයකට ළංවන කෘතියක්. සාහිත්‍යය තුළ චරිතාපදාන කෘතිවලට තැනක් ලබා දිය යුත්තේ ඇයි?

සමාජ දියුණුව ගැන කතා කරනකොට සාහිත්‍යය වගේ විෂයයක් බැහැර කරල ඒ දියුණුව අපේක්ෂා කරන්න බැහැ. පුද්ගලයකු තුළ ආධ්‍යාත්මික වර්ධනයක් තිබුණොත් තමයි සමාජය වෙනුවෙන් ඔහුට වඩා යහපත් දායකත්වයක් දෙන්න පුළුවන් වෙන්නෙ. ඒ සංයමය, ශික්ෂණය ගොඩනැඟෙන්නට බොහෝ සෙයින් උපකාර වෙන්නෙ සාහිත්‍යය, කලාව වගේ විෂයයන්. අපි නිකම්ම විෂයයක් හැදෑරුව පලියට සම්පූර්ණ මිනිසෙක් බවට පත්වෙන්නෙ නෑ. ඔහු තුළ පොහොසත් වින්දනයක්, චින්තනයක් පෝෂණය විය යුතුයි. සංවේදී බවක් තිබිය යුතුයි.

මේ කියන සාහිත්‍ය කෘති ඇතුළෙත් චරිතාපදාන පොත් කියැවීම ඉතාම වැදගත් වෙන්නෙ එයින් පුද්ගල පෞරුෂය ගොඩනැඟීමට ප්‍රබල බලපෑමක් කරන නිසයි. දරුවන්ට විශිෂ්ට චරිතාපදාන කෘති කියැවීමට ඉඩකඩ ලබාදීම ඉතාම අවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නෙ.

• ඔබ විද්‍යුත් මාධ්‍යයේ බොහෝ අත්දැකීම් ලැබූ අයෙක්. විද්‍යුත් මාධ්‍යයේ වත්මන් භාෂා භාවිතය ගැන විද්වතුන්ගේ දැඩි විවේචනයක් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ විවේචනය පැහැදිලියි. එදාට වඩා අද මාධ්‍ය භාවිතය වඩාත් පුළුල් වී තිබෙනවා. මීට දශක කිහිපයකට පෙර රටටම තිබුණෙ මාධ්‍ය ආයතන කීපයක් පමණයි. විශේෂයෙන්ම ඒවා රාජ්‍ය මාධ්‍ය හැටියටයි ක්‍රියාත්මක වුණේ. 

පසුකාලීනව මාධ්‍ය ආයතන අලුතින් බිහිවුණාට පස්සෙ මේවා අතර ලොකු තරගකාරිත්වයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ නිසා මාධ්‍යවලට අවශ්‍ය වුණා විවිධත්වයක් ඇති කරන්න. හැබැයි මේ විවිධත්වයක් ඇති කළ බොහෝ මාධ්‍ය ආයතන ඒවායේ උචිත අනුචිත බව සැළකුවේ නෑ. කරන්නන්වාලෙ විවිධත්වය මතු කරන්න ගිහින් තමයි භාෂාව, සංස්කෘතිය සම්බන්ධ ගැටුමක් ඇතිවුණේ. සමහර අය භාෂා රීති ගැන කිසිම තැකීමක් නැතිව වෙනස්කම් ඇති කළා.

මුල් කාලයේ රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ ඉතාමත් විධිමත් භාෂාවකින්. ‘“ප්‍රවෘත්ති බස” නමැනි හඳුනාගත හැකි බසක් සැකසී තිබුණා. එය ඉතාමත් සරල බසක්. සිංහල බස පොහොසත් භාෂාවක් නිසා පාණ්ඩිත්‍ය පෙන්වීමට වගේම බොහොම සරලව සිත්ගන්නා හැටියට භාවිත කරන්නත් පුළුවන්.

සරලව වුවත් ව්‍යාකරණානුකූලවයි ඒ භාෂාව අපි භාවිත කළේ. විද්වතුන් එදා අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපදෙස් දුන්නෙ රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන්න කියලා. පුවත්පත්වල කතුවැකි කියවන්න කියල. මොකද ඒවායින් දරුවන් නිවැරැදි භාෂා භාවිතය ඉගෙන ගත්තා. 

ඒත් අද මාධ්‍යයේ භාවිත වන භාෂාව දරුවන්ට නිවැරැදි අධ්‍යාපනයක් ලබා දෙනවද? ප්‍රමිතියක්, පදනමක් නැති භාෂා භාවිතයෙන් වෙන්නෙ භාෂාව දූෂණය වීමයි. භාෂාව දූෂණය කිරීමට හෝ විකෘති කිරීමට මාධ්‍යයට අයිතියක් නෑ.

• ඒත් ව්‍යාකරණානුකූල ලිඛිත වහරින් ප්‍රේක්ෂකයා දිනාගත නොහැකි බවයි ඇතැම් අය කියන්නේ.

ඒක පිළිගත හැකි කරුණක් නොවෙයි. පැරැණි ප්‍රවෘත්ති බසට අදටත් රසිකයන් ප්‍රිය කරනවා. රැල්ලට අනුව අපි ගියොත් ඒ අනර්ථය රටටම බලපාන්න පුළුවන්. මාධ්‍යකරුවා කියන කරන දේ රසිකයන් නිරීක්ෂණය කරනවා. එය වගකීමක්. භාෂාව වගේ දෙයක් රැල්ලට යන විලාසිතාවක් ලෙස භාවිත කරනවා නම් රටේ දරුදැරියන් ඒ වෙත ගොදුරු වෙන්න පුළුවන්. එය අවාසනාවන්ත තත්ත්වයක්


සංවාද සටහන ගාමිණි කන්දේපොළ

ප්‍රවීණ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න

(***)