භෞතික දියුණුවට ඇති ඇල්ම මිනිස් සදාචාරය නංවන්නත් ඕනෑ


අපරාධයකට සම්බන්ධ සැකකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනමක් පනවා තිබියදී එම විදේශ ගමන් තහනම ඉවත්කර ඇති බවට ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ ලේඛනයක් සකස් කර ඉදිරිපත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මෙම ප්‍රවෘත්තිය අතිශයින්ම වැදගත් වන්නේ චෝදනාව එල්ලවන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරියට වීමය. අධිකරණයක ඉතා වැදගත් මෙන්ම ඉහළ තනතුරක් ලෙස මෙම තනතුර හැඳින්විය හැකිය. එබඳු තනතුරක් දරන්නියකට මෙබඳු චෝදනාවක් එල්ලවීම සරළව ගත යුතු නැත. ඇයට එරෙහිව එල්ල වී ඇත්තේ කූට ලේඛන සැකසීම නැමැති චෝදනාවය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒමට සම්බන්ධ සියලු දෙනා මෙන්ම එලෙස ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ බවය.

හරි හමන් අධ්‍යාපනයක් නොලද අයකුගෙන් යම් වැරැද්දක්, දුරාචාරයක් සිදුවුවහොත් එය යම් ප්‍රමාණයකට මැදිහත් සිතෙන් බැලීමට සිදුවන තත්ත්වයකි. එහෙත් ඉහළට ඉගෙන, ඉහළ තනතුරුවලට පත්ව හා රටේ ප්‍රධාන සමාගම් ගොඩනගා දියුණු කළ පිරිස් වැරැදි දෙයට පෙළඹේනම් එය අවශ්‍ය බරින් ගත යුතුය. මන්දයත් ඔවුන් එකී වැරැදි සිදුකරනු ලබන්නේ ‘නොදැන’ නොවීම නිසාය. වරදක් බව දැනම වැරැදි කිරීම ඉතා බරපතළය.

ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරයේ සිටී. තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බරපතළ වැඩ ඇතිව සිරගෙට ගියේ මෙයට දෙතුන් සතියකට ඉහතදීය. පාසලට පැමිණෙන දුවා දරුවන් අපයෝජනයට ලක් කළ ගුරුවරුන්, විදුහල්පතිවරුන් කී දෙනකු බන්ධනාගාරගතව සිටින්නේදැයි සොයා බැලිය යුතු තරම්ය. මෙයට දෙතුන් මසකට ඉහතදී හොරණ ප්‍රදේශයේ ගුරුවරියක අත්අඩංගුට ගැනුණේ බාල වයස්කාර පිරිමි දරුවකු අපයෝජනය කිරීමේ චෝදනාවටය.

සමාජයේ සෑම තරාතිරමකම පුරවැසි තීරුවලින් අනාවරණය වන සිදුවීම් රටේ හෙට දවස සම්බන්ධයෙන් බරපතළ සැක සංකා නිර්මාණය කරන ඒවාය. මේ ගමනේ කෙළවර කොතැනද යන්න සිතාගත නොහැකි තරම්ය. මුළු මහත් සමාජයම වහාම පිරිපහදුවට ලක්කෙරෙන සංගායනාවක් කළ යුතු තරම් සමාජය සැහැසි වී තිබේ.

සමජය මෙම තත්ත්වයට ඇද වැටුණේ හේතු සාධක සහිතවය. එහෙත් එසේ යැයි කියා නිහඬව සිටීම යනු එම අපායෙම කොටස්කාරයකු වීම පමණකි. එහෙයින් පාලම්, බෝක්කු, අධිවේගී මාර්ග හැදීමට තිබෙන උනන්දුවම මිනිස් සමාජය හැදීමට තිබිය යුතුය. මූලික වශයෙන් ආගමික සංස්ථා, පාසල් ප්‍රජාව හා බලධාරීන් මූලිකත්වය ගෙන එයට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා මාධ්‍යද සම්බන්ධ කරගත් දියුණු යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එසේ නොවුණහොත් රට ඉතිරිවී ‘රාජ්‍ය’ ඉක්මනින්ම අපෙන් තුරන්වී යනු ඇත.

(***)