මග මරුවන්ට බිලිවන රටේම වටිනා ජීවිත


කොල්ලුපිටිය, ලිබර්ටි වට රවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් පාරේ දී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් මිනිස් ජීවිත පහක් රටට අහිමි විය. තවත් නව දෙනෙක් තුවාල ලැබූහ. ඇදහැළුණු අනෝරා මහා වර්ෂාවේ අතුරු ඵලයක් ලෙස මෙම අනතුර හැඳින් විය හැකිය. එමෙන්ම මෙරට ජනයා ගමන් කරන්නේ මොනතරම් බරපතළ මර උගුල් සහිත මංමාවත්වල ද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලිය.

අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් කොළඹ කුරුඳුවත්ත නිදහස් වට රවුමේ රථවාහන හැසිරවීමේ නිරතව සිටි පොලිස් නිලධාරියකු යටකරගෙන ගොස් තිබේ. ඉකුත් 5 වැනිදා වාර්තා වූ මෙම අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර පසුව වාර්තා වූයේ එම නිලධාරියා මියගිය බවය.

කොළඹ – මහනුවර මාර්ගයේ බටලීයේ දී හා මීරිගම – මීගමුව මාර්ගයේ වරාදල දී සිදුවූ රිය අනතුරු දෙකකින් එක් රියැදුරෙකු මියගොස් තිහකට වැඩි පිරිසක් තුවාල වූ බව අප පුවත්පත වාර්තා කළේය. තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කුලියාපිටිය කරන්තිප්පල දී සිදුවූ බස් රථ ගැටුමෙන් පාසල් සිසුන් 16 දෙනකු රෝහල්ගත කිරීමට සිදුවූ බවය. ඇල්පිටිය පොලිස් වසමේ යක්කටුව කිරිපේද්ද මාර්ගයේ දී පාසල් දරුවන් ප්‍රවාහනය කළ බස් රථයක් වෙලට පෙරළී ඇති බවට ප්‍රවෘත්තියක් ද අප පුවත්පතේ විය. වාසනාවකට එම අනතුරෙන් පාසල් දරුවන්ට හානියක් සිදුවී නැත.

මහ මගට බැසීම දින නියමයක් නැති මරණ වරෙන්තුවක් අතට ගැනීමක් බවට පත්වී තිබේ. දිනක් දෙකක් තුළ වාර්තා වූ අනතුරුවලින් ඒ බව මනාව පැහැදිලි වෙයි. යකඩ වානේ කඳන්වල ඇඹරී මළගම් යාමට රටේ පුරවැසියන්ට සිදුවී තිබේ නම් සදාකාලික ආබාධිත භාවයට පත්වීමට සිදුවී තිබෙන්නේ නම් එය බරපතළ මානව ආපදාවකි. මෙරට ජනයාට තමන්ගේ ජීවිතය ලෙස එම මානව ආපදාව පිළිගැනීමට සිදුවී තිබේ නම් එය කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.

මහ නගර සභාවක, නගර සභාවක ප්‍රාදේශීය සභාවක වගකීමක් වන්නේ බදු අය කිරීම පමණක් නොවේ. තම බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම ජීවත්වීමට සුදුසු ආරක්‍ෂාකාරී පරිසරයක් නිර්මාණය කර දීම ද අදාළ බලධාරීන් සතු පැහැර හැරිය නොහැකි වගකීමකි.

ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ආරක්‍ෂිත ස්ථාන හඳුනා ගැනීම අතිශයින්ම වැදගත්ය. ගස් මෙන්ම ගොඩනැගිලි ද සදාකාලික වස්තු නොවේ. කාලයත් සමග ඒවා දිරාපත් වේ. එමෙන්ම භූමියේ සමතුළිත බව බිඳීයාම ද ගස් හා ගොඩනැගිලිවල පැවැත්මට බරපතළ තර්ජනයකි. අදාළ බලධාරීන්ගේ වගකීම විය යුත්තේ මේවා නිරන්තරයෙන් නිරීක්‍ෂණය කිරීමය. ඒ සඳහා අවශ්‍ය ඕනෑ තරම් පිරිස් අදාළ ආයතනවල සිටිති. ඔවුන් නිසි ලෙස මෙහෙයවීම බලධාරීන්ගේ වගකීමය. අනික් අතට අනතුරක් විය හැකි යයි හඳුනාගත් ගොඩනැගිල්ලක් හෝ වෘක්‍ෂයක් ඉවත් කිරීමේ දී එයට සහාය දීම ජනතා යුතුකමකි. එහෙත් බොහෝවිට සිදුවන්නේ පරිසරය රැකීමේ නාමයෙන් ඒවාට විරුද්ධවීමය. ආවේගශීලී එවැනි තීරණ ද සාධාරණ දැයි විමසිය යුතුය.

එය එසේ වුවද සංහාරයෙන් පසුව සංරක්‍ෂණය පිළිබඳව කටමැත දෙඩවීම ජාතික සිරිතක් බවට පත්ව ඇති රටේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී තිබෙන්නේ ජනතාවටය.

(***)