මගේ දුව හොරු අරන් ගියා වගෙයි


(තුසිත කුමාර ද සිල්වා)

‘දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත මගේ රත්තරං දුවට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේනැහැ. මගේ රත්තරං දරුවා හොරු අරන් ගියා වගෙයි’ යැයි ඉකුත් 22 දා යාපනයේදී ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ මව කේ.වී.පේ‍්‍රමාමාලනී මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ රෝෂිනී කාංචනා (28) මහත්මියගේ දේහය බේරුවල බදනාගොඩ ඇගේ  නිවසට අද (24) රැගෙන ආ අවස්ථාවේදී ඇගේ මව මෙසේ කියමින් හඬා වැලපුණාය. කිලිනොචිචිය පරන්තන්හි 662 වන බළසේනා මුලස්ථානයේ වෛද්‍ය බළකායේ සේවය කරන සැමියාගේ පිහි පහරින්පසුගිය 22 දා  ඇය යාපනය පන්නෙයි කොටුව අසළදී ඝාතනයට ලක්වූවාය.

මියගිය රෝෂිනි කාංචනා බදනගොඩ විදුහලෙන් බේරුවල ඩී. එස්. සේනානායක විදුහලෙන් සහ මතුගම මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා  යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.

රෝෂනීගේ මව වූ කේ.වී. පේ‍්‍රමාමලනී (57) මහත්මිය හඬා වැළපෙමින් වාවාගත නොහැකි සොවින් මෙසේ කීවාය.

“මිය ගියේ  මගේ වැඩිමහල් දියණිය. හැම අවුරුද්දකටම ඉගෙන ගත්ත ගුරුවරුන්ට බුලත්දෙනවා. ඒ තරම් ගුරු භක්තියක් තියෙන මගේ දරුවට මොකද මේ වුණේ. එදා දවල් 1.30ට කෝල් කරලා කිව්වා මම කෑම කාලා අම්මාට කෝල් කරන්නම් කියලා. කොල් කළේ නැති නිසා මම කෝල් එකක් ගත්තා. කථා කලේ යාපනයේ පොලිසියෙන්. පොලිසියෙන් කිව්වා ෆෝන් එක අයිති කාන්තාවගේ බෙල්ල කපලා මරලා කියලා. මගේ පපුව හිරවෙන්න ආවා. කවුද දෙයියනේ මගේ දුවගේ බත් එක එකට කාලා බෙල්ල කපයි කියලා හිතන්නේ“

මේ අවට ගම් හතටම තවත් මාස තුනකින් වෛද්‍යවරියක් වෙන්න හිටිය පළමු කෙනා මගේ ලොකු දුව. ලෝකෙට මිල කරන්න බැරි සම්පත අපට අහිමි කළා“ යයිද රෝෂිනිගේ මව පැවසුවාය.

මියගිය වෛද්‍ය සිසුවියගේ පියා වන එච්.ඩී. දයානන්ද මහතා මෙසේ පැවසීය.

මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. එයා විවාහ වුණේ 2016.12.31 එයාගේ පවුලේ ප‍්‍රශ්න තිබුණා. නමුත් මේ වගේ දෙයක් කරයි කියලා අපි හිතුවේ නැහැ. එයා නංගිටයි මල්ලිලා දෙන්නටයි ගොඩක් ආදරෙයි. ලොකු මල්ලිවත් එයාගේම උනන්දුවෙන් වෛද්‍ය විද්‍යාලයට යැව්වා.

නංගිවත් කවදාහරි වෛද්‍ය විද්‍යාලයට යවනවා කියලා හැමදාම කිව්වා. මම සේවය කරන්නේ කළුතර පොලිස් අධිකාරි කාර්යාලයේ. දරුවාව දොස්තර නෝනා කෙනෙක් කරන්න මම හීන දැක්කා. එයා තුන් වතාවක් උසස් පෙළ කරලා ධෛර්‍යයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ. වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න. ඒ හීන හැම එකක්ම බොඳවෙලා ගියා.

මියගිය රෝෂනී කාංචනාගේවැඩිමහල් සොයුරු වෛද්‍ය ශිෂ්‍ය රොෂාන් කලණ (26) සහෝදර පේ‍්‍රමය වාවාගත නොහැකිව හැඬු කදුලින් මෙසේ පැවසීය.

මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ මේ දිනවල පුහුණුව ලබන්නේ. නැන්දා කෙනෙක් කථා කරලා කිව්වාම මට අදහා ගන්න බැරි වුණා. අක්කයි මමයි දෙන්නම තව මාස තුනකින් වෛද්‍යවරුන් වෙන්න හිටියේ.

මම කලුතර දිස්ති‍්‍රක්කයෙන් 9 වෙනියා. අක්කා 21 වෙනියා. මාවත් වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්න හිටිය අක්කා අපිව දාලා ගියා. අක්ක හැමදාම විසි තිස් වතාවක් ගෙදරට කෝල් කරලා දුක සැප අහනවා. අක්කාට තියෙන්නේ උණුවෙන හදවතක්. අපි කොහොමද මේ දුක දරාගන්නේ.

අක්කා පොඩි කාලේ විකට ඇදුම් තරගෙට හැමදාම ඇන්දේ වෛද්‍යවරියට. ඒ හීනය සැබෑ කරගන්න ඇය ගොඩක් දුක් වින්දා. ගිය සෙනසුරාදා පාන්දර 4.00 ට විතර ගෙදර ඇවිත් දවසෙම විවිධ කෑම වර්ග උයලා ගෙදර අයත් එක්ක සතුටින් ඉදලා ඉරිදා උදේ ගියේ. එයාට සැමියාගෙන් ගොඩක් හිරිහැර තිබුණා. අපේ පවුලත් එක්ක තියෙන බැදීම නවත්වන්න අක්කාගේ සැමියා අක්කාගේ ෆෝන් දෙකක් කුඩු කළා.

අක්කාගේ වම් අතේ අස්ථිය පේන්න පිහියෙන් කපලා. එකෙන් බේරෙන්න අක්කා පිහිය අල්ලලා. එතකොට ඇගිලි කැපිලා. ඊට පස්සේ ඒ මිනිහා අක්කාගේ බෙල්ල ගැඹුරටම කපලා කලපුවට තල්ලු කරලා යැයි සංවේදීව පැවසුවාය.

ඇයගේ බාල සොයුරු ඉසන්ත සසින්ත සහ බාල සොයුරිය සඳුනි එරන්දි කිසිවක් කරකියා ගත නොහැකිව වික්ෂිපතව බලා සිටින අයුරු දැකගත හැකිවිය.

ඇයගේ මාමා කෙනෙක් වූ එස්. අනුරුද්ධ මහතා හැඬු කදුළින් මෙසේ පැවසීය. බේරුවල බඳනාගොඩ ගමෙන් බිහිවෙන්න හිටිය පළමු වෛද්‍යවරිය අකාලයේ අපට අහිමි වුණා. මේ මරණය බේරුවල ප‍්‍රදේශයම කම්පා කරවන්නක්. ඇය ගමේ කා අතරත් හොද හිත දිනාගෙන හිටපු කෙනෙක්.

මියගිය වෛද්‍ය සිසුවියගේ අවසන් කටයුතු සෙනසුරාදා (25)සවස 2.00 ට කාලවිල කන්ද පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය.