මත්ද්‍රව්‍ය හොර පාරෙන් රටට ඒම බරපතළ ප්‍රශ්නයක්


ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටිය දී අකුරළ මුහුද  තීරයේ දී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් නව දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ පුවත අප පුවත්පතේ නොබෝදා පළ වූයේය.

මෙරට හෙරොයින් ජාවාරමේ යෙදීම හේතුවෙන් 8 දෙනකුට එකවර දඬුවම් නියම වූ ප්‍රථම වතාවත් මහා පරිමාණ  හෙරොයින් ජාවාරම්කරුවන් වරද පිළිගත් ප්‍රථම අවස්ථාවත් මෙය බව පෙනී යයි. එම නිසා ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව විශේෂ තැනක ලා සැලකිය හැකි වේ. හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක්  නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.

මීට පෙර පේදුරුතුඩුව හා කන්කසන්තුරේ අතර ශ්‍රී ලංකාවට අයත් ජාත්‍යන්තර මුහුදේ 2019 අප්‍රේල් 21 වැනිදා, හෙරොයින් කිලෝ 196 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග වූයේ ය. හෙරොයින්වලට අදාල නඩු කඩිනමින් විභාග කිරීම උදෙසා , එම විනිසුරු මඩුල්ල පත්කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබිණි.  කෙසේ වුවද පැමිණිල්ල දෙදරා තිබීමේ දෝෂය මත එම නඩුවේ, විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. එම අත්අඩංගුවට ගැනීමට අදාළ විමර්ශනය සිදු කළ ආකාරය පිළිබඳව විනිසුරු මඩුල්ල මවිතය පළකොට තිබිණි.

මුහුදු මාර්ග වලට යාව පවතින අප රටේ පිහිටීමෙන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොමදව ප්‍රයෝජන ගන්නා අයුරු එම අත්අඩංගුවට ගැනීම් වලින් පෙනේ.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන්  හඳුන්වන අප රට ජාත්‍යන්තර වෙළඳාමට අතිශය හිතකර ස්ථානයක පිහිටා ඇත. එහෙත් ආර්ථිකය වර්ධනය කිරීම ආදී සුබදායි කටයුතු උදෙසා එම පිහිටීමෙන් වාසි ලබා ගැනීමට අප තවමත් සමත් වී නැත. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නම් ශ්‍රී ලංකාවේ පිහිටීමෙන් අගේට වාසි ලබාගෙන තිබේ. මෙම පුවතට අදාළ නාවික යාත්‍රාව අකුරළ මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමත්, 2019 දී සිදු කළ ඉහත සඳහන් හෙරොයින් අත්අඩංගුවට ගැනීමත් ඊට හොඳ සාක්ෂියකි.

මත්ද්‍රව්‍ය වෙළඳාම ගජරාමෙට සිදුවන ලාඕසය තායිලන්තය බුරුමය යන රටවලට අප රට වෙත එන මුහුදු මාර්ග නැගෙනහිර පැත්තෙන්  විවෘතය. අනෙක් අතට  ඇෆ්ගනිස්තානය ඉරානය හා පකිස්තානය යන මත්ද්‍රව්‍ය වෙළඳාම සරුවට සිදුවන රටවලට අප රට බටහිරින් විවෘතය. පිහිටීම හේතුකොටගෙන වාසනාව පෑදීමට මත්තෙන්,  ඒ හේතුවෙන් අපට අවාසනාව පෑදීම මහත් අභාග්‍යයකි.

1829 දී වතුකර ද්‍රවිඩ ජනයාගේ පරිහරණය පිණිස මෙරටට අබිං ගෙන ආ නිසා, සිරිලක අබිං වගාකිරීම එවකට ආණ්ඩුකාරයා විසින් දිරිමත් කරනු ලැබීය. 1867 වන විට අබිං කෑම මෙරට සමාජ ප්‍රශ්නයක් වූ බැවින්, 1867 අංක් 119 දරන කංසා පනත පනවන ලදී.

කෙසේ වුවද 1978 විවෘත ආර්ථිකය හරහා ආනයන අපනයන නීති ලිහිල් කිරීමත් පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට හවුල් වීමට අවසර ලැබීමත් සිදු වූ වාතාවරණයක මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වේගවත් විය. 1986 අප්‍රේල් මැයි වනවිට ඩොලර් මිලියන 40 ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකිකයන් 80 දෙනකු අත්අඩංගුවට පත්වීමේ පුවත යුරෝපා මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය ශ්‍රී ලංකාවට වාර්තා කර තිබිණි.

1991 සිට 2018 වර්ෂය දක්වා අවුරුදු විසිහතක් තුළ අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් ප්‍රමාණයම 2018 වර්ෂයේ දී අත්අඩංගුවට ගෙන තිබීමෙන් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වෙළඳාමේ, වර්ධනය කෙතරම් වීද යන්න පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව  ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් වූ ආකාරය එයින් පැහැදිලිය.

මත්ද්‍රව්‍ය උවදුරට වැඩිපුරම ගොදුරුව සිටින්නේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණයෝය. තරුණියන් ඊට ඇබ්බැහි වීමද මෑත කාලයේ වැඩි වී තිබේ. මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇත්තේ   ශ්‍රමය වැය කළ හැකි, ශ්‍රම බලකායට අයත් ජනයා බව පැහැදිලිය . පාසල් සිසුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගත යුතු කාලය දැන් උදා වී තිබේ.

(***)