මහජන නියෝජිත ආයතන අතරින් පාර්ලිමේන්තුව උත්තරීතරය. ඒ එය රටේ ව්‍යවස්ථා සම්පාදන ආයතන ද වන හෙයිනි. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196 ක් ජනතා මනාපයෙන් තේරී පත් වන්නෝය. ඉතිරි 29 දෙනා පක්ෂ නායකයන් විසින් තම මනාපය මත තෝරාගෙන පත් කරනු ලබන්නෝය. 196 දෙනා තේරී පත්වන්නේ ද පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් කරන ලැයිස්තුවලිනි. අපේක්ෂක ලැයිස්තුවට නම ඇතුළත් කරගත හැක්කේ ද නායකත්වයේ කැමැත්තෙන් පමණකි.
නායකයන්ට අවශ්‍ය ඡන්ද පමණකි. ඒ නිසා මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වන පුද්ගලයන් හැඳියාවෙන් පොහොසත් ආදර්ශමත් මනුෂ්‍යයන් විය යුතුය කියා නායකයෝ කල්පනා නොකරති. නායකයන්ට එවැනි පුද්ගලයන් අවශ්‍ය ද නැත. ඔවුනට අවශ්‍ය ඡන්ද පමණකි.
නායකයන්ගේ මේ ආකල්ප හේතුවෙන් ව්‍යවස්ථා සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව ද අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වෙයි. වරප්‍රසාද හා වරදානවලට ගිජු වූ මන්ත්‍රීවරු පක්ෂ නායකයන්ගේ එහෙයියන්ව ජනතා සේවය අමතක කරති. මන්ත්‍රීවරුන්ට වුවමනා දේවල් කරගත හැක්කේ ද ඉහළින් අනුමැතිය ලැබුණොත් පමණකි.
මන්ත්‍රීවරුන්ගේ කාර්ය භාරය අහෝසි වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසාය. ආණ්ඩු කරන්නේ මොන විදිහට ද මොන ක්‍රමයට ද කියා තීරණය කරන්නේ ඒ විධායක ජනාධිපතිය. ඒ ජනාධිපති මන්ත්‍රීවරුන් පාවිච්චි කරන්නේ උපකරණ ලෙසය. මන්ත්‍රීවරුන් එසේ පාවිච්චි කිරීම වඩා හොඳ දෙයක්ය. වඩා වටිනා ක්‍රමයක්ය, ඒ ක්‍රමය එලෙසම පවත්වාගත යුතුය යන අදහස මහජනයා අතර සේම මන්ත්‍රීවරුන් අතර ද තහවුරු කර තිබේ.
ඒ නිසා ජනාධිපති, ‘මම තමයි නීතිය’ කියා කල්පනා කරයි. මම තමයි තීරණය කරන්නේ, මහජනයාට වුවමනා දේ දන්නේ මම තමයි කියා ජනාධිපති කල්පනා කරයි. එසේ සිතීමට හා ඒ සිතිවිලි මත ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් බලතල ජනාධිපති සතුව පවතියි. ඒ බලතලවලට මන්ත්‍රීවරුන් සේම ජනතාව ද යටත්ය.
පාර්ලිමේන්තුව උත්තරීතරය, එහි සිටින මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨය කියන කතා වචන පමණකි. ඒවා අර්ථයක් නැති හිස් වචනය. මන්ත්‍රීවරුන් කරන්නේ ජනාධිපතිගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට ඡන්දය දීම පමණකි. එසේ රූකඩ බවට පත්වන මන්ත්‍රීවරුන් සැනසීම සඳහා ව්‍යාපාර, කොන්ත්‍රාත්, කොමිස් අල්ලස් යනාදිය ලැබෙන සහ ලබාගත හැකි ක්‍රමවේද ද සකසා දී තිබේ. ඇතැම් මන්ත්‍රීවරුන් මත්කුඩු, කසිප්පු, ගංජා, එතනෝල්, දැව, ගල්, වැලි, පස් ජාවාරම්කරුවන්ව හරි හම්බ කරන්නේ විධායකයෙන් ආරක්ෂාව සහ සහයෝගය ලැබේය යන විශ්වාසය මතය.
ඇතැම් මන්ත්‍රීවරුන් පාතාල ලෝකයට සම්බන්ධවී කටයුතු කරන්නේ ද එසේ ලැබෙන සහයෝගය හා ආරක්ෂාව නිසාය. පාතාලයට සම්බන්ධ මන්ත්‍රීවරුන් ඇතැම් ජනාධිපතිවරුන්ට මහාර්ඝ වස්තුය. ඒ අවශ්‍ය වෙලාවට තමන්ගේ දේශපාලන කොන්ත්‍රාත් ඉටුකරවා ගැනීම සඳහාය. එවැනි කටයුතු සඳහා නීතිය හා පොලිසිය සේම රාජ්‍ය ආයතන සහ ඒ ආයතන සතු පොදු දේපළ ද පාවිච්චියට ගනියි. මා මේ කියන්නේ අතීතයේ පැවැති තත්ත්වයක් ගැනම නොවේ. මේ මතය හැම යුගයකදීම දක්නට ලැබෙයි.
පවතින මේ ක්‍රමය මත සදාචාරය සංස්කෘතිය පමණක් නොව නීතිය ද බල්ලට යයි. හොරකම, වංචාව, දූෂණය, බලය අවභාවිත කිරීම, වගකීම පැහැර හැරීම, ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මිනී මැරීම සංස්කෘතිය බවට පත්වෙයි. ඒ සංස්කෘතිය පැතිරෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ මහිමයෙනි. නීති විරෝධීව රත්තරන් ගෙන ඒම, කප්පම් ගැනීම, මිනී මැරීම වැනි සිද්ධි කිහිපයක් ගැන අප කලබල වුව ද ඒවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේය.
පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාවටය කියා වාක්‍යයකින් කීම ප්‍රමාණවත් නොවේ. ජනතාවට තිබිය යුත්තේ සැබෑ පරමාධිපත්‍යයකි. ජනතාවට පරමාධිපත්‍ය තිබෙනවා නම් ජනතාව බලවත් විය යුතුය. ජනතාව බලවත් නොවන්නේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය නිසාය. මන්ත්‍රීවරුන් ජනාධිපතිට සහාය නොදුන්නොත් ඔවුන්ගේ ව්‍යාපාර සහ ජාවාරම් කරගෙන යාමට නොහැකි වෙයි. මන්ත්‍රීවරුන් නීතියෙන් අපරාධකාරයන් වන්නේ විධායකයට විරුද්ධ වුණොත් පමණකි.
ජනාධිපතිට එහෙයි කියන තුරු ඒ මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සද්ගුණවත් උපාසකයෝය. ජනතාවට පරමාධිපත්‍යය ඇත්තේය කියා ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ සඳහන් වුණාට ජනාධිපති බලයෙන් එය යටපත් කරයි. ජනතාව යමක් කරන්නට උත්සාහ කළොත් මර්දනය කරයි. එය කරන්නට ද නීති පවතියි.
තිබෙන නීති තව තවත් දැඩි කර ගනියි. රටේ පවතින මේ තත්ත්වය යටතේ ඕනෑම අපරාධකාරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය හැකිය. වර්තමාන පාර්ලිමේන්තුවෙත් කසිප්පු, ගංජා, එතනෝල්, ගල්, වැලි, පස්, දැව, මත් කුඩු ජාවාරම්වලට සම්බන්ධ බවට සාධාරණ සැක සහිත ගරු මන්ත්‍රීවරුන් සිටින බව ජනතාවගේ විශ්වාසයයි.
අවුරුදු ගණනක් තිස්සේ අපරාධ පවතින්නේ නම් ඉන් කියැවෙන්නේ රාජ්‍යය අපරාධවලට සම්බන්ධ බවය. රාජ්‍යය අපරාධ මර්දනය කරන්නේ නම් රටේ අපරාධ සිදු නොවෙයි. මේ අපරාධ වන්නේ අවුරුදු දෙක තුනක තිස්සේ නොව අඛණ්ඩව දිගටමය. රාජ්‍ය හා ආණ්ඩුත් දිගටම පැවතෙයි. ඒ ආණ්ඩු කිසිවකට අපරාධ මර්දනය කිරීමට නොහැකිවීමෙන් අනාවරණය වන්නේ රාජ්‍ය අපරාධ මර්දනය නොකළ බවය.
පාතාලය මර්දනය කරන බව කියමින් අත්අඩංගුවේ සහ බන්ධනාගාරගතව සිටි ඇතැම් පුද්ගලයන් ද ඝාතනය කරයි. එහෙත් පාතාලය දැනටත් ක්‍රියාත්මකය. ඇතැමුන් ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිටය. ඉන් අනාවරණය වන්නේ පාතාලය එදාටත් වඩා ශක්තිමත් බවය. ආණ්ඩු පාතාලය මර්දනය කළා නම් පාතාලය එසේ ශක්තිමත් වන්නේ කෙසේද? පාතාලය එසේ ශක්තිමත් වුණේ මහා බලයක් තිබෙන විධායක ජනාධිපතිවරුන් යටතේ නෙවෙයි ද?
පාතාල ක්‍රියාකාරින්ට පවා සහාය දක්වන විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟෙන්නේ කොහොම ද? පවතින මේ ක්‍රමය උඩු යටිකුරු කරන තුරු පවතින ක්‍රමය පෙරළන තුරු ජනතාව අපේක්ෂා කරන වෙනසක් ඇති කළ නොහැකිය. සංස්කෘතික මිනිසුන් පාලනයට යොදා ගැනීමට ද නොහැකිය. පාලනයට පැමිණෙන්නේ පවතින දූෂිත ක්‍රමය සංවර්ධනය කරන පෝෂණය කරන නොමිනිසුන්ය. යළිත් බලය ලබා ගැනීමට දඟලන්නේ ද ඒ දූෂිත බලවේගය. ඔවුන් ඒ සඳහා අනවරත උත්සාහයක යෙදෙන බව සුපැහැදිලිය.
බරපතළ ප්‍රශ්නය තිබෙන්නේ ජනතාව ගැනය. තමන්ට පරමාධිපත්‍ය තිබෙනවාය කියා ජනතාව විශ්වාස නොකරයි. තමන් සතුවිය යුතු පරමාධිපත්‍යය වෙනත් පිරිසක් විසින් කොල්ල කනු ලැබ තිබෙන බව ජනතා විශ්වාසයයි. ජනතාවට තිබෙන එකම අවස්ථාව ඡන්ද බලයයි. ඡන්ද බලය ඉතා වටිනා දෙයක්ය. ඉන් විශාල වෙනසක් කළ හැකිය කියන විශ්වාසය ද ජනතාව අතර නොපවතියි. ජනතාව රැවටීමට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පාවිච්චි කරයි.
වර්තමානයේ ඛේදවාචකය වන්නේ ඒ අපරාධ කල්ලියට ඇතැම් ජනමාධ්‍යය ද එකතුවී සිටීමය. අපරාධකරුවන්ට වාසි සහගත ලෙස ජනමතය හා ජනමනස සකස් කිරීමට ඒ ජනමාධ්‍ය විශාල උත්සාහයක් ගනියි. ඒ දූෂිත ජන මාධ්‍ය කටයුතු කරන්නේ දූෂිත දේශපාලකයන්ගේ ශක්තිය වර්ධනය කිරීමටය. බලය තිබෙන දූෂිතයන්ට බලය තහවුරු කර ගැනීමටත් බලය නැති දූෂිතයන්ට බලය රැගෙන දීමටත් දූෂිත ජනමාධ්‍ය වෙහෙසෙයි. පවතින දූෂිත ක්‍රමය වෙනස් නොකර එලෙසම පවත්වාගෙන යාම ඒ ජනමාධ්‍යවල වුවමනාවයි.
දේශපාලන සංස්කෘතිය දූෂිතව තිබෙන තරම ජනතාවට අවබෝධ කර ගැනීමට තරම් ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන ක්‍රමය දියුණු නැත. අවිධිමත් අධ්‍යාපන ක්‍රමය නොව නොවිධිමත් අධ්‍යාපන ක්‍රමය නොදියුණුය. රැස්වීම්, සම්මන්ත්‍රණ, සාකච්ඡා, පුවත්පත් කියවීමෙන් ඉගෙන ගන්නා වටහා ගන්නා දේ නොවිධිමත් අධ්‍යාපනයයි. රාජ්‍ය ජනමාධ්‍ය හසුරුවන්නේ තනිකරම ආණ්ඩුවේ වුවමනා එපාකම් මතය.
දූෂිත දේශපාලන ක්‍රමය පවත්වාගෙන යාමට අතීතයේ දී ඇතැම් ආගමික නායකයන් පමණක් සහාය දුන්නත් දැන් ඒ මෙහෙයුමට දූෂිත ජනමාධ්‍යයත් එකතුව සිටියි. ඒ සියලු දෙනා දැන් දැඩි උත්සාහයක යෙදී සිටින්නේ පවතින දූෂිත ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමටය. ඒ උත්සාහය නිසා ජනතාවට නොවිධිමත් අධ්‍යාපනය ලබාගත නොහැකිය. ඒ සඳහා විවරව තිබූ දොරවල් දැන් වැසී පවතී. නොවිධිමත් අධ්‍යාපන ක්‍රමය සංවිධානය නොවෙයි. සැලසුම්ගත නොවෙයි. සැලසුම්ගත වන්නේ ප්‍රජා පීඩක විධායක ජනාධිපති බලතල පෝෂණය කිරීමටය.
පවතින මේ ප්‍රජඩ දූෂිත ක්‍රමය වෙනස් කළ හැක්කේ ජනතාව නැගී සිටියහොත් පමණකි. පසුගිය කාලයේ පැවැති අරගලය මේ දූෂිත ක්‍රමය වෙනස් කිරීමේ යම් උත්සාහයක් පමණකි. ඒ අරගලයේ ද දුර්වලතා තිබිණි. දූෂිතයෝ ඒ අරගලයෙහි ද සිටියහ. දූෂිත ආණ්ඩු සහ ඒවාට කැමැති දේශපාලකයන්, ආගමික නායකයන්, ජනමාධ්‍ය, සමාජ ක්‍රියාධරයන් යනාදිහුද ඒ අරගලයෙහි සිටියහ.
අවසානයේ ඒ දූෂිතයෝ අරගලයේ වාසිය තමන් පැත්තටම හරවා ගත්හ. ඒ නිසා අරගලයට අවංකව හා පිරිසුදු සිතින් සහභාගි වූ සහ සහාය දැක්වූ පිරිස් බරපතළ ලෙස කලකිරී සිටිති. ඒ පිරිස අතර පවතින්නේ දැඩි අපේක්ෂාභංගත්වයකි. ඒ ඇතැමුන් දැන් සාමකාමී අරගල ක්‍රම විශ්වාස නොකරති. ඒ නිසා ඊළඟ අරගලය වෙනස් දිසානතියකට මාරුවිය හැකි බවට අනුමාන කළ හැකිය. එයට පුළුල් ජනතා සහභාගිත්වයක්ද ලැබිය හැකිය. ඒ පීඩිත ජනතාව අතර පවතින දැඩි පරිපීඩනය නිසාය. ඒ අරගලයේ දී විශාල වෙනසක්ද විය හැකි බව මගේ විශ්වාසයයි. ඒ අරගලය ඉතාමත් හෙමින් හෙමින් ගොඩනැගෙන බව මගේ දැක්මයි. ජනතාව එතැනට තල්ලු කරන්නේ දූෂිත දේශපාලකයන්, දූෂිත ආගමික නායකයන්, දූෂිත සමාජ ක්‍රියාධරයන් හා දූෂිත ජනමාධ්‍ය එක්වය. එහෙත් තමන් කරන්නේ කුමක්දැයි ඔවුනට නොවැටහෙයි.
ඉදිරියේ දී ලංකාවේ ජාතිවාදී කෝලාහල ඇතිවෙයි කියා විශ්වාස කළ නොහැකිය. හේතුව ඒ කෝලාහල ඇති කරන්නේ කවුද ඔවුනගේ යටි අරමුණු මොනවද කියා සියලු ජන කොටස් මැනවින් දන්නා නිසාය. ඒ නිසා ජාතිවාදය ඇවිස්සීමෙන් බලය ලබා ගැනීමට නොහැකි වෙයි. මක්නිසාද යත් දැන් ජනතාව ජාතිවාදයෙන් ඇවිස්සිය නොහැකි නිසාය.
ඉදිරියේ දී ජාතිවාදය එන්නේ ආගමික ස්වරූපයෙනි. එවැනි හොල්මන් දැනටත් ප්‍රදර්ශන වෙයි. ආගම ඇවිස්සීමෙන් ජනතාව ක්ෂණිකව ඇවිස්සිය හැකි වුවත් ජනතාව එය වහාම වටහා ගනු නියතය. ඒ නිසා ආගම් ඇවිස්සීමෙන් දූෂිත බලවේග අපේක්ෂා කරන ප්‍රතිඵල එලෙසින්ම ඉටුවෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
වංචාව, දූෂණය, හොරකම, අල්ලස, බලය අවභාවිතය සහ වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ජනතාව අතර පවතින්නේ දැඩි විරෝධයක් හා පිළිකුලකි. දේශපාලකයන් වංචා කළ බව හොරකම් කළ බව ජනතාව දැන් මැනවින් දනිති. ඇතැම් දේශපාලකයන් අයථා ක්‍රම මගින් තමන් සතු ධනය කොල්ලකා පිටරටවල ගොඩගසා ගෙන සිටින බව ජනතාව සහසුද්දෙන් දනිති. ඒ නිසා ඒ දූෂිත දේශපාලකයන්ට අනාගත පැවැත්මක් නැති බව දැනට පැහැදිලිය.
තමන් අතීතයේ භාවිත කර පිළුණු වූ විවිධ උපකරණ මගින් සමාජයට විස කවන්නට ඒ දූෂිත බලවේග දැන් යළිත් උත්සාහ කරයි. එහෙත් ජනතාව ඒවා එලෙසින්ම භාරගනී ද කියා ඇත්තේ සැකයකි. මැතිවරණයක දී ප්‍රකාශයට පත්වන ජනමතයෙන් ඒ බව මැනවින් අවබෝධ කරගත හැකි වෙයි.
මැතිවරණයක් තිබ්බොත් අත්වන ඉරණම දන්නා නිසා මැතිවරණ නොතියා සිටීමට විවිධ කුමන්ත්‍රණ දියත් කරයි. ඉදිරියේ දී ජනමනස තමන්ට වාසිදායක ලෙස වෙනස් කිරීමෙන් පසුව ඡන්ද පැවැත්වීම බලවතුන්ගේ අපේක්ෂාවයි. පළාත් පාලන ඡන්දය තිබුණේ නම් සැබෑ ජනමතය ප්‍රකාශයට පත්වෙයි. ආණ්ඩු කරන්නෝ ඊට බිය වූහ. මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළේ එහෙයිනි. මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාව තව තවත් ප්‍රකෝපවෙයි. වෛරී සහගත වෙයි.
සංවාදයට විවෘතයි
ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්