මන්දපෝෂණයෙන් දරුවන් බේරාගැනීමේ ක්‍රමයක් ඕනෑ


බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් 55 දෙනකු සිටින බවට හඳුනාගෙන ඇතැයි පසුගියදා  ලංකාදීපය වාර්තා කර තිබිණි. එම කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජේ.පී.ඒ.එන්. ජයලත් මහතා ඒ බව හෙළිකර තිබුණේ මන්දපෝෂණ තත්ත්වයේ පසුවෙන දරු පවුල් සඳහා පෝෂණ ආහාර මලු‍ බෙදා දීමේ වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කර තිබූ එම කාර්යයේ දී දිළිඳු පවුල් 85ක් සඳහා වියළි ආහාර මලු‍ බෙදා දී තිබිණි.

මන්දපෝෂණය අපේ රටට එතරම් හුරු පුරුදු මාතෘකාවක් නොවූ කාලයක් තිබිණි. එයින් අප අදහස් කරන්නේ මේ රටේ මන්දපෝෂණය නොතිබූ බවක් නොවේ. එහෙත් කාලයක් මුළුල්ලේ මේ රටේ පැවැති ඉහළ මට්ටමේ මාතෘ හා ළමා පෝෂණ වැඩපිළිවෙළත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වයත් හේතුවෙන් මන්දපෝෂණ තත්ත්වය බරපතළ ගැටලු‍වක් බවට පත්වූයේ නැත.

මේ තත්ත්වය වෙනස් වූයේ රටේ ඇති වූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙනි. බලා සිටියදීම රටේ ආහාර උද්ධමනය ඉහළ ගිය අතර ජනතාවගේ පෝෂණ තත්ත්වය ඒ හා සමපාතව පහළ ගියේය. මාස කිහිපයක්ම පැවැති ආර්ථික ගැටලු‍ හේතුවෙන් ජනතාවගේ පෝෂණය දුර්වල වනවිට එහි බලපෑම වඩාත්ම දැනෙන්නට පටන් ගත්තේ ළමා පරපුරට ය. 

එම තත්ත්වය පසුගිය ඔක්තෝබර් මාසයේ පමණ සිට වෙනස් වීම ඇරඹිණි. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වාර්තාවට අනුව ඒ වනවිට මේ රටේ ආහාර උද්ධමනය උපරිම තලයට ළඟා වී තිබූ අතර ශ්‍රී ලංකාව දෙවැනි වී සිටියේ ලෙබනනයට පමණි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් මෙරට ආහාර උද්ධමන තත්ත්වය පහළ ගියේය. ඒ හේතුවෙන් ලෝකයේ ආහාර අධික උද්ධමනය සහිත රටවල් පිළිබඳ ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව මේ වනවිට තීරණය කර ඇතැයි ප්‍රකාශයට පත්ව තිබේ.

එය සැනසුමට කාරණයක් වුවද එවැනි තත්ත්වයක් පවතිද්දී බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ප්‍රදේශයෙන් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් පිළිබඳ වාර්තා වීම කනගාටුවට හේතු වන බව සඳහන් කළ යුතුය. එහි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ සායනවලට ගියවිට දිනකට එක වේලක් පමණක් ආහාර ගන්නා අවුරුදු දෙක, දෙකහමාරේ වයසේ පසුවන දරුවන් සිටින පවුල් පිළිබඳ තමන්ට අසන්නට දකින්නට ලැබුණු බවය.

ඔහුගේ අදහස වී ඇත්තේ අතට ලැබෙන මුදල කළමනාකරණය කර ගැනීමට එම මවුපියන් නොදැන සිටීම හේතුවෙන් දරුවන් මන්දපෝෂණ තත්ත්වයට පත්වෙන බවය. තමන්ගේ රාජකාරියට අයත් නැති වුවද දිනකට එක වේලක් පමණක් කන දරුවන් වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව පෝෂණ මල්ල බැගින් ලබාදීමට පියවර ගත් බවද වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

වෛද්‍යවරයා සිදුකළ එම සද්කාර්යය අපි බෙහෙවින් අගය කරන්නෙමු. රටට වඩ වඩාත් මේ ආකාරයට වැඩ කරන නිලධාරීන් අවශ්‍ය බවද පවසමු. එහෙත් එවැනි සද්කාර්යවලින් පමණක් මේ ගැටලු‍වට විසඳුම් ලැබෙන්නේ නැත. කොවිඩ් වසංගතයට පෙර කාලයේදී සිදුවූවාක් මෙන් මාතෘ හා ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ අදාළ ආයතන මගින් නිරන්තරයෙන් විමසීම් කිරීම යළිත් ආරම්භ විය යුතුය. ළමා මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන කටයුතුවලට ප්‍රමුඛත්වය ලැබිය යුතු බව බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිද්ධිය පෙන්වා දී තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල මන්දපෝෂණ තත්ත්වය දුරු කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමේදී ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම පළාත්වලින්ම සපයා ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීමද වැදගත් පියවරක් වනු ඇත. එසේම කිසියම් පවුලක දරුවකු මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නම් එසේ වීමට හේතුව ආහාර නොලැබීමද නැත්නම් වෙනත් හේතුවක්ද යන්නත් සොයා බැලීම අවශ්‍යය. අතට ලැබෙන මුදල කළමනාකරණය කරගැනීමේ නොහැකියාව එයට හේතුව නම් ඒ සඳහා එවැනි මවුපියන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම අදාළ රාජ්‍ය ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සුදුසු පියවරක් වනු ඇත. 

රට සිටින තත්ත්වයෙන් ගොඩ ඒමට තව සෑහෙන කාලයක් යන බව පැහැදිලිය. එහෙත් ඒ වනතුරු මෙරට දරුවන් මන්දපෝෂණයට බිලි දී බලා සිටීමට හැකියාවක් නැත. එම තත්ත්වයෙන් ඔවුන් ගලවා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව සඳහන් කරමු.

(***)