මම දකින ජැක්සන් ඇන්තනි


(ආචාර්ය විජයදාස රාජපක්ෂ)

ඕනෑම වෘත්තියකට අතිශය නිර්මාණාත්මක විශිෂ්ටයන් බිහිවනුයේ ඉතාමත් කලාතුරකිනි. “දෙවියන් විශිෂ්ටයකු නිර්මාණය කළ පසු එම අච්චුව කඩා බිඳ දමන්නේ ය” යැයි පැරණි කියමනක් ඇත. ඔහුගෙන් පසු බොහෝ කාලයක් යන තෙක් එම හිඩැස පිරවිය නොහැකිය යන්න එමගින් අදහස් වේ.

කලා ක්ෂේත්‍රයට ද එහි වෙනසක් නැත. ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අතළොස්සකින් පෝෂණය වූ කලාකෙතෙහි අස්වනු නෙළීමට බොහෝ දෙනා සිටිය හැකිය. අව්‍යාජ කලාකරුවා ඊට හූල්ලන්නේ නැත. හේතුව ඔහුගේ ආත්ම තෘප්තිය වන්නේ ඉඩක් ලද ‍ඕනෑම මොහොතක කුමන කෙනෙකුට සෙතක් සැලසීමය. ඉන් සෙතක්, ශාන්තියක් අත්පත් කරගන්නේ ගුත්තිලලා ද, මූසිලලා ද යන්න ඔහු සොයා නොබලයි.

ජැක්සන් ඇන්තනී යනු දශක හතරකටත් වැඩි කාලයක් කලාව පෝෂණය කළ ශ්‍රේෂ්ඨ රංගධරයකු යැයි පැවසීම කිසිසේත් අතිශෝක්තියක් නොවන බව කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් පිළිගන්නා කාරණයකි. ඔහුගේ කලා කෞෂල්‍යය, ප්‍රතිභාපූර්ණත්වය ඉතා ඉහළ මට්ටමක පැවැති අතර, බොහෝ කලාකරුවන්ට තරණය කළ නොහැකි වූ ඉතිහාසය, සාහිත්‍යය සහ සමාජ විද්‍යාව වැනි මානයන් සාර්ථක ලෙස ඔහු තරණය කළේය. එම විෂයයන් පිළිබඳ උගතුන්, වියතුන් සහ විශාරදයන් සමඟ සමව හිඳ ඔහුගේ ප්‍රඥාව සහ විඥානය ප්‍රදර්ශනය කිරීමට ඔහුට පෞරුෂයක් තිබුණි. වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ඔහුට අවශ්‍ය පරිදි නතුකර ගැනීමට තරම් ප්‍රබල ආකර්ෂණයක් ඔහු සතු විය.

අන් වෘත්තිකයන්ට මෙන්ම ඔහුට ද දේශපාලන බැඳීම් තිබුණි. ඔහු දේශපාලනඥයකු සේ සලකනු ලබන්නේ නම්, ඒ පිළිබඳව කෙනකුට විවේචනයක් තිබිය හැකිය. එය අහේතුක හිංසනකාරී නිර්දය ප්‍රහාරයක් ලෙස නොවන සාරධර්ම සහ ගුණගරුක පුරවැසියකු ලෙසින් සිදු කිරීමේ වරදක් නැත. සිංහලයන් බුදුන් වහන්සේ පැවත ආ ශාක්‍ය වංශිකයන්ට ලේ ඥාතීත්වයක් ඇතැයි ඔහු කළ ප්‍රකාශය යම් තැනැත්තන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස හෙළා දකිමින් කළ විවේචන අප හෙළා දැකිය යුතු ය. ඔහු එම ප්‍රකාශය කළේ ඉතිහාසය පිළිබඳ ගැඹුරු කියවීමක් ඇතිව ය. එහි ඓතිහාසික පදනම වූයේ මහාවංශයයි. වසර 2500 කට වැඩි ඉතිහාසයක් ගෙනහැර පාන මහාවංශය ඉන්දීය ඉතිහාසයේ පවා හිස් තැන් පිරවීමට උපයෝගී කරගෙන ඇත. ඉතිහාසය පිළිබඳ කතා කළ ඔහුගේ කරුණු ඉදිරිපත් කිරීම සහ වාග් විලාසය අනුව ඔහු ඉතිහාසයේ අන්කොන් ඇහිඳගෙන වැරැදි මතයක් ගොඩනැගීම කළ අයකු නොවන බව ද ඉතිහාසය දන්නා අයට පැහැදිලි ය. මහාවංශය අනුව විජය රජුගේ ඇවෑමෙන් ඔහුගේ සහෝදරයා වූ සුමිත්ගේ පුත්‍ර කිස්දාන් මල් පඬුවස් කුමරා ලංකාද්වීපයට පැමිණි බවත්, සුද්ධෝදන රජුගේ සහෝදරයකු වූ අමිතෝදන නම් ශාක්‍ය රජුගේ පණ්ඩුශාක්‍ය නම් පුත්‍රයාගේ දියණියක වූ භද්දකච්ඡායනා ආවාහ විවාහ කර ගත් බවත් කියැවෙයි. පසුව පඬුවස්දෙව් කුමරුන් රාජාභිෂේක කළ බවත්, සිංහල රාජධානිය විකාශය වූ වගත් එහි සඳහන් ය.

එම අර්ථයෙන් ගත් කල සිංහලයන්ට ශාක්‍ය වංශිකයන් සමඟ ලේ ඥාතිත්වයක් ඇති බව මහාවංශය විසින් හෙළිදරව් කරයි. එය ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ ව්‍යාජයක් නොවේ. ඕනෑම කෙනෙකුට මහාවංශය අඩංගු දෑ පිළිගැනීමට හෝ නොපිළිගැනීමට අයිතියක් ඇත. එහි සඳහන් ඉතිහාසය වැරැදි යැයි පවසමින් නිවැරැදි ඉතිහාසය කුමක් ද යන්නට කරුණු ඉදිරිපත් කිරීමට ද කෙනෙකුට අයිතිය ඇත. එහෙත් ජැක්සන් ඇන්තනීට පහර ගැසුවන් හට ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ඇතැයි සිතිය නොහැක. ඔහුගේ දේශපාලනික පක්ෂපාතීත්වයට කැමැති අය සහ අකැමැති අය සිටිති. එම කැමැත්ත හෝ අකැමැත්ත ඔවුන්හට පෞද්ගලික වූ කාරණා විය යුතු ය. එය කලා ක්ෂේත්‍රය විවිධ මානයන්ගෙන් බබළවන්නට මහත් දායකත්වයක් දුන් අද්විතීය රංගධරයකු, කලාකරුවකු, සාහිත්‍යඥයකු සහ ඉතිහාසඥයකු මියයන්නට මත්තෙන් ම ඝාතනය කිරීමට වෙරදැරීමක් වැනි ය. එවැනි විවේචකයන්ගෙන් සමාජයට ඇත්තේ කුමන ඵලයක් දැයි යන්න විමසිය යුතු ය.

ඔහු රෝගාතුරව දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටි කාලයේ ඔහු සම්බන්ධව සිදුකළ ප්‍රචාර අතිශය ලෙස සාහසික ය. ඔහු මියගිය පසුව පවා එම අවලාදවල අවසානක් නොතිබුණි.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දුෂ්ට බලවේග ඉදිරියේ ඔහු ජීවත්ව සිටිය දී සාධාරණයක් ඉටු නොවුණත් ඔහුගේ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවේ දී හෝ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉදිරිපත් වී ජැක්සන්ට සාධාරණයක් කිරීමට ගත් උත්සාහය අගය කළ යුතු ය. දක්ෂ කලාකරුවකු බිහිවන විට ඒ ප්‍රමාණයෙන් ම ඔහුට අභියෝගවලට ද මුහුණදීමට සිදුවන බව නොරහසකි.

ගාමිණී ෆොන්සේකා නම් සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයා පරසතුමල් චිත්‍රපටයේ කළ රංගනය සම්බන්ධයෙන් එවකට ප්‍රකට විචාරකයකු සඳහන් කර තිබුණේ එම සිනමා පටයේ නිළියන් තිදෙනෙකු රඟපෑ බවය. එනම් පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක සහ ගාමිණී ෆොන්සේකා යනුවෙනි. එවැනි විවේචන ඉදිරිපත් කිරීම තුළ ගාමිණී ෆොන්සේකා අවබෝධ කරගන්නා ලද්දේ ඔහුගේ විශිෂ්ට රංගනය බව නොවූයේ නම් ඔහුට ද එම ක්ෂේත්‍රය තුළ දුර ගමනක් නොමැතිවීමට ඉඩ තිබුණි. ජැක්සන් ඇන්තනී හුදු නළුවකු පමණත් නොව කලාව සහ ලෝකය පිළිබඳ මනා අවබෝධයක් ලත් සැබෑ කලාකරුවෙකි. ඔහුට බොහෝ ආගමික ඉගැන්වීම් පිළිබඳ මනා අවබෝධයක් ද තිබුණි. ඔහු කිසිසේත් මිථ්‍යාදෘෂ්ටිකයෙක් ද නොවීය. ඔහු උපන් රට ගැන මෙන් ම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කතා කළේ මහත් ආඩම්බරයෙනි. ජාතියක් ජම්මයක් නොදන්නාවුන් කරන්නා සේ තම මව්බිම හෙලාදකිමින් එය අවතක්සේරු නොකළේ ය. ඔහු නිරන්තරයෙන්ම ජනතාව අමතන ලද්දේ ඉතා ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගෙන “ආවඩා ආයුබෝ වේවා” පවසමිණි.

2017 මැයි මස එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, එහි අවසාන සැමරුම නේපාල ජනාධිපති බිද්‍යාදේවි බන්දාරි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේ දී පැවැත්විණි. ඒ වෙනුවෙන් විදේශ නියෝජිත පිරිස සඳහා පැය කිහිපයක දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නට නියමිතව තිබිය දී ජැක්සන් ඔහු මාගෙන් ඉල්ලා සිටියේ ජීවිතයේ එක් වතාවක් හෝ දළදා වහන්සේ දෑසින් දැක බලා වන්දනා කිරීමට ඔහුට අවස්ථාවක් උදාකර දෙන ලෙස ය. ඒ අනුව එම ප්‍රදර්ශනයේ දී ඔහු ඉල්ලා සිටි පරිදි වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. ඉන්පසුව ඔහු මට හමු වූ සෑම අවස්ථාවක දී ම ඉතා සතුටින් සහ ජයග්‍රාහී ලීලාවකින් පැවසුවේ එම අවස්ථාව ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් බවත්, එම උදව්ව ඔහු ජීවත්ව සිටින තාක් අමතක නොවන බවත් ය.

ඉන් පැහැදිලි වන්නේ ජැක්සන් යනු නිකම්ම නළුවකු නොව සැබෑ මානව හිතවාදියකු බවයි. ඔහු ඉතා සරල ගති පැවතුම් තිබූ එහෙත් ජීවිතයේ සහ කලාවේ ගැඹුරු තැන් ස්පර්ශ කළ අයෙකි. ඔහු සම්බන්ධව සිදු කළ අවිචාරවත් විවේචන හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇති වූ චිත්ත පීඩා සම්බන්ධයෙන් නම් ඔහු මියයන අවස්ථාවේ දී ද මානසික වේදනාවට පත්ව සිටින්නට ඇතැයි සිතිය හැකි ය. ඔබ කලාකරුවකු ලෙසට සලකා ආදරය කළ ඔබගේ රසිකයෝ ඔබ වෙත යම් දුෂ්ට බලවේග එල්ල කළ විවේචන පිළිබඳව කම්පා වෙති.

අයර්ලන්ත දාර්ශනිකයකු වූ  ජොනතන් ස්විෆ්ට් පවසන ලද්දේ “ලොවට ශ්‍රේෂ්ඨයකු බිහි වූ විට ඔබට එය හඳුනාගත හැකි සලකුණක් ඇත. එනම් මොට්ටයන් බොහෝ දෙනකු එක්රැස්  වී ඔහුට එරෙහිව සන්ධානයක් ගොඩනගාගැනීමයි.”

(***)