මරණ දඬුවම නොදීමට ජනපති තීරණය අගයමු


මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් පුවත  නොබෝදා  පුවත්පත්වල පළවිය. මරණ දඬුවම  ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 ගනු ලැබූ තීරණය  බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේ  නීතිපතිවරයා වෙනුවෙන් මෙය දැනුම් දී ඇති බව ද සඳහන් වේ. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අදහසට 2018 ජුලි 10 වැනිදා කැබිනට් මණ්ඩලයේ එකඟතාව  ලැබී තිබිණි. ඒ අනුව 2018 ජුලි 11 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවද හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනිවාහිදී මානව හිමිකම් කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ මරණ දඬුවම තහනම් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවයි. 

2018 දී හිටපු ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට සහ කැබිනට් එකඟතාව ඊට හිමිවන්නට පෙරාතුව 2016 ජනවාරි 01 දාතමින්, මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වූ නිර්දේශයක්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යොමුකොට තිබිණි.  එම නිර්දේශය සඳහන් ලිපියේ දෙවැනි ඡේදයේ මෙසේ සඳහන් වේ. 

“මරණ දඬුවම ජීවිතයට ඇති අයිතිය කෲර සහ අවමන් සහගත දඬුවම්වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරනු ලබන දඬුවමක් ලෙසින්ද අන්තගාමී වූත් වෙනස් නොකළ හැකි වූත් අපරාධ මර්දන ක්‍රමයක් ලෙස  ප්‍රතිඵල විරහිත දඬුවම් ක්‍රමයක් ලෙසින්ද ලොව පුරා ඇති පිළිගැනීමෙන් මිදී සිටීමට ශ්‍රී ලකාවට නොහැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත මෙම නිර්දේශය  ඉදිරිපත් කරමින් අවධානය යොමුකරවයි.’’

මේ හැරුණු කොට මරණ දඬුවම පිරිනැමීමේ අනර්ථකාරී බව සහ අසාධාරණ  බව කියවෙන කරුණු  රාශියක් එම නිර්දේශ ලිපියේ අන්තර්ගත වේ. 

 මරණ දඬුවම සම්බන්ධයෙන් ලෝ පුරා බහුතර රටවල් දරන ස්ථාවරය සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රවණතා විමර්ශනය කළ විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2016 ජනවාරි 01 වැනිදා කර ඇති නිර්දේශය අතිශය සාධාරණ හා යුක්ති සහගත බව පෙනී යයි. 

ලොව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රවණතා අයකුට මරණ දඬුවම පිළිබඳව තොරතුරු කේන්ද්‍රයේ  හා ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පළ කරන තොරතුරු ආශ්‍රයෙන් දැනගත හැකිය. 

2021 වනවිට රටවල් 108 ක් සියලු අපරාධවලට  මරණ දඬුවම දීම අහෝසි කර තිබේ. රටවල් 144ක් මරණ දඬුවම අහෝසි කොට ඇති  හෝ ක්‍රියාත්මක කිරීම නවතා ඇති ගණයට අයත් වේ. ඉන් රටවල් 28ක් පසුගිය අවුරුදු 10ටම මරණ දඬුවම ක්‍රියාත්මක කොට නැත. අපරාධ උදෙසා මරණ දඬුවම තවමත් ක්‍රියාත්මකව පවතින්නේ රටවල් 55ක පමණි. 

2021 වසරේදී රටවල් 18ක වැරදිකරුවෝ වූ අය 579ක් මරණ දඬුවමට ලක්වූහ. ලෝකයේ මරණ දඬුවම යටතේ දිවි ගෙවන අය 28,670කි. ඉන් සියයට 2කට පමණක් එම  දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ලෝකයා මරණ දඬුවම දීම සම්බන්ධයෙන් කිනම් මතයක්  දරන්නේද යන්න සිතාගත හැකිය. 

2021 වසරේ 1000කට වැඩි දෙනකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් චීනය ප්‍රමුඛ ස්ථානය ලබා තිබේ. 314 දෙනකුට මරණ දඬුවම පැනවූ ඉරානය දෙවැනි ස්ථානයේ පසුවේ. ඊජිප්තුව (83) සෞදි අරාබිය (65) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවේ. මෙම ලැයිස්තුවේ ඇමරිකා එක්සත් ජනපදය පසු වන්නේ නව වැනි ස්ථානයේය. 2021 වසරේදී එරට 11 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. 

චීනය මරණ දඬුවම ක්‍රියාත්මක කරනුයේ පෞද්ගලික හා රහසේ බව ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය කියයි. එරට පවුලේ අයට තොරතුරු දන්වන්නේද මරණයට නියම වූ තැනැත්තා මරා දැමීමෙන් පසුවයි. වෙඩි තබා මරා දැමීමද තවමත් චීනයේ ක්‍රියාත්මක වේ.

ඉරානයේ දී සියයට 88 දෙනකුට මරණ දඬුවම දෙන්නේ රහසේය. එරට චූදිතයන්ට වද දී පාපෝච්චාරණ ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ. එරට 2021 මරණ දණ්ඩනය ලැබූවන්ගෙන් සියයට 40ක් මත්ද්‍රව්‍ය වැරදි උදෙසාය. ජපානයේදී එල්ල මැරීම කරනුයේ ප්‍රසිද්ධියේ නොවේ. 1993  සිට 2021 දක්වා ජපානයේ මරණ දඬුවම දී ඇත්තේ 131 දෙනකුටය. 2019 සිට 2021 දක්වා කාලය තුළ ජපානය එම දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ 6 දෙනකු සඳහා පමණි. 

ඇමරිකා එක්සත් ජනපදය මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුවය. 

මරණ දඬුවම නියමව සිටිනා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දහසකට වැඩිය. ඉන් 374 දඬුවම් නියමවූවන් වන අතර 880ක් දෙනා අභියාචනා ඉදිරිපත් කර තිබේ. 

2019 වසරේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට තීරණ කළ අවස්ථාවේ යුරෝපා සංගමය ඇතුළු ලෝ පුරා ආයතන කිහිපයක් ශ්‍රී ලාංකිකයන්ට විරෝධය පළ කර ඇති අයුරු වාර් තා වේ. එම තීරණය ක්‍රියාත්මක කළහොත් GSP+  සහනය නවතා දමන බවටද යුරෝපා සංගමය අනතුරු හඟවා ඇත.

1948 එළිනොර් රූස්වෙල්ට්ගේ ප්‍රධානත්වයෙන් සැකසූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ. සෑම  පුද්ගලයකුටම ජීවත් වීමේ අයිතියක් ඇත. වින්දිතයාට මෙන්ම අපරාධකරුවාටද එම අයිතිය වලංගු බව පැහැදිලිය.

(***)