මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි


(රොයිටර් ඇසුරිනි  - සැකසුම නිලුක සඳුන් බණ්ඩාරනායක)

වසර විස්සකට පෙර  මියගිය තම මවගේ අභාවයෙන් ඇති වූ ශෝකය පාලනය කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත් බව බ්‍රිතාන්‍ය හැරී කුමරු ලන්ඩන් නුවර ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශ කළේය.

1997දී පැරීසියේදී සිදුවූ රිය අනතුරකින් ඩයනා කුමරිය මිය යන විට ඇගේ පුත් හැරී කුමරුට වයස අවුරුදු 12 කි.
“ඇගේ අභාවයෙන් පසු මම අවස්ථා කිහිපයක දීම මානසිකව වැටුණා. එය මගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික කටයුතුවලටත් විශාල බලපෑමක් ඇති කළා“හැරී කුමරු කීවේය. 
 “ඇගේ අභාවයෙන් පසු ඇතිවුණු ශෝකය පාලනය කරගැනීම ඉතාමත් අපහසු වුණා. අම්මා ගැන සිතන්නට පවා මම අකමැති වුණා“
“හිතුවා කියලා මොකද වෙන්නෙ? ඒකෙන් වෙන්නේ මම තවත් දුකට පත් වෙන එක විතරයි. ඇය ගැන හිතුවා කියලා ඇය ආපසු එන්නේ නැහැනේ“ යයි ඩේලි ටෙලිග්‍රාප් පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හැරී කුමරු ප්‍රකාශ කළේය. 
 “හැඟීම්වලට මම කිව්වා ‘හරි, කීයටවත් හැඟීම්වලට කිසිම දේකට එන්න දෙන්න එපා“ යයි හැරී කුමරු සිය මවගේ මරණයෙන් වසර 20 කට පසුව මවගේ මතකය පිළිබඳ හඬ අවදි කළේය. 
මේ සම්බන්ධයෙන් උපකාර හා උපදෙස් ගන්නා ලෙසට ඔහුගේ වැඩිමල් සහෝදරයා වන විලියම් කුමරු කිහිප වතාවක් තමන්ව දිරිමත් කළ බව හැරී කුමරු කීවේය.
ඩයනා කුමරියගේ අකල් මරණයෙන් හැරී කුමරු කෙතරම් කම්පනයට පත්ව සිටියේදී යත් අවස්ථා කිහිපයකදීම ‘කාටහෝ පහරදීමට පෙළඹීම‘ හේතුවෙන් බොක්සිං  ක්‍රීඩා කිරීමට හැරී කුමරු පෙළඹුණේය. ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පූර්ණ ව්‍යාකූල තත්ත්වයෙන් පෙළුණේය.
ඩයනා කුමරිය 1981-1996 කාලය තුළ බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරු සමග විවාහ වී සිටියාය. ඔවුන් දික්කසාද වී දින කිහිපයකින් පසුව ඩයනා කුමරිය සහ ඇයගේ එවකට පෙම්වතාව සිටි ඩොඩී අල් ෆායිඩ් ගමන්ගත් මර්සිඩීස් බෙන්ස් රථය ප්‍රංශයේදී උමං මාර්ගයකදී අනතුරට පත්විය. මෙම අනතුරෙන් දෙදෙනාම මරු දුටහ. 
මිය යන්නට මොහොතකට පෙර ඇය ගමන්ගත් මෝටර් රිය පසුපස පැපරාසීන් යතුරු පැදිවලින් ලුහුබැඳ ගියහ. ඔවුන්ගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත් පත් සඳහා පෙම්වතුන් දෙදෙනාගේ ඡායාරූප සැපයීමයි. 
එංගලන්ත රජ කිරුළට දැනට සිටින උරුමක්කරුවන් අතරේ පස්වෙනි තැනට පත්ව සිටින හැරී කුමරු පැවසුවේ තමන්ට මව නැතිවීමේ සාංකාව තිබූ බවයි. නමුත් දැන් තමන් හොඳ තත්ත්වයකින් පසුවන බවද කුමරු කියයි.
හැරී කුමරු වසර 10 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළේය. දෙවරක් ඇෆ්ගනිස්ථාන යුද්ධවලටද ඔහු සහභාගී වුවේය. වර්තමානයේ දී ඔහු සමාජ සත්කාර සංවිධාන සමගින් කටයුතු කරයි. තුවාල ලැබූ හමුදා සෙබළුන්ට උපකාර කිරීමේ සංවිධානයක් සමගින් ද ඔහු කටයුතු කරයි. ඒ සඳහා විලියම් කුමරු හා ඔහුගේ බිරිඳ කැතරින් ද සහය පළකරයි. විලියම් කුමරු මානසික සෞඛ්‍ය පුණ්‍යයාතනයක් පවත්වාගෙන යයි. 
 “පසුගිය වසර දෙක හමාර තුළ වූ ක්‍රියාවලිය නිසා මට දැන් මගේ වැඩකටයුතු ගැඹුරින් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මගේ පෞද්ගලික ජීවිතයත් හොඳින් ගෙවීමට මට හැකියාව ලැබිලා තියෙනවා. මගේ ජීවිතය වෙනස් කරගන්න හැකි දේවල්වලට මගේ දහඩිය, කඳුළු වැය කිරීමට මට දැන් හැකියි“ හැරී කුමරු කීවේය.

ඩයනා කුමරිය විසින් හැරී කුමරු වඩාගෙන සිටියදී

ඩයනා කුමරිය අනුස්මරණ උද්‍යානයේ ඡායාරූප ගන්නා සංචාරකයන්

කෙන්සිංග්ටන් මාළිගයේ පිහිටි ඩයනා කුමරිය අනුස්මරණ උද්‍යානය