මහජන මුදල් ‘සඟසතු දේපළකැයි’ ඇදහූ පුණ්‍යවන්ත ඉතිහාසයක් මෙරට සතුය. මෙහි ‘පුණ්‍යවන්ත’ යැයි සඳහන් කරනු ලැබුවේ මහජන මුදල් නාස්ති කිරීම, මහජන මුදල් සොරකම් කිරීම අවීචි මහා නරකාදියෙහි ඉපදීමට හේතු වන මහා පාපයක් වන හෙයිනි. සඟසතු දේපළ භුක්ති විඳීම පෙරේතයන්, පිසාචයන් වී ඉපදීමට තරම් බලවත් පාපයක් බව පැරැන්නෝ සිතූහ. එලෙසින්ම මහජනයාගේ තඹ දොයිතුවක හෝ තරම් මුදලක් ඔවුහු සොරකම් නොකළහ. නාස්ති නොකළහ.
දේශපාලනය බඩ රස්සාවක් බවට පත්ව ඇති කලෙක සියල්ල කණපිට හැරී ඇත. ඒ අනුව මහජනයාගේ මුදල් යනු හැකි නම් ගසා කෑමට ඇති දෙයකැයි ඔවුහු සිතති. මහජනයාගේ මහ ධනය තැන්පත් කර ඇති මහ බැංකුව මහ දවාලේ කොල්ලකන්න උත්සාහ කරන්නෙත්, පාරට දමන තාර ටිකෙන්, පාලමට ගෙනා යකඩ කැබැල්ලෙන්, සිමෙන්ති කොට්ටයෙන් ආදී වශයෙන් ඕනෑම දෙයක් සොරකම් කිරීමට, ඕනෑම දෙයකින් ගසාකෑමට ඔවුහු පෙළඹී සිටිති. මේ ‘ඔවුහු’ යන්නට බඩජාරි දේශපාලනඥයෝ ද චෞර කප්පිත්තෝ බවට පත්ව සිටින නිලධාරීහු ද අයත් වෙති.
ඉහත කාරණාව සනාථ කිරීමට සමත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ, මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහ නගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ මුදල ඉක්මවා සියයට 41ක් එනම්, රුපියල් කෝටි 28කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති බවය. අප ප්‍රවෘත්තියට අනුව මෙම කරුණු අනාවරණය වී තිබෙන්නේ, රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය. එනම්, කෝපා කමිටුවේදීය.
කෝපා, කෝප් වැනි කමිටු නොතිබෙන්නේ නම්, රටේ ධනයට සිදුවන්නේ කුමක්දැයි ජනතාවට දැන ගැනීමට තැනක් නැත. එහෙයින් මෙම කමිටු තිබීම අතිශයින්ම වැදගත්ය. මෙම කමිටුවල අභ්‍යන්තර සාකච්ඡා, පරීක්ෂණ එකල මාධ්‍යයට විවෘත වූයේත් නැත. යහපාලන ආණ්ඩුව සමයේදී මේවා මාධ්‍යයට විවෘත විය. එය යහපාලන යන අදහසට සාධාරණය ඉටු කිරීමකි. මෙමගින් රටේ ධනයට සිදුවන්නේ කුමක්දැයි ජනතාවට දැන ගැනීමේ හැකියාව ලැබී ඇත. එය අතුරු කතාවකි.
කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහ නගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ මුදල ඉක්මවා සියයට 41ක් එනම්, රුපියල් කෝටි 28කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබේ. සාමාන්‍යයෙන් මෙහිදී සිදුවන්නේ අඩුම ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමය. රුපියල් කෝටි 28ක් ඒ මහත්වරුන්ට එතරම් මුදලක් නොවිය හැකිය. එහෙත් මේවා මහජනයාගේ මුදල්ය. එම මුදල් වියදම් කළ යුත්තේ වගකීමෙන්ය. එමෙන්ම පාරදෘෂ්‍යභාවයෙන්ය.
මෙම කොන්ත්‍රාත් ප්‍රදානයේ සැකකටයුතු ප්‍රධාන කාරණාවක් තිබේ. එනම්, කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙන්නේ, පළමුව සකස් කළ ඉංජිනේරු ඇස්තමේන්තුව නිවැරැදිව සකස් වී නොමැති බවය. එය එසේ වූයේ කෙසේ ද? ඉංජිනේරු ඇස්තමේන්තුව සකස් කිරීමේදී මධ්‍යම වෙළෙඳපොළේ එක් වැදගත් ස්ථානයක් හලා ඇස්තමේන්තුව සකස් කළ විට අතරමගදී එම ස්ථානය ඇස්තමේන්තුගත වී නොමැති බව අනාවරණය වෙයි. එම වරද තිබියදී ගොඩනැගිල්ල සම්පූර්ණ කළ නොහැකිය. එවිට සිදුවන්නේ කටට එන ගණනක් කඩදාසිවල ලියා එම මුදල අතට ගැනීමය.
සොරකම් අතර සාමූහික සොරකම් ද වේ. කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීමේදී සිදු වී තිබෙන්නේ එබඳු සාමූහික සොරකමක් ද යන ප්‍රශ්නය මතු වේ. පළමුව සකස් කළ ඉංජිනේරු ඇස්තමේන්තුව නිවැරැදිව සකස් වී නොමැති බව අනාවරණය වීමෙන් පසුව ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
නිලධාරීන්ගේ වග වීමේ තරම ඉහත සිදුවීමෙන් මනාව පැහැදිලිය. රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කළ හැකි ද? මහජනයාගේ බදු මුදලින් ඉගෙනගත් මෙම නිලධාරීන් පෙරළා එම ජනතාවට යුතුකම් ඉටු කළ යුතුය. ඒ සඳහා පඬුරු පාක්කුඩම් ඇවැසි නැත. ඒ වෙනුවට කළ යුත්තේ, මහජනයාගේ එක රුපියලක් හෝ සොරකම් නොකිරීමට, අපතේ නොයැවීමට කටයුතු කිරීමය.
කුරුණෑගල මධ්‍යම බස් නැවැතුමෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන් කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාමර 31ක් පෞද්ගලික වියදමින් ඉදිකර ගැනීමට අවසර දී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ. එමෙන්ම, කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළේ අදියර 1 සහ 2 යටතේ ඉදිකරමින් පවතින කඩ කාමර 123ක් හා මාලිගාපිටියේ කඩ කාමර 12ක් දිගු කාලීන බදු ක්‍රමය යටතේ නිවැරැදි ක්‍රමවේදයකින් තොරව ලබා දීම සම්බන්ධ තොරතුරු ද මෙහිදී අනාවරණය වී තිබේ.
මේවා ‘අම්මාගේ අප්පාගේ බූදල’ නොවේ. මේවා රාජ්‍ය දේපළ වේ. මහජනතාවගේ මුදල් වේ. තම ගජ මිතුරන් සමග සිත්සේ භුක්ති විඳීමට තමන්ට හැකියාවක් ඇතැයි යමකු සිතන්නේ නම්, හෙතෙම දේශපාලනයට සුදුසුම නැත.