මාධ්‍යවේදීන් දඩයම් කිරීම දැන්වත් නතර කරවමු


මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල පිහිටි නිවෙසට ආදරවන්තයන්ගේ දිනයදා අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරකයන් සිවු දෙනකු පැමිණ එක් ප්‍රහාරකයකු එම නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක නිලධාරියා තම බාරයට ගෙන සෙසු තිදෙනා පරිශ්‍රයට ඇතුළුවී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව අප පුවත්පත වාර්තා කර තිබේ. සුදු පැහැති කුඩා වෑන් රියකින් ප්‍රහාරකයන් පැමිණ ඇති බව ද වාර්තා විය. ගල් මුල් ප්‍රහාරයේ හඬට අමතරව වෙඩි ප්‍රහාරයක ශබ්දයක් ද තමන්ට ඇසුණු බව චමුදිත සමරවික්‍රම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. 

ප්‍රහාරකයන් කවුද යන්න තවම නිශ්චිතවම හඳුනාගෙන නැත. එහෙත් අවි බලයෙන් බාහු බලයෙන් තම තමන්ගේ ගැටලු නිරාකරණය කරගත හැකි යැයි සිතන ත්‍රාඩයකුගේ අතවැසියන් සිවුදෙනකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බව ඉතා පැහැදිලිය. එම නිවාස සංකීර්ණයේ නිවාස සියයක් පමණ තිබෙන බවත් එයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙස ටක්කෙටම ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලකර තිබීමෙන් ඉතා සැලසුම් සහගතව මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව ද පැහැදිලිය.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙස මැර ප්‍රහාරයකට ලක්වන්නේ ඔහුගේ මාධ්‍ය භාවිතය නිසා යැයි අපි විශ්වාස කරමු. මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ මාධ්‍ය භාවිතයට ඇලුම් කරන්නන් මෙන්ම ඇලුම් නොකරන්නන් ද සිටිය හැකිය. ඔහුගේ ප්‍රහාරාත්මක ප්‍රශ්න කිරීම් හමුවේ මෙන්ම පත්තර විස්තර ඉදිරිපත් කිරීමේ දී දක්වන නිර්දය විචාරයන්ගෙන් ‘‘රෙදි ගලවාගත්’’ අය ද සිටිය හැකිය. එහෙත් කිසිවකුට මැර බලය පා තම විරෝධය පළ කිරීමට අයිතියක් නැත. එහෙයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ලවූ මෙම තුච්ඡ මැර ප්‍රහාරය බලවත් පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු. 

මාධ්‍යවේදියා නියෝජනය කරන්නේ ජනතාවගේ හද ගැහෙන රිද්මය වේ. ඒ ජනයා විඳින විඳවන අතොරක් නැති දුක් ගැහැට සමාජය මත මුදාහරිනු ලබන්නේ මාධ්‍යවේදියාය. එහෙයින් මෙම මාධ්‍යවේදියා සමාජයේ බහුතරයකගේ ගෞරවයට පාත්‍රවන අතර සුළුතරයකගේ වෛරයට පාත්‍ර වේ. එකී වෛරය විවිධාකාරයෙන් මුදාහැර ඇති අවස්ථා ඉතිහාසයේ අප්‍රමාණ ලෙස සටහන් වී තිබේ. 

ඇත්ත පුවත්පතේ කාටුන් ශිල්පි ජෙෆ්රි යුසුප් මහතාගේ නිවෙසට පැන ඔහුගේ කට කපා පලාගොස් තිබුණේ පාතාල කල්ලි නායකයකුගේ මැර බළකාය විසිනි. මේ පාතාලයාට එවකට තිබූ එජාප ආණ්ඩුවේ ප්‍රබල සහයෝගයක් ද තිබිණි. රූපවාහිනී මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා මහතා පහැරගෙන ගොස් මරා මළ සිරුර මුහුදට විසි කරනු ලැබුවේ ද ඒ පාලන සමයේදීමය. උතුරු අර්ධද්වීපයේ ප්‍රබල මාධ්‍යවේදියකු වූ එස්. නිමලරාජන් මහතා යුද සමයේ නාඳුනන තුවක්කුකරුවකුට බිලි විය. 

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමුවේ දෙනෝ දාහක් ජනී ජනයා ගැවසෙන ප්‍රධාන මාර්ගයක දී මහ දවාලේය. එහෙත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් අද වනතුරු ද නැත. රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි උපාලි තෙන්නකෝන් මහතා නිවසේ සිට පත්තර කන්තෝරුවට යන අතරතුර දී මැර ප්‍රහාරයකට ලක්විය. ඔහු ජීවිතය බේරාගත්තේ අනූ නවයෙනි. වෙබ් මාධ්‍යවේදියකු වූ එක්නැලිගොඩ අතුරුදන් කර සෑහෙන කලක් ගත වුවද ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් නැත. දේශපාලන විචාරකයකු වූ සිවරාම් හෙවත් තාරකීගේ වෙඩි වැදුණු නිසල මළ සිරුර හමුවූවේ අධි ආරක්‍ෂිත කලාපයේදීය. 

මාධ්‍යවේදීන් පසුපස මරණය මෙසේ ලුහුබඳින්නේ ඇයි? ඔවුන් ජනතාවගේ හඬ නියෝජනය කරන හෙයිනි. ජන සටන් මුවහත්ව නව වටයකින් රළ ගසා පෙරට පැමිණෙන්නේ ජනමාධ්‍යවේදීන්ගෙන් ලැබෙන ජවය බලය ශක්තිය මතිනි. එහෙයින් එම ජනමාධ්‍යවේදීන්ගේ හඬ නිහඬ කිරීම බියවද්දා මුළුවැද්දීම සෑම ආකාරයකම, සෑම වර්ණයකම තක්කඩියන්ගේ පළමු උත්සාහය වේ. එහෙත් ඉතිහාසයේ සිදුවී ඇත්තේ කුමක්දැයි එළැඹ ගත් සිහියෙන් යුතුව ආවර්ජනය කර බලන්නැයි ඒ තක්කඩියන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ලවීම එක් හුදෙකලා සිද්ධියක් නොවන බව අපි විශ්වාස කරමු. මෙය දිගුකාලීන මහා ව්‍යාපෘතියක අත්හදා බැලීමක් විය හැකිය. මෙබඳු නිවට තක්කඩියන්ට රිස්සක් කර ගැනීමට ඉඩදී නිහඬව සිටිය යුතු නැත. මෙම සකල අගති කුදලා දමන මහා හඬක් සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්විය යුතුය. එහි අපගේ පළමු පියවර මෙසේ සටහන් කර තබමු. 

(***)