මානව හිමිකම් කොමිසමේ දෙබිඩි වැඩ


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳව මෙරටේ කිසිම කෙනකු නොදක්වන ආකාරයේ උනන්දුවක් දක්වන ආයතනයක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. එය වසරකට තුන් වතාවකට නොඅඩු වාර ගණනක් රැස්වෙන අතර, ඒ සෑම අවස්ථාවකදී ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡාවක් මෙම කවුන්සිලය විසින් පවත්වාගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා ඊට ඉදිරිපත් කරනු ලැබේ. ඒවා පිළිබඳව ලෝකය පුරා ප්‍රචාරය වේ. ශ්‍රී ලංකාවට මානව හිමිකම් රැකීම පිළිබඳව උපදෙස් දෙන්නේද, ඒවා ක්‍රියාත්මක කරන්නේද යන්න පරීක්ෂා කරන්නේ එම ආයතනය විසිනි. එයට එවැනි බලයක් හිමිව තිබෙන බව එම සංවිධානයේ ඇතැම් නිලධාරීහු මෙන්ම සමහර රටවල් ද සිතති.

පලස්තීනයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට එකවරම රොකට් ප්‍රහාර එල්ල කර එරට වැසියන් ඝාතනය කිරීමේ ප්‍රහාරය ආරම්භ කළේ 2023.10.07 වැනි දින දී ය. ඊශ්‍රායල වැසියන් 1400 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

ඒ අතරම ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් 2000 ක පමණ ගාසා වැසියන් පිරිසක් එම අවස්ථාවේ දී මරණයට පත්වූ බව වාර්තා වී තිබුණි. ඊශ්‍රායලය එවැනි ප්‍රහාර මින් මතු ඇතිවීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කරමින් හමාස් සාමාජිකයන් ක්‍රියාත්මක වූ ගාසා තීරයට දැන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ.

හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලවාසීන් මරා දැමීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවකු විසින් අනුමත කරන්නේ නැත. එම ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරය බොහෝ දෙනකු විසින් හෙළා දැක තිබේ. කෙසේ වුවද, ඊට ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස ඊශ්‍රායලයේ සන්නද්ධ හමුදාව විසින් ලක්ෂ විසිතුනක් පමණ ජන සංඛාවක් ජීවත්වන ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, එය ආක්‍රමණය කිරීමට ගෙන ඇති තීරණයත්, ඒ අයුරින්ම හෙළා දැක තිබේ.

මුළු ලෝකයේම ඊශ්‍රායලය විසින් අනුගමනය කරන එම ක්‍රියා පිළිවෙත තරයේ හෙළා දකින ආකාරය පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් ඒ හා සම්බන්ධව සම්මත කරගනු ලැබූ යෝජනාව අනුව පැහැදිලි වේ. ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් වහාම ඇති කළ යුතු බවට ජෝර්දානය තවත් රටවල් 22 ක් සමග ඉදිරිපත් කරන ලද එම යෝජනාවට ඊශ්‍රායලයත් ඇමරිකා එක්සත් ජනපදයත්, තරයේ විරුද්ධ විය.

ඊශ්‍රායලය මහා මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රකාශ කළේ සටන් විරාමයක් ඇති කිරීම මගින් ත්‍රස්තවාදීන්ට හොඳින් සංවිධානයවීම සඳහා අවස්ථාවක් සැළසෙන බවය. කැනඩාව මහා මණ්ඩලයට ඉදිරිපත් වූ ජෝර්දාන් යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කළේය. ජෝර්දාන් යෝජනාවේ හමාස් සංවිධානයේ නම සඳහන් නොවන බව ප්‍රකාශ කළ කැනඩාව හමාස් සංවිධානය හෙළා දකින ආකාරයේ ප්‍රකාශයක් ඇතුළත් කර එය සංශෝධනය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

එවැනි සංශෝධනයක් සම්මතවීම සඳහා මහා මණ්ඩලයේ පැමිණ සිටින සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයක් ලබාගත යුතු නමුත්, එම ප්‍රමාණය නොලැබීම නිසා එය නිශ්ප්‍රභ විය. ඉන් අනතුරුව ජෝර්දාන මුල් යෝජනාව සඳහා ඡන්ද විමසීමක් සිදුවූ අතර, යෝජනාවට පක්ෂව රටවල් 122 ක් ඡන්දය දුන් අතර, විරුද්ධ වූයේ රටවල් 14 ක් පමණි. රටවල් 45 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ශ්‍රී ලංකාව යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නේය.  යෝජනාවට විරුද්ධ වූයේ ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට රටවල් 12 ක් පමණි.

ඊශ්‍රායලය විසින් මුලින්ම ගාසා තීරයට ගුවන් ප්‍රහාර ආරම්භ කළ අතර, ඉන්පසු එම ප්‍රදේශයට බාහිර සැපයුම් යැවීම ද අවහිර කළේය. ආහාරපාන, ජලය සහ ඖෂධ යැවීමට ද දැන් අවහිර කර තිබේ. දුරකථන මාර්ග සහ අනෙකුත් සන්නිවේදන ජාල සියල්ලම අවහිර කර ඇති බැවින්, අඩුම වශයෙන් ගාසා වැසියන් මුහුණ දී සිටින අවදානම් තත්ත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීමට පවා නොහැකි අවස්ථාවකට පත්ව තිබේ.

දැනට මාස එකහමාරකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජිනීවා හි දී රැස් වූ අතර, සිරිත් පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූයේය.  මීට පෙර මෙන් එයද බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති ආකාරය පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ එහිදී සාකච්ඡා ඇති විය.  ඊශ්‍රායලය සහ ගාසා තීරයේ මානව හිමිකම් පිළිබඳව වගකීම පැවරී ඇත්තේ ද මෙම කවුන්සිලයටමය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව මෙම කවුන්සිලය දක්වන උනන්දුව අනුව නම් ලෝකය කොතැනක හෝ මානව හිමිකම් කඩවීමක් ඇති වුවහොත් ඒ පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් පිළිබඳව වැඩි වශයෙන් චෝදනා ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවස්ථාවේදී ඇතිවූ කරුණු මුල් කර ගනිමිනි.

යුද්ධය අවසන් වී දැන් වසර 13 ක් ගතවී ඇත. ඒත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට නැගෙන චෝදනා දෙස බලද්දි හැඟෙන්නේ යුද්ධය ඊයේ පෙරේදා අවසන් වූවක් ලෙසය. ඒ අයුරින් සාකච්ඡා කරන සංවිධානයක් අත දරුවන් ඇතුළු ළමයින් විශාල පිරිසක් සහ අහිංසක ජනතාව විශාල පිරිසක් කිසිදු හේතුවක් නැතිව ඝාතනය වෙද්දී සහ ඔවුනට උන්හිටිතැන් අහිමි කරද්දී තවමත් නිකුත් කර ඇත්තේ යන්තම් එම සිදුවීම් ගැන සඳහන් කරන හුදු ප්‍රකාශයක් පමණි. අඩුම තරමින් ළමයින්ට, කාන්තාවන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ආබාධිත පුද්ගලයන්ට සහ රෝගීන්ට ආරක්ෂිතව එම ප්‍රදේශවලින් ඉවත්වීමට ඉඩ සැලසෙන ක්‍රියා පිළිවෙතක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හෝ ප්‍රබල ආකාරයේ කරුණු දැක්වීමක් හෝ එම ප්‍රකාශවල අඩංගු නොවේ.

ඒ අතරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වෙද්දී එය පැවැත්වෙන ජිනීවා නුවරට ගොස් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කරන දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධාන ගාසා ප්‍රදේශයේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමට හෝ ඉදිරිපත් නොවන බව පැහැදිලිය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයත් ඊට සම්බන්ධ වී විවිධ චෝදනා සහ යෝජනා ඉදිරිපත් කරන පිරිස් හා ආයතන විසින් කරනු ලබන්නේ රංගනයක් පමණක් බව පැහැදිලිය. වඩාත් හොඳින් කරුණු නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරිපත් කිරීමට මූලිකව කටයුතු කරන්නේත්, අද ඊශ්‍රායලය විසින් ඉතා දරුණු ආකාරයෙන් මානව හිමිකම් කඩ කරන විට එම රට ආරක්ෂා කිරීමට  ඉදිරිපත් වී සිටින්නේත්, එකම පිරිසක් බවය. එකම රටවල්ය. එකම ආයතනය. එකම පුද්ගලයන්ය. එහෙත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් ය.

ශ්‍රී ලංකාවට සටන් වැදීමට සිදුවූයේ ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ මට්ටමක පුහුණුවක් ලබා සිටි සහ සංවිධාන ජාලයක් ඇතිකර ගෙන සිටි නවීන සහ දියුණු ආයුධ සහ ගුවන් යානාවලින් පවා සන්නද්ධ වූ දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් සමගිනි. එහෙත් අද ඊශ්‍රායලය රැකීමට ඉදිරිපත් වී සිටින රටවල් සහ සංවිධාන එදා සිටියේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන උත්සාහයකය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අගමැති නෙතන්‍යාහු හමුවී එම රටවල සහාය ඊශ්‍රායලයට ලබාදෙන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමතිවරු කොටි ත්‍රස්තවාදී සංවිධානයට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට උත්සාහ කළේය.

ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ඇතිවූ යුද්ධයේ දී එම පිරිස සිටියේ ශ්‍රී ලංකා රජය සමග නොව ත්‍රස්තවාදීන්  සමගය. අද  එම පිරිස ඊශ්‍රායල් රජය සමග සිටී. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිටි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එම අවදියේත්, ඉන්පසු මානව හිමිකම් කවුන්සිලයේදීත් දැවැන්ත හඬක් නැගූ එම රටවල් ගාසා තීරයේ අහිංසක ජනතාවගේ ජීවිත නැතිවීම පිළිබඳව අඩුම තරමින් හඬක් හෝ නගන්නේ නැත. කාගේත් ජීවිත රැකෙන පරිදි සටන් විරාමයක් ඇතිකර ගැනීමට ඉඩදීමට පවා ඔවුන් සූදානම් නැත.

මානව හිමිකම් පිළිබඳව ඇතැම් රටවල දෙබිඩි පිළිවෙතත් නිරුවතත් එමගින් හෙළිවන අතර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ඒවා නැරඹීම සඳහා දැන් අවස්ථාව සැලසී තිබේ.

මේ අවස්ථාවේදී පළපුරුදු රාජ්‍ය නායකයකු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන පිළිවෙත ශ්‍රී ලංකාව ස්වාධීන රටක් ලෙස ක්‍රියා කිරීමට පටන් ගෙන ඇති ආකාරය පැහැදිලි වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන් අවස්ථාවේදී හමාස් ත්‍රස්තවාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එසේ වුවද ගාසා තීරයේ ජීවත්වන ජනතාවගේ මානව හිමිකම් මෙන්ම ජීවිත ද ආරක්ෂා කළ යුතු බවද අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමේදී ජෝර්දානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට සහාය දී ගාසා තීරයේ වහා සටන් විරාමයක් ඇතිකළ යුතු බවට වූ යෝජනාවට පක්ෂ විය. එසේ වුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා නොවන බවට චෝදනා කළ පිරිස අද ගාසා තීරයේ සිදුවන මානව හිමිකම් කැඩීම්වලට කොන්දේසි විරහිතව සහාය පළ කරති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැන් තද නින්දක ය.