මාරක රිය අනතුරෙන් මවුපියන්ට පාඩමක්


 

‘ගවරාගේ ආදරය’ යනු සිංහල භාෂා ව්‍යවහාරයේ එන උපහැරණයකි. ගවරාගේ පැටියාට තුවාලයක් වූ කල ගවයා එම තුවාලය දිවෙන් පිරිමදී. එම පිරිමැදීම නිසා පැටියාට ඒ මොහොතේ තාවකාලික සුවයක් ලැබේ. එහෙත් එම පිරිමැදීම නිසා තුවාලය ප්‍රසාරණය වෙයි. නියත ප්‍රතිඵලය වන්නේ පැටවා මිය යාමය. ගවරාගේ ආදරය විනාශය රැගෙන එන්නේ එසේය.

ඇතැම් දෙමාපියන් සතුව තිබෙන්නේ ද ගවරාගේ ආදරයම වේ. දරුවාට ඇති ආදරය නිසාම දරුවාට අවශ්‍ය දේ කිරීමට නිදහස හා අවසරය ලබා දෙයි. ඉල්ලන ඉල්ලන දේ ලබා දෙයි. එහි හොඳ නරක සොයා නොබලයි. උචිත-අනුචිත බව තැකීමක් නොකරයි. දරුවාට සිතැඟි පරිදි හැසිරීමට ඉඩ ලබා දෙයි. අවසානයේ එය මහා විනාශයකට හේතුවන බව පහසුවෙන් අමතක කරයි.

ඉකුත් 4 වැනිදා කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක් සිදුවිය. සුඛෝපභෝගී මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන වාහන හතරක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගිය බව අප පුවත්පත ප්‍රධාන පුවත ලෙස වාර්තා කළේය. පස් දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන්ය.

මෙම මාරක රිය අනතුරෙන් විශේෂත්වය වන්නේ අනතුර සිදු කළ සුඛෝපභෝගී රථයේ රියැදුරා දහසය හැවිරිදි දරුවකු වීමය. එම මෝටර් රථයේ හිමිකරු 16 හැවිරිදි පාසල් සිසුවාගේ පියා මහබාග ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ස්වණාභරණ වෙළෙඳ සැලක හිමිකරුවෙකි. ඔහු එම රථය සෝදා මිදුලේ නතරකර තිබිය දී 16 හැවිරිදි දරුවා රථය රැගෙන ගොස් ඇති බවත් ඒ බව පියා ඇතුළු නිවැසියන් නොදැන සිටි බවත් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

දරුවා යනු දෙමාපියන්ට ආභරණයකි, ආඩම්බරයකි, අභිමානයකි. තම දරුවා උස් මහත් වෙමින් ප්‍රකට කරන දස්කම් විස්කම් දෙස බලා දෙමාපියෝ අපමණ සතුටක් ලබති. දරුවන්ට ආදරය කරන දෙමාපියන්ගේ හැටි එහෙමය. කුඩා දරුවන් උකුල මත තබාගෙන රිය පදවන තාත්තලා සිටිති. එය බෙහෙවින් අනතුරුදායක වුවත් ආදරය වැඩි කමට තාත්තලා එසේ කරති. දරුවා කුඩා වුවත් රිය පදවන්නේ නම් එය අගය කරති. සෙස්සන් ඉදිරිපිට ඒ ගැන සතුටෙන් කතා කරති. මේවා සාමාන්‍යයෙන් සිදුවන දේය. එහෙත් ’නූලෙන් ගැස්සී ගියොත්’ සිදුවිය හැකි දේ සම්බන්ධයෙන් ද අවබෝධයක් තිබිය යුතුය. නැතහොත් එය දරුවාගේ ජීවිතයට අනතුරකි. දරුවා නිසා සෙස්සන්ගේ ජීවිතවලට අනතුරකි. රිය අනතුරට සම්බන්ධ දරුවාත් දරුවාගේ පියාත් දැන් රිමාන්ඩ් බාරයේය.

ඇතැම් දරුවන් වෙනස්ය. ඇතැම් දරුවන්ට චිත්තාවේග පාලනයක් නැත. ඇතැම්විට අධික ලෙස කෝපයට පත්වන්නකු විය හැකිය. මානසික ආබාධ ඇති දරුවෝ ද සිටිති. ඇතැම් දරුවෝ මුරණ්ඩු වෙති. දරුවාගේ නියම තත්ත්වය හඳුනා ගැනීමට දෙමාපියන් සමත් විය යුතුය. එසේ හඳුනා ගැනීමෙන් එයට ගැලපෙන පරිදි වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. එය දෙමාපියන්ගේ වගකීමය. එම වගකීමෙන් බැහැරවීමට දෙමාපියන්ට නොහැකිය. ‘දරුවන්ගේ වැරැදිවලට දෙමාපියන් පලි නැතැයි’ තර්කයක් මතු කළ හැකිය. එහෙත් වැරැදි නොකරන දරුවකු නිර්මාණය කිරීම දෙමාපියන් සතු අත්හළ නොහැකි වගකීමකි.

පොලිස් කූඩුවේ සිටින පුතුට මත්පෙති රැගෙන එන අම්මලා ගැන මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය. බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන ආ පුතුට මත්ද්‍රව්‍ය රැගෙන යන තාත්තලා සිටිති. ඒ මත්ද්‍රව්‍ය නොමැතිවීම නිසා අතු බිඳින වේදනාව ඔවුන් දන්නා නිසා විය හැකිය. ඇතැම් දරුවන්ට ‘කුඩු’ ගැසීමට මුදල් දෙන්නේ ද අම්මලා තාත්තලාමය. එය අවසානයේ වැටෙන්නේ ‘ආදරය’ නැමැති ගිණුමටය. එහෙත් එම ආදරය ‘ගවරාගේ ආදරයෙන්’ කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.

කුඩු නැතිව දුක් විඳින පුතාට කුඩු ගෙනත් දීම වෙනුවට මව්පියන් කළ යුතුව තිබෙන්නේ කුඩු නොගසනා දරුවකු නිර්මාණය කිරීමය. ඇතැම් දෙමාපියන් සිතන්නේ දරුවාට හොඳම ඉගැන්වීම සැප පහසුකම් සලසාදීම තමා අතින් සිදුවිය යුතු ප්‍රධාන යුතුකම් සේය. එහෙත් එය එසේ නාවේ. සිඟාලෝවාද සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පහක් දක්වා තිබේ.

ඉන් පළමු වැන්න පාපයෙන් හෙවත් වරදින් වැළැක්වීමය. දෙවැන්න යහපතට යොමු කිරීමය. අධ්‍යාපනය ලබාදීම දක්වා ඇත්තේ ඉන් පසුවය. වැරැද්දෙන් නොවැලකුණු, යහපතෙහි නොයෙදෙන දරුවා කිසි විටෙක මව්පිය අභිමථාර්ථ ඉටු නොකරයි. ‘ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ යනුවෙන් දක්වා තිබෙන්නේ එහෙයිනි. මේවා දිවමන් වැකි ලෙස මව්පියන් ප්‍රගුණ කළ යුතුය. එවිට දරුවන් වෙනුවෙන් කඳුළු සලසන්නට සිදු නොවේ.