මාර්ගගත අධ්‍යාපන පහසුකම් නරකට යොදාගන්න දෙනු එපා


ඉන්දීය සාගරයේ පිහිටි සුන්දර දිවයිනක් වුවද ශ්‍රී ලංකාව යනු සෑම විකෘතියකම ආකෘතිය බවට පත්වූ රටකි. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී තිබේ. බලවත් දුෂ්කරතා ඉවසා දරාගෙන විභාගවලට, ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියූවද ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන්නේ ගුරු වෘත්තීය සමිතිවලට අවශ්‍ය වෙලාවටය.

ඔවුහු තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ශිෂ්‍යයන් බිල්ලට ගනිති. පෝෂණයෙන් පිරිපුන් ආහාර වේලක් ලබා ගැනීමේ වරම දරුවාට අහිමි වී තිබේ. ළමා කාලයේ සුන්දරත්වය අත් නොවිඳිමින් ඔවුහු තරුණ වියට පා තබති. එහෙත් ඒ අතරවාරයේ එම දරුවෝ සලෙලුන්ගේ, කාමාතුරයන්ගේ පහසු ගොදුරු බවටද පත්ව සිටිති.

තෑගි බෝග හා මුදල් ලබාදී පිරිමි දරුවන් රවටා වසඟයට ගෙන කාම ක්‍රීඩාවේ යෙදෙමින් එම අවස්ථා වීඩියෝ ගතකර අන්තර්ජාලය හරහා විකුණා කෝටි ගණන් මුදල් ඉපැයූ සාතන් පන්නයේ පාපතර කපුවකු සම්බන්ධ පුවත මෙයට තුන් හතර දිනයකට ඉහතදී වාර්තා වූයේ ගාල්ල ප්‍රදේශයෙනි. සිද්ධිය වසන් කර යට ගසා හොර කපුවා බේරා ගැනීම සඳහා පොලිස් ලොක්කන් පිරිසක් අනවරත මෙහෙයුමක නියැළී සිටි බවට වාර්තාවීම පොලිස් දුර්ජනයන්ගේ නිරුවත අනාවරණය වීම පමණක්ම නොව ජාතියේ දුවා දරුවන් මුහුණ දී සිටින ශාපලත් ඉරණමේ තරාතිරම පෙන්වන්නකි.

‘‘පුත්තා වත්ථු - මනුස්සානං’’ යනුවෙන් බුදු බණෙත් සඳහන්ය. එයින් කියැවෙන්නේ මිනිසා සන්තක වටිනාම වස්තුව දරුවන් බවය. පිළිගැනීම එබඳු වුවද එය නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි. අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියෙන් එයට කදිම නිදසුනකි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ලග්ගල පොලිස් වසමේ පදිංචි බාල වයස්කාර පාසල් සිසුවියක වසරක පමණ කාලයක සිට වරින් වර දූෂණය කළේ යැයි කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසන බවය. මෙයට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කරන බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.

මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා මවුපියන් විසින් මිලට ගෙන දෙන ලද නවීන පන්නයේ ජංගම දුරකථනයෙන් මෙම සිසුවිය අසැබි දසුන් නැරඹීමට තදින්ම ඇබ්බැහි වී ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයි ප්‍රවෘත්තියේ සඳහන් වන අතර, ඒවා නැරඹීමෙන් පසු එම සිසුවිය අසල්වැසි විවාහකයකු සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඇතැයි ද සඳහන්ය. ඇය පසුව දූෂණය වී ඇත්තේ ඔහුගෙන්ය. ඉන් පසුව වසරක් තුළ පුද්ගලයන් හත් දෙනකු අතින් දැරිය දූෂණයට ලක්වී ඇති බව සඳහන්ය.

කොවිඩ් මාරක වසංගතය හමුවේ හඳුන්වා දුන් ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපනය නිසා දූ දරුවන්ට මුහුණ පෑමට සිදුවූ අතවර අපයෝජන සෙවීමට වෙනමම පොලිස් ඒකකයක් දැමිය යුතු තරම්ය. එය ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනයේ වරද නොවේ. එය ක්‍රියාත්මක කරන ආකාරයේ වැරැද්දකි. වැඩිහිටියන්ගේ නිසි සුපරික්ෂාවක් නොමැතිවීම මෙහි ප්‍රධානතම වරදය.

‘‘පබස්සර මිදං භික්ඛවේ චිත්තං’’ යනුවෙන් බුදු පියාණෝ වදාළහ. එයින් කියැවෙන්නේ ළදරු සිත ප්‍රභාෂ්වර බවය. කල්යාමේදී ආගන්තුකව එන කෙළෙස් කහටින් ප්‍රභාෂ්වර සිත කිළිටිවන බවය. ළදරු වයසින් නව යොවුන් වියට පා තබන දරුවාට තමන්ට ආගන්තුක ලෝකය හඳුනා ගැනීමේ හා එය ස්පර්ෂ කිරීමේ කුතුහලය ඇතිවේ. එය වරදකාරී තත්ත්වයක් නොවේ. එය මිනිස් සිතේ සාමාන්‍ය තත්ත්වය වෙයි. අත්දැකීම්වලින් මුහුකුරා ගිය වැඩිහිටියාට ළමා මනස තුළ සිදුවන චෛතසික රසායන වෙනස්කම් සම්බන්ධ අවබෝධයක් තිබිය යුතුය. දරුවා නිරීක්ෂණය කරමින් අදාළ අවස්ථා සැපයිය යුත්තේ එහෙයිනි.

මවුපියන්ගේ අවවාද නොරිස්සීම, ඒවාට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා දැක්වීම ඇතැම් දරුවකුගේ ස්වරූපය විය හැකිය. එමෙන්ම විනාශකාරී ඉරණමකට ගොදුරු වූවකු විසඳුම ලෙස තවත් විනාශයක්ම තෝරා ගැනීමට ඉඩ තිබේ. වැඩිහිටියන් දරුවන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී විය යුත්තේ ඒ අරුතිනි.

බාල වයස්කාර පාසල් දැරියක වසරක කාලය තුළ පුද්ගලයන් හත් දෙනකු අතින් දූෂණය වීමේ සිදුවීම තුළ අන්තර්ගතව ඇත්තේ එම දැරිය කොතරම් අනාරක්ෂිත පරිසරයක දිවි ගෙවා ඇත්ද යන්නය. එම අනාරක්ෂාවේ නිර්මාතෘ හු එම නිවෙසේ වැඩිහිටියෝ වෙති. දරුවන්ගේ ජීවන ඉරණම මෙසේ ලෙයින් කඳුළෙන් ලියවන වැඩිහිටියන්ගේ ගණන කොපමණ දැයි නිශ්චය කළ නොහැකි තරම්ය.

‘‘ගවරගෙ ආදරය’’ යනුවෙන් යෙදුමක් වහරේ එයි. එයින් කියැවෙන්නේ වසු පැටවාගේ සිරුරේ තුවාලයක් ආ විට එළදෙන තම දිවෙන් එම තුවාලය පිරිමදින බවය. එයින් පැටවාට තාවකාලික සහනයක් ලැබේ. එහෙත් අවසන් ප්‍රතිඵලය වන්නේ තුවාලය ප්‍රසාරණය වී පැටවා මියයෑමය. මවුපියන් ඇතුළු වැඩිහිටියන් මෙම ගවර ආදරයෙන් නිදහස් විය යුතුය. දරුවාට දරුවකු ලෙස ආරක්ෂිතවත්, නිදහසේත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි වන්නේ එවිටය.

(***)