මැති ඇමැතිවරුන් නොවන පිරිසකට ප්‍රභූ ආරක්ෂකයන් 5400 ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් ප්‍රවෘත්තියක් අප පුවත්පත මෙයට දින කිහිපයකට පෙර වාර්තා කළේ ය. මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බව ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.
අප රට අරුම පුදුම රටක් ලෙස සැලකිය හැකි වන්නේ මෙබඳු පුවත් වාර්තාවන විට ය. පොලිසිය නඩත්තු වන්නේ මහජනතාවගේ බදු මුදලිනි. එමෙන්ම පොලීසියේ පරම වගකීම නීතිය හා සාමය ආරක්ෂා කිරීම ය. එමගින් මහ ජනතාවට ආරක්ෂාව සැපයීම ය. ඒ අතරම විශේෂ ආරක්ෂාව ලබා දිය යුතු ය.
එහෙත් එම ආරක්ෂාව සැපයිය යුත්තේ අවශ්‍යතාවට යටත්ව ආරක්ෂක අංශ නිර්දේශවලට අනුව විනිවිදභාවයෙන් යුතුව ය. මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ප්‍රභූ ආරක්ෂකයන් සපයා ඇත්තේ එබඳු විධිමත් ක්‍රමවේදයකට යටත්ව නොවන බවයි. ප්‍රභූ ආරක්ෂකයන් ලබාදීම සම්බන්ධයෙන් සමාලෝචනයක් කළ යුතු යැයි පැවසීමෙන් පැහැදිලි වන්නේ එය ය.
මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට නිල නිවාස හිමි ය. එය මන්ත්‍රී වරප්‍රසාදයකි. එහෙත් අමාත්‍ය ධුරය අහිමි වූ විට හා මන්ත්‍රී ධුරය අහිමි වූ විට එම නිල නිවාස වරප්‍රසාදය අහිමි ය. එසේනම් කළ යුත්තේ නම්බු පිටින් නිල නිවෙසින් දොට්ට බැසීම ය. එබඳු හෘද සාක්ෂියක් සහිත මැති ඇමතිවරු බොහෝ වෙති. එහෙත් ඇතැම්හු එසේ නම්බු පිටින් දොට්ට නොබසිති. මෙරට දේශපාලනඥයෝ යනු නිල නිවස නොමැතිනම් ඉන්න හිටින්න තැනක් නොමැති අමු හිඟන්නෝ නොවෙති. එමෙන්ම යාමට නිවසක් සොයා ගන්නාතුරු යම් කාලයක් නිල නිවසේ රැඳී සිටීම අසාධාරණ නැත. එහෙත් එම කාලය සාධාරණ විය යුතු ය.
මැති ඇමැති පදවි අහිමි වූ පසුත් නිල නිවාසවල දිගටම රැඳී සිටින්නන් ඉන් ඉවත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මහත් වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඒ බව මැතිවරණයෙන් පසුව දෙතුන් මසක් ඇවෑමෙන් පළවන පුවත්පත් වාර්තාවලින්ද සනාථ වෙයි. එම හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ගම් ප්‍රසිද්ධියට පත්කර ඔවුන්ට ‘විසීමට’ නොහැකිම තත්ත්වයක් නිර්මාණය වූ පසු නිල නිවෙසින් එළියට බැසීම සම්ප්‍රදායක් වී තිබේ.
නිල නිවෙස්වලට අත්වන ඉරණම නිල රථවලටද අත්වී තිබේ. ඇමැති ධුරය අහිමි වුවද නිල රථ බාර නොදෙන ඇමැතිවරු සිටිති. අලුත් ඇමැතිට ලැබෙන පිළිතුර වනුයේ ‘හිටපු ඇමැති වාහනටික අරන් ගිහින්’ යනුවෙනි. එක් අමාත්‍යාංශයක සිට තවත් අමාතශ්‍යාංශයකට මාරුවී ගිය පසු හිටපු අමාත්‍යාංශයේ වාහන රැගෙන යාමද සම්ප්‍රදායක් වී තිබේ. රාජ්‍ය දේපළ මෙසේ අවභාවිත කිරීම කළ හැකිද යන ප්‍රශ්නය මතු වුවද හෘද සාක්ෂියක් නැති තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට කිසිදු හිරිකිතයකින් තොරව එය ක්‍රියාත්මක කළ හැකිය.
‘‘ප්‍රභූ ආරක්ෂාවට’’ අත්වී ඇත්තේත් එම ඉරණම ය. මැති ඇමැතිකම් නැති අයටත් ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් සැපයීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ එම කරුණම ය.
ප්‍රභූ ආරක්ෂාව සැපයිය යුත්තේ ආරක්ෂක අංශවල අනුමැතියට යටත්ව ය. ආරක්ෂක අංශ එම ප්‍රභූ ආරක්ෂාව සපයනු ලබන්නේ බුද්ධි අංශ වාර්තා පදනම්ව ය. ඒ අනුව ප්‍රභූ ආරක්ෂකයන් සැපයීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. එහෙත් එයට නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය.
ඇතැම් ප්‍රභූන්ගේ වතුපිටිවල ආරක්ෂාවට ද ප්‍රභූ ආරක්ෂකයන් යෙදවූ අවස්ථා වාර්තා වී තිබේ. එක් මන්ත්‍රීවරියකගේ ප්‍රභූ ආරක්ෂකයන්ට සිදුවී තිබුණේ වත්ත පිටිය අතුගෑම, පොල් කැඩීම, රෙදි සේදීම වැනි කටයුතු ය. මේ බොහෝ ඈත සිදුවීමක් නොව 2010-2015 අතර කාලයේ දී වාර්තා වූවකි. ඇතැම් දේශපාලනඥයන්ට ‘රථ ගාය’ මෙන්ම ‘ආරක්ෂක ගාය’ ද තිබේ. ප්‍රභූ ආරක්ෂකයන් සැපයීමේ දී මෙම කාරණා ගැන ද අවධානය යොමු කළ යුතු ය. මන්දයත් මේ වැය කරන්නේ මහජන මුදල් වීම ය.
(***)