දේශපාලන කරළියේ බිත්තර ගැසීම් පොදු මාතෘකාවක් බවට පත්වන ලකුණු පහළ වෙමින් තිබිණි. අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ද සම්බන්ධ බව පැවැසෙන රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය නොවන්නට අදටත් බිත්තර ගැසීම් මාධ්‍යයේ සිරස්තල මවන කටගැස්මක් වන්නට හොඳටම ඉඩ තිබිණි. එසේ වුව ද පළමු බිත්තර ප්‍රහාරය එල්ල වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ රැස්වීම සම්බන්ධයෙන් තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක නැත. ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අල්ලා දුන් සැකකරුවන් දෙදෙනා ද රෝහල්ගතව ප්‍රතිකාර ලැබ ටිකට් කපාගෙන ගොස් සිටිති. පොලීසිය ඒ ගැන ද නිහඬය.
ඉන් පසුව බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු වන ජේ.ආර්. ජයවර්ධනගේ මුණුපුරකු ද වන ප්‍රදීප් ජයවර්ධනටය. එය නිකම් ප්‍රහාරයක් නොව මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් වූ බව ද අනුර කුමාර දිසානායකට මෙන් නොව මේ බිත්තරය ප්‍රදීප් ජයවර්ධනගේ සිරුරේ වැදී ඔහු මහත් අසීරු තත්ත්වයට වැටුණු බව ද සඳහන්ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කුරුඳුවත්ත පොලීසිය මගින් කළ විමර්ශනවලින් පසුව රිමාන්ඩ් බාරයට පත්කරන ලදුව ඇති ඔවුහු ඇප පිට මුදාහරිනු ලැබ සිටිති. එහෙත් ජවිපෙ ප්‍රකාශ කරන්නේ තමන්ගේ පක්ෂ නායකයාගේ රැස්වීමට එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් අඩුම තරමින් සැකකරුවන්ගෙන් කටඋත්තරයක් හෝ සටහන් කරගෙන නැති බවය. එම සිද්ධිය යට ගැසීමට දැඩිව බලපෑම් කරන බව එයින් පෙන්නුම් කරන බවට ඔවුහු චෝදනා කරති.
ජවිපෙ රැස්වීමට එල්ල වූ බිත්තර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව රජය හෙළාදකින බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එහෙත් එම බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට ඇඟිල්ල දිගු වීම වළක්වා ගැනීමට එම හෙළාදැකීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ ගැන නිසි ලෙස නීතියට අනුව විමර්ශන ද සිදු විය යුතුය. ජවිපෙ ප්‍රකාශ කරන්නේ තමන් අල්ලාගත් සැකකරුවන් දෙදෙනා රජයට සම්බන්ධකම් ඇති පුද්ගලයකු විසින් මෙහෙයවනු ලබන මැර කණ්ඩායමක සාමාජිකයන් බවත්, ඔවුන් හිටපු හමුදා සාමාජිකයන් ද වන බවත්ය. රජයට මේ චෝදනා ප්‍රතික්ෂේප කළ හැක්කේ නිසි ලෙස සිදු කරන පොලිස් පරීක්ෂණයකින් පමණි.
ජවිපෙට මීට පෙර ද කොළඹදී පැවැති උද්ඝෝෂණ රැලියකදී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබිණි. මෙවැනි ප්‍රහාර රාජ්‍ය ත්‍රස්තවාදය යළි හිස එසවීමේ පෙරනිමිත්තක් ද යන්න ඕනෑම කෙනකුට සැක පහළ විය හැක. බිත්තරවලින් පහරදීම එය සංවිධානය කළ අයගේ සැබෑ ඉලක්කය නොවීමට ද ඉඩ තිබේ. එය එතැනින් එහාට යන රාජ්‍ය මැර ක්‍රියාවලියක මුල් වස්තු බීජය ද විය හැක. එවැනි ක්‍රියා මීට පෙර දී සිදු වී ඇති බැවිනි. සුදු වෑන් භීතිකාවක් නිර්මාණය වීම පිළිබඳ තවමත් බොහෝ දෙනාගේ මතකයෙන් ඈත්වී නැත.
කෙසේ වුව ද දේශපාලන කරළියේ මහත්මයකු වශයෙන් සැලකෙන ප්‍රදීප් ජයවර්ධනට එල්ල වූ බිත්තර ප්‍රහාරය බොහෝ දෙනකු මවිත කළ බවට සැකයක් නැත. එහෙත් විරුද්ධවාදීන්ට පහරදෙන, ඔළු පලන සංස්කෘතිය ඔහුගේ සීයා වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද කුණු දේශපාලන උප සංස්කෘතියක් බව මෙහිදී සඳහන් කළ යුතුය. ජේ.ආර්. ජයවර්ධනගේ යකඩ හස්ත පාලනය යටතේ මැර වැඩ කළ ආණ්ඩුවේ හෙංචයියන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සැලසී තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීමේ සිට හොර ඡන්ද දැමීම දක්වා මේ නිදහස ව්‍යාප්ත වී තිබිණි. දේශපාලන බලපෑම්වලට යට නොවූ වෘත්තිකයන්, බුද්ධිමතුන්, වෘත්තීය සමිති නායකයන්, විරුද්ධ පාක්ෂික දේශපාලනඥයන් පමණක් නොව ගැටඹේ පන්සල පවා ඒ කාලයේ දේශපාලන දාමරිකයන්ගෙන් මිදුණේ නැත. මේ අපරාධවලට හවුල්වූවෝ පොලීසි ඉදිරිපිට පවා උජාරුවෙන් එහෙ මෙහෙ ගියහ.
එහෙත් මේ නිහීන දේශපාලන මැර සංස්කෘතිය අවසන් කර දැමීමට ඉන් පසුව බලයට පැමිණි කිසිම ආණ්ඩුවකට ඕනෑකමක් තිබුණේ නැත. බොහෝමයක් නායකයන් කළේ එවැනි මැරයන් පෝෂණය කිරීමය. සොත්ති උපාලිලා, බැද්දගානේ සංජීවලා, වම්බොට්ටලා වැනි නම් ගම් දේශපාලන කරළියේ කරක් ගැසුවේ මේ හේතුවෙනි. බොහොමයක් නායකයන්ට තමන් අනුමත කළ මැර ක්‍රියා ගැන මතක් වෙන්නේ බලයෙන් ඇදවැටුණු විටය. මේ විෂම චක්‍රය දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රටේ අවාසනාවකටය.
ජවිපෙ ද මේ වැනි ප්‍රහාර පිළිබඳව කුමන ආකාරයකින් අද ප්‍රකාශ නිකුත් කළත් ඔවුන් ද මේ රටේ දේශපාලනය තුළට ප්‍රචණ්ඩ ක්‍රියා හඳුන්වාදීමේ පාපකර්මයට දායක වී ඇති බව ද සිහිපත් කර දිය යුතුය. ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා හරහා මේ රටේ අහිංසක පුරවැසියන් බොහෝ දෙනකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. ඔවුන්ගේ ත්‍රස්තවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අබ මල් රේණුවක හෝ ඉඩක් නොතිබිණි. බිත්තර ප්‍රහාර ගැන අද ජවිපෙ කතා කරන විට එදා හැඳුනුම්පත නුදුන්නොත් හිසට වෙඩි තැබූ යුගයක් තිබූ බව ද මතක් කළ යුතුය.
මේ කෙසේ වුවත් දැන් හෝ මේ මැර දේශපාලන සංස්කෘතියට තිතක් තැබිය යුතුය. එහිදී ජවිපෙ ඉල්ලා සිටින නීතියට අනුව පරීක්ෂණ පවත්වා බිත්තර ගැසූ වැරැදිකරුවන් උසාවිය හමුවට පැමිණවීමට අප්‍රමාදව ක්‍රියා කළ යුතුය. ජවිපෙ අතීතයේදී කෙසේ ක්‍රියා කළත් වර්තමානයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ වැදගත්, අභීත දේශපාලනයක නිරතව සිටින බව ද ඔවුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ශක්තියක් වී ඇති බව ද සඳහන් කරමු. එසේම කිසි ලෙසකින්වත් දේශපාලන ප්‍රචණ්ඩත්වයට යළි හිස එසවීමට ඉඩ නොදීම සියලු නායකයන්ගේ වගකීමක් බව ද පෙන්වා දෙමු.
(***)