මේ වනවිට විදේශ කාව්‍ය, කෙටිකතා, නවකතා ග්‍රන්ථ ගණනාවක් සිංහලයට පරිවර්තනය කරමින් ද ස්වතන්ත්‍ර නිර්මාණ රචනයෙන්ද දායකවී ඇති ප්‍රවීණ ලේඛක කරුණාතිලක හඳුන්පතිරණ මහතා ගේ නවතම කෘතිය ‘වසර 7000 ක ඊජිප්තුව’ නමින් විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදැක තිබේ. හඳුන්පතිරණ මහතා 2021 වසරේදී රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රය මඟින් පිරිනැමෙන ලියෝ ටෝල්ස්ටෝයි සම්මානයද ලබා ඇත. මේ ඔහු සමඟ කළ සංවාදයකි.
• ඊජිප්තුව ලෝක සාහිත්‍යයට අමරණීය මතකයක් එක් කළ ලොව පැරණිම ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක්. එහි සාහිත්‍ය කලා, සංස්කෘතික හා ඓතිහාසික කරුණු ඔබ මේ කෘතිය හරහා අපේ පාඨකයන්ට සමීප කරන්නේ කොහොමද?
අපට අපගේ සිංහල සාහිත්‍ය වංශයේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ‘‘ජාතක කතා පොත් වහන්සේ’’ ඇතුළු සාහිත්‍ය පොත්පත් රැසක් උරුම වී තිබෙනවා. ඊජිප්තුවටත් එහෙමයි. ඒත් වෙනසක් තියනවා. ඒවා අපේ ඒවාට වඩා ඉපැරැණි ඒවායි. ඒ වගේම නිර්මාණාත්මක බවේ වෙනස්කම් ද තිබෙනවා. ආපේ සාහිත්‍ය වංශය පෝෂණය වූයේ ප්‍රධාන වශයෙන් බෞද්ධ ආගම දහම සංස්කෘතිය පදනම කරගෙනයි.
ඊජිප්තුවේ එය දේව සංකල්පය පදනම වී තිබෙනවා. බෞද්ධ දර්ශනය හා නිදහස් චින්තනය තුළින් බිහිවූ අපගේ සිංහල සාහිත්‍ය හා කලාවන්ට බෙහෙවින් ම වෙනස් වූ සාහිත්‍ය කලා නිර්මාණ තමයි පැරණි මිසර හෙවත් ඊජිප්තු සාහිත්‍යයෙන් උරුම වූයේ. එහෙත් නූතන සාහිත්‍යධරයෝ, කලාකරුවෝ නව ලෝකයේ සාහිත්‍ය ප්‍රවණතා අධ්‍යයනය කරමින් නව නිර්මාණ සඳහා යොමුව තිබෙන බව කිව හැකියි.
අතීතයේ විසූ ඊජිප්තු වැසියෝ කල්පනා කළේ තමන්ගේ පාරාවෝ රජු යනු ජීවමානව පෙනී සිටින දෙවියන් බවයි. ඒ වගේම පාරාවෝ රජකු මිය ගිය පසු මළමිනිය ‘‘මමි’’ යක් ලෙස සකස් කර පිරමීඩයක ගැඹුරු තැනක තැන්පත් කළ යුතු බවයි. ක්‍රි.පූ. තුන්වැනි සහස්‍රකය දෙස හැරී බාලුවොත් පැරණි ඊජිප්තු සාහිත්‍යය – ආගමික සාහිත්‍යය, බැතී ගී (දේව ස්තෝත්‍ර) ලෙසින් හොඳින් දන්නා සොහොන්පළේ මූල පාඨ තිබුණා. පුරාණෝක්ති වගේම පූජාකර්ම පාලකයන්ගේ සොහොන් වටා කොටා තිබුණා. පසුකාලීනව අනාගමික සාහිත්‍යයක් බිහි වුණා. දාර්ශනික උපදේශ ස්වරූපයෙන් ‘‘නුවණ පෙළපොත්’’ ආවා. පිරමීඩ පාඨ ග්‍රන්ථ ‘‘මිනීපෙට්ටි පාඨ ග්‍රන්ථ’’ බවට පත්වුණා. අන්තිමේදී මෘතශරීරාගාර සාහිත්‍යය තම විශිෂ්ටතම නිර්මාණ ඉදිරිපත් කළා. ඒ මළවුන්ගේ පොත යි. එය සිදුවුණේ නව රාජධානි සමයේ යි.
ඊජිප්තු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන්නේ මධ්‍යම රාජධානි සමයයි. නෙෆර්ටිටි රැජිනගේ කතාව ඇතුළු අටෙනන්හැට් ගැන විස්තරය ද සිනූ ගේ කතාව, නෞකාව බිඳී ගිය යාත්‍රිකයාගේ කතාව, ව්‍යක්ත ගොවියාගේ කථාන්තරය ද ඒවා අතර වෙනවා. ‘‘වෙනමන්’’ කථාව සහ ඒ සම්බන්ධ වූ උපදේශයන්ද ඒ අතර හොඳින් දන්නා කරුණුයි. ක්‍රි.පූ. 322 – ක්‍රි.ව. 639 කාලයේ එනම් ග්‍රීක – රෝම වකවානුවේ ඊජිප්තු සාහිත්‍යය අනෙකුත් භාෂාවන්ට පරිවර්තනය වෙලා තියනව. අපේ ඇසුත් මේවා ගැන බලන්න අරින්න ඕනැ කියන දේ තමයි මම පාඨකයන්ට කියන්න උත්සාහ කරන්නෙ.
• ඊජිප්තුවේ නජීබ් මෆූස් ලේඛකයාට, 1988 දී නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි වෙනවා. ඒ නවකතාව සඳහා පාදක වන්නේ ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්ගේ සමය, පිරමීඩ හා සමාජ පසුබිමයි. ලොව විශාලම පුස්තකාලය ඇත්තේ ඊජිප්තුවේ බව ඔබ සඳහන් කළා. ඒ ගැන විස්තරයක් කළොත් අපේ පාඨකයන්ට යම් වැදගත්කමක් ඇතැයි සිතෙනවා.
ඇත්තෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරයේ ආරම්භය හා මෙතෙක් එහි ගෙවා ආ ගමන් මග තේරුම් ගන්නට හැකි අයුරින් ලියූ කෘතියක් ලෙස ඔහුට එම සම්මානය හිමිවන්නට ඇති. අතීතයේ සිටම දැනුමේ කේන්ද්‍රස්ථානය වී තිබුණේ ඊජිප්තුවේ සුන්දරම නගරය වූ ඇලෙක්සැන්ඩ්‍රියාවයි. ලොව විශාලම පුස්තකාලය එදා පමණක් නොව අදත් පිහිටා ඇත්තේ එහියි. පසුගියදා අපට ඊජිප්තුවේ සංචාරය කරමින් යම් අධ්‍යයනයක් කරන්නට හැකිවුණා.
ඒ සම්පූර්ණ ගමන් විස්තරය හා වැදගත් ඓතිහාසික තොරතුරුත් ඇතුළත් කර මේ පොත ලිව්වේ. ඊට පසුව ගමනේ රසවත් සිද්ධීන් ඇතුළත් කර තවත් පොතක් ‘‘නයිල් ගඟ දිගේ පාරාවෝ දේශය’’ නමින් පොතක් ලියුවා. ඇලෙක්ස් නම් වූ මේ අමුතුම විධියේ නිර්මාණයක් ලෙස තැනූ ලොව විශාලම පුස්තකාලයටත් අපට යාමට අවස්ථාව ලැබුණා. එහි පුස්තකාලාධිපතිනිය හමුවී කතාබහ කිරීමටත් මගේ කෘතීන් කීපයක් එහි තැන්පත් කිරීමට ඇයට ලබාදීමටත් හැකිවුණා.
• ලෝකයේ රට රටවල සංචාරය කරමින් ලබන අත්දැකීම් ලාංකික සාහිත්‍යයට එක් කිරීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?
අපට යැයි සාහිත්‍යයක් ඇතිවා වගේම අනෙක් රටවල, සමාජවලටත් ඊට ආවේණික වූ සාහිත්‍යයක් සංස්කෘතියක් තියනවා. අපට ආගන්තුක අලුත් වෙනත් සංස්කෘතියක සාහිත්‍යයක අපට අලුත් දෙයක් උකහා ගන්නට තියනව. රටක සමාජයක සාහිත්‍යය විමසා බැලීමෙන්, ඒවා රසවින්දනය කිරීම තුළින් අපට ඒ සමාජය ගැන හොඳ දැනුමක් අවබෝධයක් ලබාගත හැකියි. අපගේ දැනුම පමණක් නොව සාහිත්‍ය රස වින්දනය තුළින් අප අපේක්‍ෂා කරන සංස්කෘතික මිනිසකු බිහිවීමටද එය හේතු වෙනවා.
පුද්ගලයකුගේ රළු ගති නැතිව උණුවන හිතක් ඇති පුද්ගලයකු, දැඩි බවින් දුරුවූ මුදු මොළොක් හදවත් ඇත්තකු සාහිත්‍යයෙන් බිහි වෙනවා. ඊට හේතුව සාහිත්‍යය විශ්වීය ලෙස සමස්ත මානව වර්ගයාට අමතන සංවේදීභාවයෙන් යුත් ගුණයක් සහිත නිසයි. කොටින්ම මිනිසාත් සමාජයත් යහපත් හා බුද්ධිමත් මෙන්ම චින්තනමය වශයෙන් වෙනස් කිරීමේ වැදගත්ම සාධකය වන්නේ සාහිත්‍යයයි.
• ලංකාවේ සාහිත්‍යය තුළ තවමත් අපි නවකතා කෙටිකතා කවි වැනි ක්ෂේත්‍ර කිපයක් කෙරෙහි පමණයි අවධානය යොමු කරන්නේ. සාහිත්‍යයේ පුළුල් ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීමත් එබඳු කෘති බහුල කිරීමත් මෙරට සාහිත්‍යයේ පෝෂණයට බලපාන්නේ කොහොමද?
මෙහිදී අපට වැදගත් වන්නේ අපගේ ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ප්‍රවණතා ගැන සරල අධ්‍යයනය කිරීමකින් නොනැවතී විශ්ව සාහිත්‍යයේ ප්‍රවණතා ගැන විමසා බැලීමයි. මේ කාරණයේ දී අන්තර්ජාලය භාවිතය ද වැදගත්. අපට එදිනෙදා හමුවන, අප හා ගැටෙන හැමදේම අපගේ සාහිත්‍ය නිර්මාණයට වැදගත්. ‘නිර්මාණාත්මක භාවය හා පරිසරය’ නමින් මා සිංහලයට පරිවර්තනය කළ කෘතිය තුළින් ලොව විශිෂ්ට කවියන් සාහිත්‍ය නිර්මාණකරුවන් සිය නිර්මාණ සඳහා විශ්වීය පරිසරය භාවිත කළ අන්දම මනාව පැහැදිලි කරනවා.
ප්‍රවීණ පරිවර්තක කරුණාතිලක හඳුන්පතිරණ
සංවාද සටහන ගාමිණි කන්දේපොළ