නොදන්නා ඇතැමෙකු කියන්නේ බුදු දහම ආගමක් යැයි කියාය. එහෙත් එය දර්ශනයකි. ජීවන දර්ශනයකි. ඇතැම් උගතුන් බුදු දහම වනාහි ජීවත්වීමේ කලාවක් යැයි කියන්නේ එහෙයිනි. ආධ්‍යාත්මික දියුණුව මගින් නිවන් දැකීම නම් වූ පරමාර්ථ සාධනය මෙන්ම ඊට පෙර ගත කරන කාලය ගැන ද බුදු දහමින් කියැවේ. එයින් උගැන්වෙන්නේ සමාජයීය ශික්ෂණයකි.
මන්දයත් නිවන් දැකීම යනු ක්‍රියාවලියක් වන බැවිනි. සරලව කිවහොත් කෙනෙකු හිත අවුල් කරගෙන සිටිද්දී එක්වරම නිවන් මග සාක්ෂාත් කරගැනීමට නොහැකිය. ඒ සඳහා පළමුව සිත සංවර කරගත යුතුය. බුදු දහමින් උගන්වන්නේ එකී මාර්ගයයි. එහිදී අල්පේච්ඡභාවයෙන් යුතුව පහසු දිවි පෙවෙතක් ගත කිරීමට යමෙකුට හැකි නම් එය ඉතා හොඳ ප්‍රවේශයකි. කරණීයමෙත්ත සූත්‍රයේ ‘සුභර’ යනුවෙන් හඳුන්වන්නේ මේ ජීවන ලක්ෂණයයි. එහිම ‘සල්ලහුකවුත්ති’ යනුවෙන් කියන්නේ සැහැල්ලු ගති පැවැතුම් ගැනය. එහෙත් පරිභෝජන ක්ෂුධාවෙන් දැවෙන මේ ලෝකය පහුගිය කාලය පුරාවටම කළේ මෙම ජීවන සම්ප්‍රදායට එදිරිව මිනිස් හැඟීම් ඇවිස්සීමය.
වෙළෙඳපොළක් වූ ලෝකයට අවශ්‍ය වූයේ සිය ව්‍යාපාරික අරමුණු දිනාගැනීම විනා මිනිස් සිත සංවර කිරීම නොවේ. සමාජයක් කොට්ටඋරයක් මෙන් නොපිට හැර වූ වෙළෙඳ ප්‍රචාරණ මෙම වෙළෙඳපොළකරණයෙහි ප්‍රමුඛයෙකි. මිනිසුන් ඒ සා නොසිතුවත් ඇතැම් සරල වෙළෙඳ ප්‍රචාරණ සමාජයක චින්තනයට කරන බලපෑම සුළුපටු නොවේ. මේ ප්‍රචාරණ ව්‍යාපෘතිවල යටි පෙළෙහි වූයේ පරිභෝජන ක්ෂුධාවෙන් පෙළෙන මිනිසුන් මග නොමග නොදැන යන ගමනකට ඇදවැට්ටවීමය. කුසට අහරක් නැති දිළිඳු මිනිසුන් දහස් ගණනින් මියැදෙන ලෝකයේම ඇතැම් ධනවත් රාජ්‍යවල මිනිසුන් අධිපෝෂණයෙන් මියයෑම් වාර්තා විය. තවත් දියුණු යැයි කියන රටවල ආහාර ටොන් ගණනින් අපතේ හැරියේය. එය ඒ පරිමාණයෙන්ම සිදු නොවුණ ද විවෘත ආර්ථිකයත් සමඟ ලංකාවේ සමාජය ද අධිපරිභෝජනයට බර සුඛෝපභෝගී ජීවන දර්ශනයකට මග විවර කරගත්තේය. දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී වශයෙන් බොහෝ තිළිණ අපට ලැබෙන්නට ගත්තේ මේ සමඟය. මෙවැනි දේ වෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කිරීම එක් තලයකි. එමෙන්ම එහි අනෙක් පාඩම වන්නේ අධිපරිභෝජනවාදී මිනිසුන්ට ස්වභාව ධර්මයෙන් දෙන අනතුරු ඇඟවීමය.
මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ දර්ශනය සමග මේ රටේ මිනිස්සු බොහෝ කලක් ජීවත් වූහ. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය එහි මූලික විය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ජනයා සිය විවේක බුද්ධිය කලා නිර්මාණවලටත් ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණයටත් යොදාගත්හ. ජීවන මග දෙස සෞන්දර්ය නෙතින් බලන ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මිනිසකු තැනුණේ එමගිනි. එහෙත් අවාසනාවකට ඒ ජීවන දර්ශනයෙන් අපි පිට පැන්නෙමු. කොවිඩ් 19 වයිරසය විසින් සිදුකරනු ලැබුවේ එසේ නොමග ගිය සමාජයකට විවේක බුද්ධියෙන් කල්පනා කරන්නැයි ඇරියුම් කිරීමය. සැබැවින්ම යුරෝපාකරය ඇතුළු බටහිර ලෝකයම නතර වී කල්පනා කළත් අලුත් ආරම්භයකට මඟ කියන්නට දායාද වූ ජීවන දර්ශනයක් නැත. එහෙත් ශ්‍රී ලාංකික අපට එසේ නොවේ. සරල දිවි පැවැත්මකට මඟ ගැන අමුතුවෙන් පර් යේෂණ කළ යුතු නැත.
ශිෂ්ටාචාරයකට මඟ කියූ මේ උතුම් පෝ දිනය යනුම අප අත්හළ ඒ ජීවන දර්ශනය ගැන යළි මෙනෙහි කිරීමට පිවිසුමකි.
ගෝලීයකරණය සමඟ රටක් හැටියට අපට සෙසු රටවල් සමග වූ අන්තර්සම්බන්ධය දෘඪ එකක් විය. ආනයන අපනයන ආර්ථික කටයුතු මෙන්ම විදේශගත ශ්‍රමිකත්වය හා සංචරණය සමග එය අපේ රටට විසල් බලපෑමක් කළේය. එය අපේ චින්තනයට ද බලපෑවේය. විදේශයකින් ගෙනෙන දෙයක් ලැබෙන දෙයක් අමුතු වටිනාකමක් ඇති දෙයක් හැටියට සිතන ක්‍රමයක් ද බිහි විය.
රට නම් වූ විශේෂණය සමඟ ආනයනික දේ රට කෑම, රට බීම, රට බඩු, රට රස්සා පමණක් නොව රට අඹ, රට දෙල් වශයෙන් අමුතු වටිනාකමකින් කරන ආමන්ත්‍රණයක් දක්වා එය වර්ධනය විය. එය කොතරම් වීද යත් ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස හා ඖෂධ වශයෙන් වූ මිනිසාගේ මූලික අවශ්‍යතා හතරටම මේ චින්තනය මහත් බලපෑමක් කළේය. රෙදිපිළි ගැන කතා කළහොත් කපු කටිමින් සිටි කුවේණිය දක්වා දීර්ඝ ඉතිහාසයක් අපට හිමිය. ස්වාධීනව තමන්ම සකස් කරගත් අපේ ඇඳුම කය සංවරයට හේතුවක් ද විය. සිරුරට ද අපහසුවක් නොවීය. විළි වසාගැනීමත් මැසි මදුරු උවදුරුවලින් මිදීමත් යන මූලික අවශ්‍යතා එමගින් සපිරුණි. එහෙත් පෙර කී ගෝලීයකරණය සමග සෙසු ලෝකයා අනුකරණය කරන්නට ගිය අපි ෆැෂන් ෂෝ සංස්කෘතියකටම තල්ලු වීමු. මේ නිසා ඇඳුමේ මූලික අවශ්‍යතාව අනෙකා ආකර්ෂණය කරගැනීම දක්වා ඌණනය විය. මේ වටිනාකම් කිසිවක් අපේ නොවේ. ඒවා බටහිර උරුම බව සැබෑ ලෙස අප වටහාගත යුතුය. මේ මානසිකත්වයෙන් මිදෙන තුරු අපට අපේකම නිර්මාණය කරගත හැකි නොවේ. මෙහි අතුරු ඵලය වන්නේ ජාතිකත්වය අපෙන් ගිලිහී යෑමය. නිදසුනක කොවිඩ් වයිරසයේදී අඩු හානියක් වූ බුරුමය ගනිමු. බෞද්ධ රටක් වන බුරුමයේ තවමත් කාන්තාවන් අඳින්නේ රෙද්ද හා හැට්ටයයි. පිරිමි අඳින්නේ සරමයි. එරට මහා ධනවතුන් රාජ්‍ය නායකයන් පවා ගරු කරන්නේ ඒ ඇඳුමටය. තමන්ගේ රෙදි පිළි තමන් විසින්ම සකස් කරගනු ලබන්නට බුරුමයට හැකිව තිබේ. සිය සාම්ප්‍රදායික ආහාර හා ජීවන රටාවට කරන ගරුත්වය විසින් පෙරළා බුරුමවැසියන් ආරක්ෂා කරනු ලැබ තිබේ.
පසුගිය කාලයේදී ලක්වැසි ආහාර රටාවට වූ විපර්යාසය සුළුපටු නැත. ලක්වැසියන් හුරු වී සිටියේ ප්‍රධාන ආහාරය වූ බත් සමග වත්තේ පිටියේ වැවෙන අල, කොළ සමග සරල ආහාරයක් ගැනීමටය. එහෙත් ගෝලීයකරණ වටිනාකම් සමග මේ ආහාර වෙනුවට හැම්, බර්ගර්, සැන්ඩ්විච් ආදී ක්ෂණික කෑමවලටත් ශීතකරණවල දින ගණනක් කුණුවෙමින් තිබෙන මස්වලටත් ලාංකිකයා තල්ලු විය. අතීතයේ අපට කෙටි කෑම නොතිබුණේ යැයි මෙයින් කියැවේද? නැත. කෙටි ආහාර වේල් අපටත් තිබුණි. හාල් ටිකක් කබලේ බැද කොටා පොල් සීනි දමා අග්ගලා සකස් කරගත්තේ ඒ අනුවය. කොකිස්, ආස්මි වැනි විචිත්‍ර ආහාර සකස්කරගැනීමේ පරිචය අපේ මව්වරුන්ට නොතිබුණා නොවේ. මේවා ගැන නැවත සොයාබැලුවොත් අපේම යැයි කිවහැකි ආහාර වට්ටෝරු කැවිලි පෙවිලි ගැන සොයාගන්නට බැරිකමක් නැත. ඇත්තටම වුණේ සංස්කෘතියක වටිනාකමක් නොදන්නා පිරිස් විසින් විදෙස් වටිනාකම් අපේ ජන සිත් සතන්වලට කවනු ලැබීමය. මේ නිසා අවසන සිදුවුණේ මහා සංස්කෘතික සෝදාපාළුවකි. නව පරපුරේ තරුණියන් පැරැණි ආහාර වට්ටෝරු නොදන්නා තරම්ය. සියල්ල තිබෙන්නේ අවුලකය. ඕනෑම සංස්කෘතියක තමන්ට ආවේණික ආහාර වට්ටෝරු තිබෙන අතර ලොව බොහෝ සමාජ ඒවා ඒ අයුරින්ම නඩත්තු කරගෙන යයි. එහෙත් වෙළෙඳපොළ වටිනාකම්වලට බෙල්ල තැබූ අපේ ජන සමාජය අපේ අනන්‍යතාවේ රුව ගුණ සුවඳ සියල්ල විනාශ කරගත්තේය.
නිවාස හා වාසස්ථානවලට වුණේ ද ඒ සන්තෑසියමය. කටු මැටියෙන් සකස් වූ වරිච්චි බිත්තියෙන් යුතු පොල් අතු සෙවිලි කළ නිවෙසේ තිබුණේ සිසිලස පමණක්ම නොවේ. විසල් සෞන්දර්යකි. ආර්ථිකයට ද මහා බරක් නොවූ ඒ ගෘහ කර්මාන්තයෙහි සැබැවින්ම මිනිසුන්ට තිබුණේ සහනයකි. අප මෙයින් කියන්නේ සියලු නිවාස යළි මැටියෙන් ගොඩනැගීමක් ගැන නොවේ. විදෙස් සංස්කෘතික ආක්‍රමණයේ තරමය. අනන්‍ය වූ සංස්කෘතියට ආභාසය ලබනු වෙනුවට අප කළේ ඇමෙරිකානු හා රුසියානු මාදිලියේ ගෘහ නිර්මාණ ගෙඩි පිටින් පැළ කිරීමය. උත්ප්‍රාසජනක ලෙස මේ සංස්කෘතික හෝදාපාළුව පෙරළා අපේ සංචාරක කර්මාන්තයටත් වින කටින තැනට වර්ධනය වී තිබේ. විදෙස් සංචාරකයන් ඇත්තටම කැමැති අපේ අනන්‍ය සංස්කෘතිය දැක බලාගැනීමටය. සංචරණයේ එක් අරමුණක් වන්නේම එයයි. සංචාරකයන් මෙරටට එන්නේ වායුසමීකරණවල හෝ විදුලි පංකාවල සිසිලස ලැබීමට නොවේ. එහෙත් පසුගිය කාලයේදී අප විසින් කරනු ලැබුවේ කුමක් ද? අපේ හරිත පරිසරය විනාශ කර සංචාරකයන්ට නවාතැන් දෙනු වස් කොන්ක්‍රීට් මාලිගා තැනීමය. මේ වනවිට සිදු වූ අබග්ගය යම් පමණෙකින් හෝ ඇතැම් මිනිසුන් තේරුම් ගනිමින් සිටීම වටී.
සිව්වැනිව ඖෂධ භාවිතයේදී සිදුවුණේ ද එයමය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පරම ලාභය ආරෝග්‍යාවයි. එහෙත් පසුගිය දශකයේදී හතු පිපෙන්නාක් මෙන් ඉදි වූ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් ඒවා මිනිසුන්ගෙන් පිරී තිබූ ආකාරයත් අපට දුන්නේ කවර පණිවිඩයක් ද? උණක් හෙම්බිරිස්සාවක් හැදුණු විට කොත්තමල්ලි ටිකක් පත්පාඩගම් ටිකක් තම්බා බොන්නට දෙන මවුවරුන් සීනි ටිකක් කටට දැමුවේ මගේ පුතාට බුදු සරණයි ඔයින්ම සනීප යැයි කියාය. ඇත්තෙන්ම උණ හෙම්බිරිස්සාව ද අපේ ශරීරවලට අල්ලාගෙන හිටියේ නැත. ඒත් දැන් එහෙම බැරිය. උණක් හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් ඩෙංගු හෝ වෙනත් උණක් යැයි කියාගෙන සියල්ලට ප්‍රථමයෙන් බියට පත්වන සමාජය දුවන්නේ වෛද්‍ය මධ්‍යස්ථාන කරාය. මිනිසුන්ගේ රෝ බිය යැපුම් මාධ්‍යක් කරගෙන සිටින එතැනින් රටේ නැති පරීක්ෂණවලට රෝගියාගේ පවුලේ උදවිය යොමු කරයි. පහුගිය කාලයේදී දේශීය වෛද්‍ය විද්‍යාවත් පාරම්පරික වෙදකමත් තනිකරම ප්‍රතික්ෂේප වූයෙන් පරණ බෙහෙත් කඩ වැසී ගියේය. එහෙත් කොවිඩ් වයිරසයත් සමඟ සිදුවුණේ කුමක් ද? විපර්යාසයක් නොවේද? වෙනදා මෙන් වෛද්‍ය මධ්‍යස්ථාන පසුපස දිව නොගිය මිනිස්සු කොත්තමල්ලි ටිකක් බොන්නට හුරු වූහ. පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයේ මුල් සොයන්නට පටන්ගත්හ. සෞඛ්‍යමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද මේ විපර්යාසය මිනිසුන්ට කෙතරම් බලපෑමක් කරන්නට ඇතිද?
මේ විනාශකාරී ජීවන මගින් සිය රටවැසියා යළි මඟ වෙත ගැනීමේ විසල් කාරියක් පැවැරෙන්නේ ජනමාධ්‍යටය. කොවිඩ් වයිරසය සමඟ වෙනස් වූ සමාජ ක්‍රමය විසින් මේ වනවිට අපේ මිනිසුන්ගේ ඇස් යම් පමණකට විවර කරනු ලැබ තිබේ. දේශීයත්වයේ වටිනාකම හා අපේ උරුම ගැන සොයාබලන්නට විමසන්නට ලාංකිකයන්ට හටගෙන ඇති මේ උනන්දුව නොනසා වර්ධනය කිරීමට ජනමාධ්‍යයට හැකිය. සිංහලයා ශිෂ්ටසම්පන්න ජීවන මඟකට යොමු කළ මේ උතුම් දිනය ද එම නව මඟෙහි පියමනින්නට වටිනා කියන ආරම්භයකි. ඉතින් ඒ අල්පේච්ඡ පරහිතකාමී සරල මිනිසා යළි නිර්මාණය කරගැනීමට අපි කටයුතු කරමු. අනුබුදු මිහිඳු හිමියන් දුන් දායාදය ඔස්සේ ඒ ගමන යමු. ශිෂ්ටාචාරයකට මඟ කියූ මේ උතුම් පෝ දිනය යනුම අප අත්හළ ඒ ජීවන දර්ශනය ගැන යළි මෙනෙහි කිරීමට පිවිසුමකි.
(*** සටහන - බිඟුන් මේනක ගමගේ)