මුල්‍ය අරමුදලේ කොන්දේසි කොහොමද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය නිදහස් කිරීමට අදාළව පළමු ප්‍රගති සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී පැවැත් වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සම්පූර්ණ කර තිබිය යුතුය.

එම යෝජනාවල හරය වන්නේ රටේ පවතින ආර්ථික හා දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බවය. වංචාව, දූෂණය සහ නාස්තිය, බලය අයුතු ලෙස භාවිත කිරීම ආදී තත්ත්ව වෙනස් කර ගත යුතුය යන ඇඟවුම මූල්‍ය අරමුදලේ යෝජනාවල හරයයි.

ඊට අදාළව එම ආයතනය විශේෂ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළේය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණය හිමි රටවල් සමග එකඟතා ඇති කර ගැනීම, ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, දූෂණ විරෝධී යාන්ත්‍රණයක් පිහිටුවීම ඒ අතර ප්‍රධාන වේ.

මේවා සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විට විවිධ එකඟතා ඇති කර ගෙන තිබේ. එනම්, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැතත් ඊට අදාළ සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබේ. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව විවිධ දේවල් සිදු කරමින් සිටියි.

දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම යන කාරණයට අදාළව මේ වන විට දූෂණ විරෝධී පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගෙන තිබේ. මෙහිදී මතු වන ප්‍රශ්නය නම්, පනතක් සම්මත කළ පමණින් වංචාව දූෂණය පාලනය කළ හැකිද යන්නය. ඒ අරබයා අධිකරණයේ ස්වාධීනත්වයත් ශක්තිමත්භාවයත් අවශ්‍ය වේ. එසේම පොලිසිය අපක්ෂපාතී ආයතනයක් බවට  පත් කිරීමද වැදගත්ය. ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කිරීම සඳහා විධායකයට ඇති හැකියාව වැළැක්වීමේ විධිවිධාන ගෙනා යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් කරන ප්‍රගති සමාලෝචනයට ද මේවා අදාළ වේ. මෙනයින් පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හුදෙක් ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් අදාළ නොවන බවත් පවතින ක්‍රමය වෙනස් කර ගැනීමේ අභිලාෂය එහි අන්තර්ගත බවත්ය.

අයවැය හිඟය පාලනය කළ යුතු බවට ද මූල්‍ය අරමුදල නිර්දේශ කරයි. එහිදී රටේ යළිත් මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයට පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කරන්නේ එයද පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේය යන අදහසිනි.

නීති මත පදනම්ව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ආණ්ඩුව මහ බැංකුව හරහා ලබා ගන්නා ණයවලට නෛතික සීමා දැමීම සහ මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් සීමා දැමීම ආදිය ක්‍රියාත්මක කළ යුතු අතර ඒ අරබයා නව මහ බැංකු පනත සම්මත කර ගෙන තිබේ.

දේශපාලනයේ හා විධායකයේ අතපෙවීම්වලින් තොරව මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමට අදාළ නෛතික රාමුවක් එමගින් ඇති කර තිබේ. මහ බැංකුවේ කටයුතු වගවීමට ලක්කිරීමත් එයින් අපේක්ෂා කෙරේ. මේ දේවල් මගින් මූලිකව අපේක්ෂා කරන්නේ ද පවතින ක්‍රමයේ වෙනසකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩපිළිවෙළෙහි අන්තර්ගත සෙසු යෝජනා අතර ශ්‍රම වෙළෙඳපොළට සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණය කිරීම ද එකකි. ඒ ගැන සාකච්ඡා සිදු වේ. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතා ද ඉදිරිපත් වී තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ නීති පිළිබඳව ද අවධානය යොමු ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමෙහි දෙවැනි වාරිකය ලබා ගැනීමේ අටියෙන් මූලික දේවල් ක්‍රියාත්මක කළද පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා සැබෑ ප්‍රතිසංස්කරණ සිදු විය යුතුය. ඒවා නිසි පරිදි සිදු වනවා යැයි කීම අපහසුය.

“අස්වැසුම” නමින් ආණ්ඩුව ඉදිරිපත් කළ නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළට සුදුස්සන් තෝරා ගත් ආකාරය ගැන මේ වන විට විවිධ විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. නුසුදුස්සන් විශාල පිරිසක් ඊට ඇතුළත් කර ගෙන ඇති බවට ප්‍රබල විවේචනයක් එල්ල වේ. මේ සන්දර්භයේ රජයේ මේ නව සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදීත් දූෂණ වංචා සිදු වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැඟී යාමට ඉඩ තිබේ.

මේ තත්ත්වය මා හඳුනා ගන්නේ පවතින ක්‍රමයේ දුර්වලතාවක් හැටියටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට සමගාමීව ආයතනික ප්‍රතිසංස්කරණ ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ වඩාත් පාරදෘශ්‍යභාවයෙන් යුත් දේශපාලන හා ආර්ථික ක්‍රමයක් ගොඩ නගා ගැනීම වඩා වැදගත් වන බව මගේ අදහසයි.

මේ දක්වා අප විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දේවල් මූල්‍ය අරමුදලේ පළමු ප්‍රගති සමාලෝචනයේදී පැසසුමට ලක් වනු ඇත. එසේම එහි දෙවැනි ණය වාරිකය ලබා නොදීමට තරම් එම ආයතනය ශ්‍රී ලංකාව සමග අසුබවාදී නොවනු ඇති බවද මම විශ්වාස කරමි.

කෙසේවෙතත් පවතින ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යායාමයෙහි අප දිගටම නිරත විය යුතුය. එහිදී පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වැදගත් වේ. ජනමාධ්‍ය පාලනය පිණිස ආණ්ඩුව දරන උත්සාහයක් ගැනද මේ දිනවල සාකච්ඡා වේ. එවැන්නක් මගින් සිදු වන්නේ ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් අප ගන්නා උත්සාහයට බාධා පැමිණීමය. ජනමාධ්‍යට තොරතුරු වාර්තාකරණය සඳහා නිදහසක් තිබිය යුතු වුවත් ජනමාධ්‍යවේදීන් ද වගවීමට යටත් විය යුතුය.

මේ නිසා කළ යුත්තේ ජනමාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු සන්නිවේදනය පාලනයට පියවර ගැනීම මිසක් ජනමාධ්‍ය නියාමනය නොවේ. දූෂණය පිටුදැකීමේ ක්‍රියාවලියේදී ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය තීරණාත්මක වේ. මන්ද, වංචාව දූෂණය සම්බන්ධ තොරතුරු හෙළි කරන්නේ ජනමාධ්‍ය මගින් වන නිසාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල රටට ලැබෙන්නේ වාරික 8 ක් වශයෙනි.

ඒ අනුව, පවතින ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සඳහා කරන ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මාස හයෙන් හයට ඇගයීමට ලක් කරනු ලබයි. අදාළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකළ හොත් ඉතිරි ණය වාරික නිදහස් කිරීම අත්හිටුවන්නට එම ආයතනයට පිළිවන. එවැන්නක් වුව හොත් සිදු විය හැකි දෙය නම්, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැකුව වැනි ආයතනවලින් ලබා දෙන ණය ආධාර පහසුකම් ද නතර වීමය.

එබැවින් අප මේ ප්‍රතිංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසාම නොවේ. රටේ ආර්ථික අර්බුදයක් හටගැනීමට හේතු වූ මේ පවතින ක්‍රමය යළිත් ඒ ආකාරයේ ව්‍යසනයක් ඇති නොවන තැනට පරිවර්තනය කර ගත යුතුය. එය වනාහී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එකඟ වූ වැඩසටහනෙහි හරය බව යළිත් කිව යුතුය.

නිශ්චිත මාර්ග සිතියමකට අනුව ඉදිරි වසර දෙක තුන ඉලක්ක කරගෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය. එහිදී ආයෝජන හිතකර පරිසරයක් ගොඩ නැගීම අත්‍යවශ්‍ය වන අතර ඊට බාධා වන යල්පැන ගිය නීති හා බදු ක්‍රම වෙනස් කිරීම ඉතා වැදගත්ය. එසේම අපේ වෙළෙඳ ප්‍රතිපත්තියේ තිබෙන ප්‍රශ්නත් නිරාකරණය කළ යුතුය. ශ්‍රම හා ඉඩම් වෙළෙඳපොළවල්වල ඇති ගැටලු හඳුනාගෙන ඒවා ප්‍රතිසංස්කරණය කිරීමත් කළ යුතුය.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාරදෘශ්‍යභාවයෙන් යුතුව ප්‍රතිසංස්කරණය කිරීමත් අවශ්‍ය වේ. ඊට අමතරව පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි කිරීම වෙනුවෙන් මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම අරබයා ක්‍රියාමාර්ග ගත යුතුය. අප පැමිණි වැරදි ගමන් මග නිවැරදි දිශානතියකට යොමු කිරීම සඳහා මේ ප්‍රතිංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

වඩාත් වැදගත්ම දෙය නම්, මේ සියලු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සමග සංවාදයක් ගොඩනගා ගැනීමය. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් දූෂණ විරෝධී පනත හා මහ බැංකු පනත සම්බන්ධයෙන් මහජනතාව සමග සාකච්ඡා කිරීමක් හෝ මහජන අදහස් ලබා ගැනීමක් හෝ නිසි පරිදි සිදු වූ බවක් අපි නොදැක්කෙමු. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක දී මහජන අදහස් විමසමින් මේ දේවල් කළ යුතුය. ව්‍යවස්ථාදායකයේ කටයුතුවලදී හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී මහජන අදහස් ලබා ගැනීම ලංකාවේ පවතින්නේ දුර්වල මට්ටමකය.

පසුගිය සතියේදී ෆිච් රේටින්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ලංකාවේ දේශීය ණය සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් CC සිට C දක්වා පහත හෙළීය. ඊට පහළින් තිබෙන ශ්‍රේණිය වන්නේ දේශීය ණය ගෙවීම පැහැර හැරීමට අදාළ කාණ්ඩයයි. ආර්ථික හා මූල්‍ය ස්ථායීතාව මේ දක්වා ගොඩ නැගී නොමැති බව මේ ශ්‍රේණිගත කිරීම්වල හරයයි. ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා යම් යම් දේවල් කරමින් සිටියද ක්‍රමයේ වෙනසකින් තොරව එකී පුනර්ජීවනය අර්ථවත් නොවන බව ද තේරුම් ගත යුතුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ