මුලින් රට රැක දේශපාලනය කරමු


දේශපාලන පක්ෂ සහ බහුජන ව්‍යාපාර, වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංවිධාන කළ විරෝධතා රැලියක් ඊයේ (02) කොළඹදී පැවැත්විණි. එහි තේමා පාඨය වී තිබුණේ ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්තිය නතර කළ යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගතයුතු බවත් ය. මේ සඳහා සහභාගි වන බව ප්‍රකාශ කර තිබූ දේශපාලන පක්ෂ අතර සජබ, ශ්‍රීලනිප, පොහොට්ටුවේ ඩලස් පාර්ශ්වය, 43 වැනි සේනාංකය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද විය.

විරෝධතා රැලි පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන්ගේ අයිතියකි. එම අයිතියට හරස් වීම හෝ බලහත්කාරී ලෙස ඒවා මර්දනය කිරීමට යාම හෝ ආණ්ඩුවක් විසින් කළයුතු නැත. එවැනි විරෝධතා ව්‍යාපාර ඇතිවීමට තුඩුදෙන හේතු සොයා ඒවාට හැකි පමණින් විසඳුම් සෙවීම හෝ එසේ විසඳුම් සොයන බවට විශ්වාසයක් රටේ වැසියන්ට දැනෙන සේ කටයුතු කිරීම හෝ ආණ්ඩුවේ වගකීමය. එම වගකීම ආණ්ඩුව අතින් ඉටුවෙනවාද නැද්ද යන්න තීරණය කිරීම පොදු මහජනතාව සතු කාර්යයකි.

ආණ්ඩුවට පමණක් නොව රටක විපක්ෂයටද රටේ පැවැත්ම පිළිබඳ විශාල වගකීමක් පැවරී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ පැන නැගී තිබෙන දැඩි අවිනිශ්චිතභාවය, බලාපොරොත්තු සුන්වීම, අපේක්ෂා භංගත්වය තවමත් රටේ මුළුමහත් සමාජයම වෙළාගෙන සිටින අවස්ථාවක ආණ්ඩුවටත් වඩා විපක්ෂයට පැවරෙන්නේ භාරදූර වගකීමකි. එක ගිනිකූරකින් මහ ගින්දරක් ඇතිකළ හැකි වුවද මහා ගින්දරක් එක් ජල පහරකින් නිවා දැමීමට නොහැකි බව විපක්ෂය දැන සිටිය යුතුය. අවිනිශ්චිත ජනතාවක් විරෝධයකට පොළඹවා ගැනීම මේ අවස්ථාවේදී කළ හැකි පහසු දෙයක් වුවද එයින් රටට සිදුවිය හැකි බරපතළ හානිය පිළිබඳ පැහැදිලි තක්සේරුවක් මේ විරෝධතාවට නායකත්වය දෙන දේශපාලන නායකයන් තුළ තිබීමද අවශ්‍යය.

අප එසේ කියන්නේ රටේ මුළු මහත් ජන සමාජයම ප්‍රබල කම්පනයකට හසුකළ බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදවලින් යන්තමින් හෝ ගැලවී නැගී සිටීමට ආණ්ඩුව වෙර දරන අවස්ථාවක මෙවැනි විරෝධයක් සංවිධානය කිරීමට විපක්ෂයට සහ ආණ්ඩු විරෝධී සෙසු බහුජන ව්‍යාපාර සහ ශිෂ්‍ය සංවිධානවලට තිබෙන හදිස්සිය කුමක්දැයි තේරුම් ගැනීම අපහසු බැවිනි. රටේ තිබූ පෝලිම් යුගයට තිත තැබී මහජනතාව මහපාරට ඇද දැමූ තත්ත්වය දැන් වෙනස් වී ඇත. රටේ ජනතාව ඉසිලිය නොහැකි ජීවන බරකින් සහ බදු බරකින් පෙළෙන බව සත්‍යයක් වුවත් එම තත්ත්වයට විරෝධතා පැවැත්වීම විසඳුමක් නොවේ. ඒ සඳහා කෙසේ හෝ ගොඩඒමට නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්වී එවැනි වැඩපිළිවෙළකට අනුගතව යම් තීන්දු තීරණ ගන්නා බව පසුගිය සති කිහිපය තුළදී දකින්නට ලැබිණි.

ඒ සියලු‍ තීන්දු සහ ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය සියයට සියයක් නිවැරදි යැයි කීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් රටේ ආර්ථිකය හැසිරවීමේදී විශාල වැදගත්කමක් දරන ව්‍යාපාරික ප්‍රජාව සහ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස පවා ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේදී මෙවැනි විරෝධතාවක් පැවැත්වීම රටේ අනාගත පැවැත්මට අහිතකර ලෙස බලපානු ඇති බවය. අදහස් දැක්වීමට සහ කතා කිරීමට එම සංවිධායකයන්ට තිබෙන අයිතිය පිළිගන්නා අතර එසේ වුවද මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ සහාය ලබාගනිමින් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දරන ප්‍රයත්නයට සහායදීම මිස ඊට හරස්කැපීම පුරවැසි යුතුකම නොවේ.

මේ අතර ශ්‍රී ලංකාවට ඩොලර් උල්පතක් බඳු සංචාරක ව්‍යාපාරයද ක්‍රම ක්‍රමයෙන් පණ ලබමින් සිටී. ඔක්තෝබර් මාසය තුළදී පමණක් රුසියානු සංචාරකයන් 6000කට අධික පිරිසක් පැමිණීම ඒ සඳහා හොඳ සහතිකයකි. සමස්තයක් වශයෙන් ඔක්තෝබරයේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 41කින් ඉහළ ගොස් තිබිණි. එළඹෙමින් තිබෙන යුරෝපා ශීත ඍතුවේ මෙසේ එම රටවල සංචාරකයන් මෙරටට පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන මේ අවස්ථාවේ මෙවැනි විරෝධතා ජාත්‍යන්තරයට ලබාදෙන්නේ ඍණාත්මක පණිවුඩයකි. එය සංචාරකයන් පැමිණීම ඉහළ නැගීම වෙනුවට පහළ දමනු ඇත.

එයින් බඩේ පහර වදින්නේ ආණ්ඩුවට නොව සංචාරක ව්‍යාපාරය බිමටම හාන්සි වීමෙන් වැලේ වැල් නැතිව සිටින එම ක්ෂේත්‍රයට සම්බන්ධ හෝටල් ව්‍යාපාර, ඒවායේ සේවක පිරිස් සහ ඍජු සහ වක්‍ර ලෙස සංචාරකයන් පැමිණීමෙන් ආදායම් ලබන ලක්ෂ සංඛ්‍යාත පිරිසකටය. ඉදිරි මාස කිහිපය තුළදී හොඳ ආදායමක් ලැබීම පිළිබඳ ඇති ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කර දැමීම මහා අපරාධයකි.

විරෝධතා සංවිධායකයන් සිය අරමුණු කරගෙන ඇති ඉලක්කවලට යාම කෙසේ වෙතත් ජනතාවගේ අප්‍රසාදයට පත්වීමට පවා ඉඩ තිබෙන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. ඔවුන්ගේ අවසාන අරමුණ රටේ පාලන බලය අල්ලා ගැනීම විය හැකිය. එය විපක්ෂයේ අයිතියක් වුවද ඔවුන් බලයට පැමිණි පසුවද රටේ ව්‍යාපාරික ප්‍රජාවත් සංචාරක ව්‍යාපාරත් අමතකකොට රටේ පාලනය ගෙන යා නොහැකි බවද පෙන්වා දිය යුතුය.

රටේ සියලු‍ ව්‍යාපාර සහ රට ගොඩගැනීමට වෙර දරන අවස්ථා පාගා දමමින් මොනම දේශපාලන පක්ෂයකට වුවද යා හැකි ගමනක් නැත. අවසානයේ කිවයුත්තේ පාලනය කිරීමටද රටක් ඉතිරිව තිබිය යුතු බව ආණ්ඩුව පමණක් නොව සමස්ත ජනතාව අවබෝධ කරගත යුතු බවය.

(***)