ඉස්ලාමීය රාජ්‍යය ලෙසින් හැඳින්වෙන අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම හා එක්වීම සඳහා මීට වසර පහකට ඉහතදී සිරියාවේ සිට ඇලබාමාව වෙත හෝදා මුතානා නමැති තරුණියක් ගමන් ගත්තාය. එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඇය මේවනවිට ස්වාමිපුරුෂයන් තිදෙනෙකුට භාර්යාවක වූ කාන්තාවකි.
වසර 5 කට පසුව තමන්ගේ තීරණය වැරදි බව වටහාගත් මුතානා, ඇමරිකා එක්සත් ජනපදයට නැවත පැමිණීමට අවශ්‍ය බව පවසමින් බැගෑපත් වන්නීය. තමන් කළ කී දේ ගැන මුතානා පසුතැවිලි වන බව සඳහන් සටහනක් මුතානාගේ ඥාතියකු විසින් සී. එන්. එන්. මාධ්‍ය ආයතනය වෙත භාර දී තිබිණි.
“මම සිරියාවට යද්දි බොළඳ, කේන්තිකාර, හිතුවක්කාර යුවතියක්. මම හිතුවා මගේ ආගමේ විශ්වාස මම තේරුම් අරගෙන ඉන්නේ කියලා.“
“නමුත් යුද්ධයෙන් වූ විනාශය මම දැක්කා. මගේ ස්වාමි පුරුෂයන් දෙදෙනාම මිය ගියා. එවිටයි මම මුළාවෙන් මිදුණේ. සිරියාවේ ගතකළ වසර කිහිපය මාව වෙනස් තැනැත්තියක කළා..... යුද්ධයෙන් ඇති වූ දරුණු විනාශවීම් දැකලා මම අත්දැකීම් ලැබුවා..... ලේ වැකුණු භූමි ප්‍රදේශ මාව වෙනස් කළා.“
“මව් කෙනෙක් වීම මාව වෙනස් කළා. මගේ මිතුරන්, දරුවෝ, ස්වාමිපුරුෂයෝ ඇස් ඉදිරියේම මිය යෑම මාව වෙනස්ම කෙනෙකු බවට පත් කළා” යයි මුතානාගේ ලිපියේ සඳහන් වේ.
“මම ඉපදුණු සහ හැදී වැඩුණු ඇමරිකාව සමඟින් ඊට වෙනස් සමාජයක් සන්සන්දනය කරද්දී ඒ වෙනස මම තේරුම්ගත්තා. යුද්ධයේදී මම දැකපු, මා වටේ හිටපු මිනිස්සු නිසා මම බය වුණා. මොකද මම තේරුම්ගත්තා මට ඔවුන්ගෙන් කොටසක්වෙන්න අවශ්‍ය නැති බව. ඔවුන්ගේ විශ්වාස එක්ක මගේ විශ්වාස ගැළපුණේ නැහැ” යයිද මුතානා ලියා තිබිණ.
මේ වනතුරු තම මාධ්‍ය ආයතනයට හෝදා මුතානා සමඟ සෘජුව කතාබහ කිරීමට අවස්ථාව ලැබී නැති බව සී. එන්. එන් ආයතනය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් තොරතුරු වාර්තා වන පරිදි හෝදා උසස් අධ්‍යානයේ නිරතව සිටියදී ලැජ්ජාශීලී යුවතියකව සිටි බව කියැවේ. එහෙත් ඇය අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් හා සම්බන්ධ වූ පසු ඉස්ලාම් දහමට සිටින සතුරන් විනාශ කිරීම වෙනුවෙන් සටන් කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැඩි මතයක එල්බ සිටිමින් අදහස් දැක්වූ බවද වාර්තා වේ.
ජෝජ් වෝෂිංටන් සරසවියේ පැවති අන්තවාදය පිළිබඳ වැඩසටහනකට අනුව හෙළිවී ඇත්තේ හෝදා මුතානා ට්විටර් පණිවිඩ මගින් ප්රචණ්ඩත්වය කැඳවූ බවයි. හෝදා අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ජනයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් වසර ගණනාවක් ඇයගේ කටයුතු පරීක්ෂා කිරීමේදී ඇය එම ත්ස්තරවාදී සංවිධානයේ ප්‍රධාන පුරුකක්ව සිටි බවත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන සීමස් හියුස් මහතා පවසයි.
අයි එස්. අයි. එස්. වෙත බැඳී සටන් කිරීමටත් කාලිෆ් නමැති මුස්ලිම් නායකයාට අයත් රාජ්‍ය සම්බන්ධයෙන් ස්වයං ප්රකාශනයේ නියැළීමටත් මැළි නොවන ලෙස ඇය බොහෝ ඇමරිකානුවන්ගෙන් බල කර ඉල්ලා සිටියාය.
“බොහෝ ඔස්ට්‍රේලියානුවන් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් ද අප හා එක්ව සිටිනවා. කෝ ඇමරිකානුවෝ.....? බියගුලු තක්කඩියනේ නැගිටපල්ලා.....!” යැයි ඇය 2015 ජනවාරි මාසයේදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියාය.
උම් ජිහාඩ් නාමය උපුටා දක්වමින් ඇමරිකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර දිරිමත් කරමින් 2015 මාර්තු මාසයේදී ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර එයින් කියැවුණේ ඉතා භයංකාර පණිවුඩයකි.
ජෝර්ඩියා විශ්වවිද්‍යාලයේ ජිහාඩ් ස්ත්‍රීන් පිළිබඳව සාක්ෂි රැස්කරමින් සිටි මියා බ්ලූම් මහත්මිය පැවසුවේ හෝදා මුතානා දරුණු ප්රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් වුවද පක්ෂව කතා කළ බවයි. විශේෂයෙන්ම ඇමරිකානු යුද හමුදාවට ප්රතිපක්ෂව කතා කළ බවයි.
කෙසේවුවද හෝදා මුතානා 2019 පෙබරවාරි 19 වනදා ඒබීසී මාධ්‍ය ආයතනයට පවසා ඇත්තේ පසුගිය වසරවලදී ඇය පළ කළ එම ට්වීට් සටහන් සියල්ල පිළිබඳව තමා ලැජ්ජා වන බවත් ඒවා නැවත ආපස්සට ගැනීමට හැකි නම් කියා තමා සිතන බවත්ය. තමාට මහත් අනුකම්පාවක්, කණගාටුවක් සහ පසුතැවිල්ලක් දැනෙන බවත් නැවත තමාගේ නිවසට ඒමට අවශ්‍ය බවත් ඇය ඉල්ලා සිටින්නීය.
තමා නැවත පැමිණියහොත් ඇමරිකානුවන් තමන්ව තර්ජනයක් ලෙස නොසිතනු ඇති බවත් ඔවුන් තමාව පිළිගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
එහෙත් සියල්ල හෝදා සිතන තරම් සුන්දර නොවේ. ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සිටින දැඩි මතධාරියකු ලෙසින් පෙනී සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාට කියා සිටියේ හෝදා මුතානට නැවතත් සියරට පැමිණීමට අවසර නොදෙන ලෙසයි. මයික් ඊට එකඟ වූ බවද ඇමරිකානු ජනාධිපතිවරයා කීවේය.
එසේ වුවත් තවමත් 24 හැවිරිදි වියේ සිටින හෝදා මුතානා ඇමරිකානු පුරවැසිනියක බවත් ඇය නැවතත් ඇමරිකාවට ගෙන්වාගත යුතු බවත් කියමින් හෝදාගේ පියා නඩුමගට පිවිස සිටී.
ඇමෙරිකානු - ඉස්ලාමීය සබඳතා සම්බන්ධයෙන් ෆ්ලෝරීඩාවේ පිහිටි කවුන්සිලයේ ප්‍රධානී හසාන් ෂිබ්ලි මහතා හෝදාගේ පවුල වෙනුවෙන් පෙනී සිටිමින් පවසා ඇත්තේ ඇය නඩු පැවරීමටත් නීතියේ පිහිට පතමින් එහි ඉදිරි පියවරවල් සම්බන්ධව කටයුතු කරනු ඇති බවත්ය. මේ වනතුරු ඇය පිටුවහල් කිරීමට හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව කිසිවක් ප්‍රකාශ කර නැත.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු වන රොබට් පැලදීනෝ ඉකුත් අඟහරුවාදා දිනයේදී පැවසුවේ ඔහුට හෝදාගේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැකි බවත්, සිරියාවේ සිටින ඕනෑම අයි.එස්.අයි.එස්. සාමාජිකයකු වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිවලට අනුව සලකා බලා නැවත සිය රට වෙත යැවීමට කටයුතු කරනු ඇති බවත්ය.
‘‘අපි අනෙක් සියලුම රටවල්වලටත් එසේ කිරීමට ආරාධනා කරනවා’’ යැයි ඔහු පැවසීය.
තමන් මීට සති කිහිපයකට පෙර අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගෙන් මිදී උතුරු සිරියාවට පලා ගොස් කුර්දිෂ්හි සරණාගත කඳවුර වෙත ගොස් ඇති බවත් මේ වනවිට මාස 18 ක් වන තම පුතු ද සමඟින් එහි වෙසෙන බවත් හෝදා මුතානා පවසයි. මේවනවිට ඇය 25 වන වියේ පසුවන සුන්දර මාතාවකි.
ඇගේ පුතුගේ අනාගතය සම්බන්ධයෙන් හොදා මුතානා මෙවැනි සටහනක් තබා ඇත.
“මම මගේ විවේක කාලයේදී බෝම්බ ප්‍රහාර, කුසගින්න, සීතල සහ බය අතරේ ගෙවපු දිවිය ගැන හිතනවා. නැවතත් ඒ හිතිවිලිවලින් මිදිලා මගේ සුරතල් පුංචි පුතා දිහා බලනවා. එතකොට මට හිතෙනවා මමවත් මගේ පුතාවත් ඒ ත්රස්තවාදීන්ට අයිති නෑ කියලා.“
“ඇමරිකාවේ ඉද්දි දැනෙන නිදහස කොයිතරම් වැදගත් ද කියලා දැන් මට වැටහෙනවා”
කෙසේ වෙතත් හෝදා මුතානා කියන සෑම දේම එළෙසින්ම පිළිගැනීමට බටහිර ලෝකය සූදානම් නොවේ. අයිසිස්කාරයන්ගේ බිරින්ඳෑවරුන්ට අපි සමාව දිය යුතුද යයි ඕස්ට්‍රේලියාවේ ‘දි ඔස්ට්‍රා ලියන්‘ පුවත් පත විමසයි.
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන සීමස් හියුස් මහතා පවසන්නේ මෙබඳු කරුණකි.
“ඇය කළ කී දේවල්වලට උඩින් අපි රෝස පැහැය තවරන්න නොයා ඉමු. හෝදා සම්බන්ධ වෙලා හිටියේ විදේශ ත්‍රස්තවාදී සංවිධානයකට” යයි හියුස් මහතා කීවේය.
(සී එන් එන් ඇසුරිනි)
16844