මෙහෙම ගියොත් ඉතුරුවෙන්නේ රොබෝලා


කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙස දිගු කලක් කටයුතු කළ කුලතිලක කුමාරසිංහ මහතා කවිය, කෙටිකතාව, නවකතාව ශාස්ත්‍රීය ආදී විවිධ සාහිත්‍ය කලා අංශ නියෝජනය කරමින් විමර්ශන කෘති ගණනාවක් ලියා පළ කළ විද්වතෙකි.

ඔහුගේ නවතම කෘතිය ‘ආනන්දය සහ ප්‍රඥාව - හැත්තෑව දශකය’ නමින් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. හැත්තෑව දශකයේ කැපී පෙනුණ කවියන්ගේ නිර්මාණ පිළිබඳ වින්දනාත්මක විමර්ශනයක් මේ කෘතියට ඇතුළත් වේ. මතු දැක්වෙන්නේ මහාචාර්වරයා සමඟ අප කළ සංවාදයක සටහනකි.

• ‘ආනන්දය සහ ප්‍රඥාව- හැත්තෑව දශකය’ විමර්ශන කෘතියේදී ඔබේ අවධානයට ලක් වූ ක්ෂේත්‍ර ගැන මුලින්ම කතාකරමු.

කොරෝනා වසංගත සමයේ පැවැති විවේකය නිසා මේ කෘතිය ලිවීමට ඉඩ සැලසුණා. මේ කෘතියට ඇතුළත් වන්නේ හැත්තෑව දශකයේ කාව්‍ය නිර්මාණ රචනයේ යෙදුණ කවියන්ගේ නිර්මාණ ගැනයි. මම හිතන්නේ මේ කාලයේ ප්‍රමාණාත්මක විදිහට සාකච්ඡාවට ලක්වුණේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, රත්න ශ්‍රී විජේසිංහ සහ එරික් ඉලයප්ආරච්චි වගේ කවියන් කීපදෙනෙක් පමණයි, දයාසේන ගුණසිංහ වගේ කවියෙක් පවා නිසි ලෙස මේ යුගයේ විමර්ශනයට ලක්වුණා කියල හිතන්න අමාරුයි.

හැබැයි මේ කාලයේ උසස් කවීත්වයක් ප්‍රකට කළ තවත් කවියන් පිරිසක් හිටියා. ඒත් ඔවුන් නිසි විමර්ශනයට ලක් වූ බවක් පෙනෙන්නට නැහැ. මම මේ කෘතියේ උත්සාහගන්නේ ඔවුන්ගේ නිර්වචන ගැන වින්දනාත්මක විමර්ශනයක් ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව සුනිල් ගුණවර්ධන, මොනිකා රුවන්පතිරණ බුද්ධදාස ගලප්පත්ති, ගණනාථ අබේගුණවර්ධන, පරාක්‍රම කොඩිතුවක්කු, බර්ටි බී. කුඩාහෙට්ටි, දයාසේන ගුණසිංහ, උදේනි සරත්චන්ද්‍ර, තෙන්නකෝන්, ධර්මසිරි රාජපක්‍ෂ, ජිනදාස දනන්සූරිය, එරික් ඉලයප්ආරච්චි, රත්නශ්‍රී විජේසිංහ කියන මේ කවියන්ගේ දහතුන් දෙනාගේ සියලු කාව්‍ය සංග්‍රහ පිළිබඳ වින්දනාත්මක විමර්ශනයක් මේ කෘතියට ඇතුළත් වෙනවා.

මේ වැනි විමර්ශනයක් මාර්ටින් වික්‍රමසිංහ මහතා ‘නවපද්‍ය සිංහලය’ හරහා සිදු කළා. නවපද්‍ය සිංහලයේ වුණත් ඒ ඒ කවියන්ගේ තෝරාගත් කාව්‍ය සංග්‍රහ ආශ්‍රයෙන් තමයි ඒ විමර්ශනය සිදු වන්නේ. ඒත් මේ කවියන් දහතුන් දෙනාගේ සියලු කාව්‍ය සංග්‍රහයන් අධ්‍යයනය කරමින් ඒවා විමර්ශනයට ලක් කිරීමටයි මා උත්සාහ ගත්තේ.

• නූතන කවියේ එක් එක් යුග අධ්‍යයනය කරන විට ඒ ඒ යුගවල කවියේ පැවැති පොදු ලක්‍ෂණ අපි හඳුනාගන්නවා. හැත්තෑව දශකයේ කවියේ ඔබ දුටු විශේෂ ලක්‍ෂණ මොනවාද?

එකක් තමයි සමාජ යථාර්ථය ගැඹුරින් විමර්ශනය කිරීමට පෙළඹීම. විශේෂයෙන්ම සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික බලවේග පිළිබඳ කවියන්ගේ ප්‍රබල අවධානයක් තිබුණා. සමාජයේ පැවැති අර්බුදකාරී තත්ත්වය, තරුණ අසහනය, රැකියා වියුක්තිය ආදි ගැටලු මේ කවියන්ට ප්‍රධාන තේමා සැපයුවා.

අනෙක් කාරණය පන්ති පරතරය ගැන ඔවුන්ගේ අවධානය යොමු වීමයි. මේ කාරණය හැම කවියකුගේම වාගේ නිර්මාණවලින් අඩු වැඩි වශයෙන් ඉදිරිපත් වී තිබෙනවා. මේ යුගයේ පරාක්‍රම කොඩිතුවක්කු වගේ කවියන් තාරුණ්‍යයේ ජවය කැකෑරෙන, ආවේගශීලි ස්වභාවයකින් මතු කරනවා. කිසිදු සානුකම්පිත දෘෂ්ටියකින් තොරව ඔහු ධනපති පන්තිය ප්‍රශ්න කරනවා.

ඒත් මොනිකා රුවන්පතිරණ වගේ කිවිඳියක් ඊට වඩා වෙනස් මඟක් ගනිමින් කාව්‍යමය ශික්‍ෂණයකින් යුතුව නිර්මාණකරණයේ යෙදෙනවා. හැබැයි ඇය ඒ කාව්‍යම්‍ය ශික්‍ෂණය තුළ හිඳිමින්ම කාව්‍යමය ගුණය රැකගනිමින්ම පන්ති පරතරය, පීඩිත පන්තිය, අසහනය වගේ සමාජ  ගැටලු ගැන කවි ලියනවා, එ්ත් පරාක්‍රමගේ පසුකාලීන නිර්මාණවල අපි මේ කියන කාව්‍යමය ශික්‍ෂණය ඔහු රකිනවා.

මට හිතෙනවා පරාක්‍රම සහ මොනිකා අනු දුටු මඟ තමයි අඩු වැඩි වශයෙන් මේ යුගයේ සෑම කවියකුගේම නිර්මාණවල දකින්නට ලැබෙන්නේ. බර්ටි බී. කුඩාහෙට්ටි බොහෝ දුරට පරාක්‍රම ගත් මග ගිය කවියකැයි හිතන්න පුළුවන්. ඔහුගේ කවියත් ආවේගාත්මකයි. මාක්ස්වාදී දෘෂ්ටියකින් සමාජ පරිවර්තනයක් අපේක්‍ෂා කළ කවියෙකැයි හිතන්න පුළුවන්. ඒත් දයාසේන ගුණසිංහ, ධර්මසිරි රාජපක්‍ෂ, ජිනදාස දනන්සූරිය, රත්නශ්‍රී විජේසිංහ, එරික් ඉලයප්ආරච්චි, බුද්ධදාස ගලප්පත්ති වගේ කවියන් මැදහත් මඟක ගිය කවියන් හැටියට අගය කළ හැකියි.

• හැත්තෑව දශකයෙන් දශක කීපයකට පසු සිංහල කවියේ අද දක්නට ලැබෙන ප්‍රවණතා ආදියත් විචාරකයන්ගේ අවධානයට ලක්විය යුතුව තිබෙනවා. මේ ගැන ඔබේ අවධානය යොමු වී නැද්ද? 

මෑතම යුගයේ කවිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් තවම සිදු කිරීමට හැකියාවක් මට ලැබුණේ නැහැ. දැන් මම අසූව දශකයේ කවිය අධ්‍යයනය කරමිනුයි සිටින්නේ. එය ක්‍රමානුකූලව සිදුවිය යුත්තක්. හැබැයි වර්තමානයේ කවියන් අතින් ලියැවෙන ඇතැම් නිර්මාණ මට කියවන්නට ලැබෙනවා. උදාහරණයකට ලක්ශාන්ත අතුකෝරල, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල වැනි කවියන් අභිබවා යන කවියකු නූතනයේ හමුවන්නේ බොහොම අඩුවෙන්. මේ බොහෝ කවියන් තම ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් ප්‍රකට කරන නිර්මාණාත්මක කුසලතාව ඊළඟ කෘතියේදී වඩා වර්ධනය කරගත් බවක් පෙනෙන්නට නැහැ. නූතනයේ බොහෝ කවියන්ගේ නිර්මාණවල දැකිය හැක්කේ ආවේගාත්මක ස්වභාවයක්.

• අපි කතා කළ හැත්තෑව දශකය සහ වර්තමානය යන යුග දෙකම සසඳා බැලුවොත් හැත්තෑව දශකයේ උසස් නිර්මාණ රසවිඳීම සඳහා පොහොසත් රසික සමාජයක් සිටි බව පෙනෙනවා. ඒත් ඒ තත්ත්වය අද දකින්නට ලැබෙනවාද?

හැත්තෑව දශකයේ කවියේ රසික සමාජය ගොඩනැගුණේ විද්වත් සමාජයක් අතරයි. විශේෂයෙන් විශ්ව විද්‍යාලවල මේ සඳහා සුදුසු පරිසරයක් තිබුණ බව පෙනුණා. මේ නව ප්‍රවණතාවයේ ප්‍රතිඵලයක් හැටියට විශ්වවිද්‍යාල සිසුන් නිර්මාණ රචනයේ යෙදීමට ද පෙළඹුණා. හැත්තෑව අසූව දශකයේ විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයන් තුළ පැවැති රසික ප්‍රබෝධය අද දකින්නට ලැබෙන්නෙ නෑ. එකල පැවැති සාහිත්‍ය සංවාද අද නෑ. ඒවා ගැන උනන්දුවක් පෙනෙන්නෙත් නෑ. මේ බිඳවැටීම දෙදහස් දහය දශකයේ සිටම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ එකක්.

• රසිකත්වයේ මේ කියන බිඳවැටීම ඔබ දකින්නේ කොහොමද?

මේ තත්ත්වය ඇතිවීමට විවිධ සමාජ, ආර්ථික, දේශපාලන කාරණයන් හේතුවෙලා තිබෙන බව පිළිගත යුතුයි. ජීවත්වීමට ඇති අරගලය එක්ක තමයි බොහෝ දෙනාට හැප්පෙන්න වෙලා තියෙන්නෙ. මේ වගේ පරිසරයක කවිය වැනි භාවාත්මක විෂයකට අවධානය යොමු කිරීමට තරම් පරිසරයක් පසුගිය කාලය තුළ ගොඩනැගුණා යැයි හිතන්න බෑ. 

කොහොමත් හැමදාම කවිය කියන සාහිත්‍යාංගය බුද්ධිමත් රසික පිරිසකට පමණයි සීමා වුණේ. එය පොදුජන සමාජයේ ජනප්‍රිය කරවන්න බෑ. කොළඹ යුගයේ ඇතැම් විට කවිමඩු ආදිය නිසා හිටිවන කවිය සමාජගත වුණත් උසස් නිර්මාණ පොදු ජන සමාජයට ගියේ නෑ. අනෙක එදා පොදු ජනයාට වෙනත් විනෝදාස්වාද තිබුණේ නෑ. අද තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් තරුණයන් මොනතරම් ආර්ථික පීඩනයක හිටියත් හැම කෙනෙකු අතේම පහසුකම් සහිත දුරකථනයක් තිබෙනවා. බොහෝ දෙනාගේ ජීවිතය එය බවට පත්ව තිබෙනවා.

මේ තත්ත්වය උඩ පොතපත කියැවීමට දරුවන් තුළ තිබූ උනන්දුව නැත්තටම නැතිවෙලා ඉවරයි. පර් යේෂණ නිබන්ධයක් ලියන්න ගියත් මේ අය කරුණු අධ්‍යයනය කරනවා වෙනුවට තාක්ෂණයේ පිහිට පතනවා. එයින් දැනුම පෝෂණය වන්නේ නෑ. පාලකයන්ට ඕනෑවුණේ රැකියා අවස්ථා සඳහා සුදුසු තාක්‍ෂණික මාර්ග හදන්නයි.

කිසියම් විෂයක් දරුවකුට ඉගනගන්න ඇල්මක් ඇතිවෙන්නෙ ඊට සුදුසු පරිසරයක් සමාජයේ තිබෙනවා නම් පමණයි. මේ වගේ පරිසරයක මේ තරම්වත් සාහිත්‍ය කලාව රැකිල තියන එක ගැන පුදුමයි. මෙහෙම ගියොත් අපට ඉතිරිවෙන්නෙ රසිකත්වය නැති හැඟීම් දැනීම් නැති තාක්‍ෂණික රොබෝවරුන්ගෙන් පිරුණු සමාජයක් පමණයි.

මහාචාර්ය  කුලතිලක කුමාරසිංහ

සංවාද සටහන ගාමිණී කන්දේපොල