ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබුණු අතර සිංහල භාෂා සාහිත්‍යය වෙනුවෙන් අමරණීය සේවාවක් කළ කුමාරතුංග මුනිදාස මහතාගේ අනුස්මරණය යෙදෙන මාර්තු 2 වැනි දා සෑම වසරක ම සිංහල භාෂා දිනය ලෙස සලකනු ලැබේ. ඒ නිමිති කොට ගෙන සිංහල භාෂාව වර්තමානයේ මුහුණ දෙන අභියෝග හා ඒ සම්බන්ධයෙන් සිදු කළ යුතු භාෂා සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සංවාදයට අප සමඟ එක් වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා යි. සිංහල භාෂාව, වාග් විද්‍යාව හා භාෂා විෂයක සැලසුම් සම්බන්ධයෙන් පතපොත ලියා ඇති විද්වතකු වන සඳගෝමි කෝපරහේවා මහතා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කරයි.
• ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය පසුගිය 21 වැනිදාට යෙදී තිබුණා. සිංහල භාෂා දිනය මාර්තු 2 වන දා ලෙස සැලකෙනවා. මේ දින දෙකෙහි වැදගත්කමත් ඒ කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔබ පෙන්වා දෙන්නේ කොහොම ද ?
භාෂාව ගැන කතා කිරීමට වඩා අපේ අවධානය යොමු වී ඇති ප්‍රශ්න ගණනාවක් වර්තමානයේ පවතිනවා. එසේ වුවත් නිදහසින් පසු ලංකාව මුහුණ දුන් දේශපාලනික හා වාර්ගික ප්‍රශ්න ගණනාවකට භාෂාව ප්‍රධාන සාධකයක් වුණා. වර්තමානයේ අප මුහුණ දෙන ඇතැම් සමාජ, සංස්කෘතික ප්‍රශ්නවලට ද භාෂාව බලපා තිබෙනවා. අනාගතයේ දී අපට මුහුණ පෑමට සිදු වන ගැටලුවලට ද භාෂාව තීරණාත්මක සාධකයක් විය හැකි යි. ඒ නිසා රටේ කවර ප්‍රශ්න තිබුණත් භාෂාව ගැන අවධානය යොමු කිරීම වැදගත්.
භාෂා විවිධත්වය හා බහුභාෂකත්වය අද ලොව පුරා දක්නට ලැබෙන සංසිද්ධියක්. යුනෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය 1999 සිට සමරනු ලබන්නේ භාෂාත්මක හා සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සහ මවු බස පදනම් කර ගත් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහායි. ඒ අනුව බහුභාෂක රටක මවු බස රැක ගැනීම හා එහි අගය ඉහළ නැංවීම යුනෙස්කෝව පිළිගෙන තිබෙනවා. භාෂා විවිධත්වය ප්‍රවර්ධනය කිරීම මගින් පුද්ගලයන්ගේත් එම සමාජවල සහ සංස්කෘතීන්ගේත් සංවර්ධනය සඳහා භාෂාවේ දායකත්වය ලබා ගැනීම වැදගත් වෙනවා.
ඒ වගේම රාජ්‍ය භාෂාවක් හා අධ්‍යාපන මාධ්‍යයක් වශයෙන් සිංහල භාෂාව මුහුණ දෙන අභියෝග රාශියක් වර්තමානයේ පවතිනවා. වරක් කුමාරතුංග මුනිදාසයන් පෙන්වා දුන් පරිදි “ නීතියක් රීතියක් නැති ජන සමාජය මෙන්ම භාෂාව ද අවුලෙන් අවුලට වැටෙන” බව පෙනී යනවා. එනිසා සිංහල භාෂාවේ ප්‍රවර්ධනය කෙරෙහි සිදු කළ යුතු භාෂා සැලසුම් රාශියක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් භාෂා සැලසුම්කරුවන්ගේ හා රජයේ අවධානය සිංහල භාෂා දිනයේදිවත් යොමු වනු ඇතැයි අප විශ්වාස කරනවා. රටක භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා රජයට විශාල වගකීමක් පැවරෙනවා.
• රටක ජාතියක සංස්කෘතික අනන්‍යතාව තහවුරු වීමට සහ පොහොසත් චින්තනයක් ගොඩ නැගීමට මවුබසින් සිදුවන බලපෑම් කෙබඳුද?
කිසියම් ජන වර්ගයක සංස්කෘතික අනන්‍යතාව ගොඩ නැගී ඇති ප්‍රමුඛතම සාධකය වන්නේ භාෂාවයි. ඒ අනුව කිසියම් ජන සමූහයක අනන්‍යතාව, සන්නිවේදනය, සමාජ ඒකාග්‍රතාව, අධ්‍යාපනය හා සංවර්ධනය සමඟ භාෂාව සංකීර්ණ ලෙස බැඳී පවතිනවා. “ සියබස කෙලෙසා අපට නිදහසක් නොම ලැබේ - පටන් ගන්න සිය බසින්” යනුවෙන් කුමාරතුංගයන් පවසා තිබෙනවා. ඒ නිසා භාෂාව නමැති සමාජීය සම්පත කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. නිදහස් ශ‍්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවට සහ දේශීයත්වයට අනුකූල වූ භාෂා සාහිත්‍ය සංවර්ධනයක් ඇති කොට, එමගින් ස්වභාෂාභිමානය ඇති කිරීම කුමාරතුංග වැනි සිංහල භාෂානුරාගීන්ට අවශ්‍ය වුණා.
නිදහසින් පසුව සිංහල භාෂාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කිරීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනත් සිංහල භාෂාවේදිනුත් කටයුතු කර තිබෙනවා. එසේ වුවත් සියබස සැලසුම් කිරීම වෙනුවෙන් පසුගිය කාලයේ රජය දැක්වූ අවධානය මදි. වර්තමානයේ අප මුහුණ දෙන ආර්ථික අර්බුද විසඳා ගැනීමටIMF වැනි ජාත්‍යන්තර සංවිධාන අපට උදව් කළත් අපේ රටේ සංස්කෘතික පරිහානියක් සිදුවුවහොත් ඒ අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර ආධාර අපට ලැබෙන්නේ නැහැ. මේ නිසා අපගේ ස්වභාෂාවේ අනන්‍යතාව හා සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් ජාතික මට්ටමෙන් ඇරඹිය යුතු කාලය නැවත වරක් පැමිණ තිබෙනවා.
• අපේ රටේ අධ්‍යාපනය තුළ සිංහල භාෂා සාහිත්‍යය වැනි විෂයයන් සඳහා කුඩම්මාගේ සැලකිල්ලක් ලැබී ඇති බව විද්වතුන් පෙන්වා දෙනවා. මේ නිසා ඉදිරියේ දී ඇතිවිය හැකි ගැටලු මොනවා ද?
බොහෝ පාසල්වල සිංහල භාෂා සාහිත්‍යය ඉගැන්වීම විෂයමාලා සම්පූර්ණ කිරීමට හා දරුවන් විභාගවලට පුහුණු කිරීමට පමණක් සීමා වෙලා. පාසල්වල සිංහල විෂය ඉගැන්වීම කළ යුත්තේ සරසවියක හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක, පිරිවෙනක සිංහල විෂයයක් ලෙස හදාරා සුදුසුකම් ලත් අය පමණ යි.
පාසල් මට්ටමේ සිට භාෂාවේ සම්මත ව්‍යවහාරය ගැන හොඳ දැනුමක් දරුවන්ට ලබා දිය යුතු වෙනවා. එහෙත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිංහල භාෂාව ගැන හැදෑරීමට බොහෝ දෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අධ්‍යාපන පද්ධතියේ නව විෂය ඥානය ස්වභාෂාවන්ගෙන් ප්‍රකාශයට පත් නොවන තත්ත්වයක් යටතේ, ඒ භාෂාවේ සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකියි.
එසේ වුවහොත් ඒ බස එදිනෙදා කතා බහට පමණක් සීමා වෙනවා. උසස් සාහිත්‍යයක් හා නව දැනුමක් සිය බසින් පළ වන්නේ නෑ. එසේ ම අප ජීවත් වන්නේ උගත් නාගරික සිංහලයන්ගෙන් ස්වභාෂාභිමානය ගිලිහි යන අවදියක යි. සියලු කටයුතුවලට ඉංග්‍රීසි බස අවශ්‍ය වන්නේ නෑ. රටක සංවර්ධනය හා එම රටේ භාෂාව අතර සම්බන්ධයක් පවතිනවා. සියබසේ දියුණුවක් ඇති නොකොට රටේ දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි යි.
• වර්තමානයේ සිංහල භාෂා භාවිතය සම්බන්ධයෙන් පරිහානියක් සිදු වී ඇත්නම් එය මඟහරවා ගැනීමට අප ගත යුතු පියවර කවරේ ද?
වර්තමානයේ බහුලව දැකිය හැක්කේ සිංහල භාෂාවේ සම්මත ව්‍යවහාරය නොසලකා හැර භාවිත කිරීමයි. නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා එසේ සිදු විය හැකි යි. මුද්‍රිත මාධ්‍ය සිංහල භාෂාවේ ලේඛන රීතිය කෙරෙහි අවධානය යොමු කළත් ඇතැම් රූපවාහිනී නාලිකා භාෂාව කෙරේ දක්වන නොසැලකිල්ල නිසා භාෂා වැරදි ප්‍රචාරයට පත් වෙනවා. සියලුම ජනමාධ්‍ය හා රාජ්‍ය ආයතන භාෂා සංස්කාරකවරයකුගේ සේවය ලබාගත යුතු බව මා බොහෝ කලක සිට අවධාරණය කරනවා.
සිංහල භාෂාවේ සම්මත ව්‍යවහාරය ගැන බොහෝ පතපොත පළ වී තිබෙනවා. සිංහල භාෂා රීතිය ගැන ලියැවුණු ඒ පොත් ඇසුරු කිරීමට ගුරුවරුන්, ජනමාධ්‍යවේදීන් යොමු විය යුතු යි. කවර වෘත්තියක සේවය කළත් තම මවු බස වන සිංහල භාෂාවේ පරිචයක් ලබා තිබීම වෘත්තීයභාවය නංවන ලක්ෂණයක්.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා