ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ සංචාරකයන්ගේ පාරාදීසයක් වශයෙනි. එසේ නම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා බලධාරීන් විසින් සිය උපරිම දායකත්වය ලබා දිය යුතු වෙයි. සංචාරක කර්මාන්තය රටට ඩොලර් උපයා දෙන උල්පතක් බැවිනි. මේ ඩොලර් උල්පත වඩාත් හොඳින් පාදා ගැනීමට විදෙස් ආයෝජන ලබා දෙන්නේ ප්‍රබල දායකත්වයකි. ඒ අනුව සංචාරක පාරාදීසයක් වශයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවට එම කර්මාන්තය උදෙසා ආයෝජකයකු සොයා ගැනීම කිසි දිනක ගැටලුවක් නොවිය යුතුය. එහෙත් මේ නොවිය යුතු දේ සිදුවී තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ 2018-2019 විගණකාධිපති වාර්තාව සහ කාර්ය සාධනය පරීක්ෂා කළ කෝප් කමිටුව හමුවේ දී පසුගිය දා හෙළි විය.
කල්පිටියේ දූපත් 12කින් 05ක ජල බංගලා (Water Bungalows) වශයෙන් හඳුන්වනු ලබන ව්‍යාපෘතියක් සඳහා මුදල් යෙදවීමට ආයෝජකයකු ශ්‍රී ලංකාවට පැමිණුනේ 2011 වසරේදීය. ආයෝජකයා පැමිණිය ද ඔහුගේ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන ආයතනය කුමක්දැයි හඳුනා ගැනීමට මේ රටේ බලධාරීන් අසමත් වී ඇත. මේ හේතුවෙන් වසර 10ක් තිස්සේ මේ ව්‍යාපෘතිය ඇනහිට තිබේ. මේ වසර 10 තුළ ආණ්ඩු දෙකක් මාරු විය. එහෙත් ව්‍යාපෘතිය තවමත් එතැනය. මෙය රටේ ආයෝජන ප්‍රවර්ධනය කළේ තමන් බවට උදම් අනන සියලු දෙනාගේ රෙදි ගැලවීමකි. ඒ ගැන සියලු දෙනාම ලජ්ජා විය යුතුය.
ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වුව ද එය ආයෝජකයන්ගේ විමර්ශනයට ලක් වෙන්නේ මෙවැනි හේතුවලිනි. අපේ රටට ආයෝජකයන් පැමිණ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම පමණක් මේ ගැටලුවට පිළිතුරක් නොවේ.
ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවට පොරොන්දු නොවූ රජයක් මෑත කාලයේ නොතිබිණි. එහෙත් විදෙස් ආයෝජකයකුගේ මූලික අවශ්‍යතාවක් වන ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දීමේ ආයතනය කුමක්දැයි වසර 10ක් තිස්සේ සොයාගත නොහැකිවීම බරපතළ අඩුපාඩුවකි. අඩුම තරමින් දැන්වත් මෙවැනි ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සංචාරක ක්ෂේත්‍රයේ සියලු බලධාරීන්ගේ වගකීම වෙයි. එවිට අඩුම තරමින් කොවිඩ් වසංගතයේ නිමාවක් දකින විට හෝ සංචාරක ව්‍යාපාරය සඳහා ආයෝජකයන් සොයා ගැනීම ගැටලුවක් නොවනු ඇත.
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මේ කරුණු හෙළි කරගත් අවස්ථාවේ කල්පිටියේ දූපත් 12ම සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට සංචාරක අමාත්‍යංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබිණි. එහෙත් උපදෙස් ලබාදීමෙන් පමණක් මෙවැනි වැරදි නිවැරදි කර ගැනීමට හැකියාවක් නැත. ඒවායේ පසු විපරමක් අනිවාර්යයෙන් තිබිය යුතුය. එසේම සංචාරක ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදෙන ආයතනය කුමක්දැයි වැනි සුළු කාරණයක් වසර 10ක් තිස්සේ සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව විශේෂ සෝදිසියක් ද අවශ්‍යය. තවමත් තත්ත්වය එසේ නම් කල්පිටියේ දූපත් 12ට ආයෝජකයන් කැඳවා ගැනීම අහසේ රේඛා ඇඳීමක් පමණක් වනු ඇත.
සාකච්ඡාවට බඳුන් වී ඇති ජල බංගලා හෝටල් ව්‍යාපෘතිය මෙරටට ගෙන ආ ආයෝජකයාට දැනටමත් මාලදිවයිනේ මෙම වර්ගයේ හෝටල් තිබියදීත් වසර 10ක් තිස්සේ ඔහුගේ ව්‍යාපෘතියට අනුමැතියක් ලබා දීමට නොහැකි වීම අදාළ බලධාරීන් තම වගකීම් පැහැර හැරීමක් බව කිව යුතුය. එවැනි ප්‍රමාද වීම් සංචාරක කර්මාන්තයට පමණක් නොව රටේ සංවර්ධනයට ද බාධාවක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දී තිබිණි. එහෙත් එවැනි ප්‍රමාදවීම් වළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් නොවුණොත් මේ පෙන්වාදීම් මාධ්‍ය වාර්තාවලට පමණක් සීමා වනු ඇත.
ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඉදිරියට යන ලෝකයේ සෙසු රටවල් සමඟ ඉදිරියට යාමට නම් සංචාරක අධිකාරිය 2011 සිට අනුගමනය කර ඇති නිද්‍රාශීලී ගොළුබෙලි ගමන් අත්හළ යුතු වෙයි. එසේම සංචාරක ක්ෂේත්‍රය තුළ ඇති ආයෝජන අවස්ථා හඳුනා ගැනීමත් ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමත් ඉහළම වෘත්තීය මට්ටමකින් සිදුවිය යුතුය.
ආයෝජන ව්‍යාපෘතියකට අනුමැති ලබා දිය යුතු ආයතනය හඳුනා ගැනීම පවා වසර 10ක් තිස්සේ ඇදී ගොස් තිබෙන්නේ එම වෘත්තීය මට්ටම පවත්වාගෙන නොයාම හේතුවෙන් බව පැහැදිලිය. එසේත් නැත්නම් එකී ආයෝජන ව්‍යාපෘතියට අකුල් හෙළන දේශපාලන බළල් අතක් ක්‍රියාත්මක වී තිබිය යුතුය. දේශපාලනයෙන් තොරව පාරක කාණුවක් කපාගත නොහැකි රටක එසේ සිදුවීම එක අතකින් පුදුමයක් නොවේ. එවැනි බලපෑම් හැකි තරම් අධෛර්යවත් කළ යුතුය.
ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට සංචාරක ව්‍යාපාරය හොඳම අත්වැලකි. නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්කර ගැනීමට නම් ආයෝජන අත්‍යවශ්‍ය වන බව නොරහසකි. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ස්ථීර වැඩපිළිවෙළක් තිබීම ද අත්‍යවශ්‍ය සාධකයකි. ආයෝජකයන්ගේ අවශ්‍යතා කෙටි කලකින්, අවම කාලසීමාවක දී ඉටුකර දිය හැකි වාතාවරණයක් ගොඩනැගෙන තුරු ඔවුන් ආකර්ෂණය කර ගැනීම පහසු නැත. එවැනි වාතාවරණයක් ඇති කිරීම ජාතික අවශ්‍යතාවක් බව කෝප් කමිටුවේ දී හෙළි වූ කරුණුවලින් පැහැදිලි වන යථාර්ථයයි.
(***)