යහපාලන ගිවිසුම තවත් දීර්ඝ කිරීම, ආපදා සහන සැලසීම, ආණ්ඩුවිරෝධය සහ ආණ්ඩුව පෙරළීම, ජාතිවාදය ඇවිස්සීම, අලුත් ව්‍යවස්ථාව යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය - එ.ජා.ප - ශ්‍රී.ල.නි.ප සම්මුති ගිවිසුම තවත් දීර්ඝකර යහපාලනය ඉදිරියට ගෙනයාමට කටයුතු කරමින් තිබෙනවා. මේ ශක්තිමත් වීම පිළිබඳ ඔබේ මතය මොකක්ද?
පිළිතුර - ඒකාබද්ධ විපක්ෂය හැටියට ඔය සම්මුතිය කඩා බිඳ දමන්නයි බලන්නේ. ඔය සම්මුතිය ප්‍රතිපත්ති විරහිත සම්මුතියක්. ශ්‍රී.ල.නි.ප.ය ඔය සම්මුතියෙන් කැඩෙනවානම් අපට එ.ජා.ප. ආණ්ඩුවක් හැදෙනවා දකින්න පුළුවන්. ඒ අරමුණෙන් අපි ඉන්නේ මේ සම්මුතිය කැඩීමේ පැත්තට බරව. එහෙම වුණාම ඒ ආණ්ඩුවට එරෙහිව නැගෙන ජනබලවේගය තවත් ශක්තිමත් වෙනවා. පාර්ලිමේන්තු ඡන්දයක් වහාම පවත්වන්න බැරි වුණත් අපේ වුවමනාව මේ ආණ්ඩුව වෙනස් කිරීමයි. ඒ තත්ත්වය යටතේ ආණ්ඩුව වෙනස් වෙනවා. අගමැති වෙනස් වෙනවා. ඒක වෙන්න පුළුවන් මේ ආණ්ඩුවේ සම්මුතිය කැඩුනොත් විතරයි.
ප්‍රශ්නය - එවැන්නක ලකුණක්වත් පේන්න නැතිව ඔයවගේ හීන දකින්න පුළුවන්ද? මේ සම්මුතිය කඩන්න ඔබලාට ඇති උපක්‍රමය මොකක්ද?
පිළිතුර - අපි දකින හැටියට මේ සම්මුතිය බිඳ වැටෙනවා පමණක් නොවෙයි එ.ජා.ප.ය ඇතුළේම බිඳ වැටීමක් වෙන්න ඉඩ තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ඒක පැහැදිලියි. මම එහෙම කියන්නේ තොරතුරු අනුව නෙමෙයි. අද තිබෙන ආර්ථික, දේශපාලන, සමාජ අර්බුදය තුළ මේ ආණ්ඩුවේ අද තිබෙන සහසම්බන්ධතා එලෙසම පවත්වාගෙන යන්න බැරි වේවි. රටේ විරෝධය ඇතිවන ප්‍රමාණයට ඇතුළත අර්බුදයත් වැඩිවෙනවා.
ප්‍රශ්නය - ඔය කියන ආකාරයේ විරෝධයක් හෝ ආණ්ඩුව ඇතුළත අර්බුදයක් ඇති බවක්නම් පේන්න නැහැ නේද?
පිළිතුර - විරෝධය ඉස්මතුවී පෙනීම ගංවතුර නිසා තරමක් දුරට නැවතී තිබෙනවා. මේ පාලනයට එරෙහි මහජන විරෝධයක් නැතිබව කිසිලෙසකින්වත් එයින් හැඟෙන්නේ නැහැ. තැපැල් අංශයේ විරෝධය අපි දැක්කා. දුම්රිය සේවක කොටසක වර්ජනයක් ගැන ආරංචි යනවා. ගංවතුර බැසගොස් ඒ සංවේග කාලය අවසන්වීමටත් පෙර ආණ්ඩුව සමඟ ගැටෙන විවිධ කණ්ඩායම්වල ආරම්භක අවස්ථා තමයි මේ.
විපතට පත්වූ ජනතාවට ලැබියයුතු අයිතිවාසිකම් නොලැබීම, වන්දි, සහන නොලැබීම උඩ විශාල විරෝධයක් මේ ගංවතුර තුළින්ම මතුවෙන්නත් පුළුවන්. එ.ජා.ප.යේ අභ්‍යන්තරයට මේ තත්ත්වය දැඩි බලපෑමක් කරාවි.
ප්‍රශ්නය - ගංවතුර නිසා ආණ්ඩුවට එරෙහි විරෝධයක් මතුවන්නේ කොහොමද? අවශ්‍ය සහන සැලසීම ආදී සියලු පියවර ආණ්ඩුව ගත්තා නේද?
පිළිතුර - මම නියෝජනය කරන ප්‍රදේශයේ එක පන්සලක පවුල් 25 ක් ඉන්නවා. මේ අයට තමන්ගේ ගෙවල්වලට යන්න බෑ. එක්කෝ ඒවා විනාශවෙලා. නැතිනම් ඒව අනතුරුදායකයි කියා අයින් කරලා. කඨින පින්කම් පටන් ගන්න නිසා මේ අයට පන්සලේ ඉන්නත් බැහැ. මේ අයගේ විරෝධයක් ආණ්ඩුවට තිබෙනවා.
මේ ජනතාවට දෙනවා කියා පාර්ලිමේන්තුවේ කියන දේවල් කෝ. කෝ ගෙවල් කුලී. වන්දි කෝ මේ කිසි දෙයක් නැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුම් දී නැහැ. ඒ නිසා මේ තත්ත්වය රටේ සෑමතැනම තිබෙනවා. අරණායක මිනිස්සු තවම ඉන්නේ කූඩාරම්වල. විපත් සහන, ලබා නොදීම පිළිබඳව ලොකු විරෝධයක් හැමතැනින්ම එකතුවෙලා ඒවි. ඒක හුඟක් තදින් ආණ්ඩුව ඇතුළට බලපාවි. එහෙම තමයි මම දකින්නේ.
ප්‍රශ්නය - ආණ්ඩුවට එරෙහි විරෝධය ගොඩනගන්න ගංවතුරත්, අසරණ මිනිසුන් අවියක් කර ගැනීමට තරම් දුබල තැනකට ඒකාබද්ධය වැටිලාද?
පිළිතුර - නෑ. අපි ඒ අනුව විරෝධයක් ගොඩනගනවා නෙමෙයි. විරෝධයක් ගොඩනැගෙනවා. ඒ අයගේ හඬ පාර්ලිමේන්තුව හා විවිධ රාජ්‍ය ආයතන කරා ගෙනයාමේ වගකීම ඒකාබද්ධ විපක්ෂයට තිබෙනවා.
ප්‍රශ්නය- අනෙක් බොහෝ මන්ත්‍රීවරු ඇමැතිවරු තම වැටුප පරිත්‍යාග කර අවතැන් ජනතාවට සහන සලසද්දී ඒකාබද්ධ විපක්ෂය එවැන්නකට අදිමදි කළා නේද?
පිළිතුර - ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරු ගැන මම දන්නේ නැහැ. හැබැයි මගේ වැටුප පරිත්‍යාකර මන්ත්‍රීධුරයේ වගකීම් ඉටුකරන්න හා මාගේ ජිවිතයේ නඩත්තුව ගෙනියන්න බැහැ. ඒ නිසා මට එහෙම පරිත්‍යාග කරන්න බැහැ. මගේ වැටුපෙන් කොටසක් දුන්නා. ඒ අතර ලක්ෂ හතර පහක මුදල්, උපකරණ එකතුකර අවතැන් ජනතාවට බෙදා දුන්නා. වැටුප පරිත්‍යාග කරන්න නම් අපට වත්කමක් නැහැ.
ප්‍රශ්නය - ඔබ මුලින් කියූ ආකාරයට මහජන විරෝධයක් තිබෙනවානම් ජනාධිතිවරයාට හදිහූනියම් කරන්න යොමු වන්නේ ඇයි?
පිළිතුර - ඒක නම් මහ පිස්සු වැඩක්. හදි හූනියම් කරලා රාජ්‍ය නායකයන්ගේ බලය කඩන්න බැහැ. ඒ වගේම මෝඩ ව්‍යායාමයක යෙදෙන මිනිසුන්ට මුළු රටම එකතුවෙලා හිනා වෙන්න ඕන.
ප්‍රශ්නය - ආණ්ඩුවේ ප්‍රථම ඇමැති සංශෝධනය හරහා ශක්තිමත්ව ඉදිරියට යාමට පසුබිම සකසාගෙන තිබීමෙන් ඔබලාගේ උත්සාහය යටපත් වුණා නේද?
පිළිතුර - ඇමැති සංශෝධනයක් එක්ක ආණ්ඩුව ඇතුළේ තවත් අලුත් ප්‍රශ්න මතුවෙනවා. තමන්ට ලැබී තිබූ දේ අයින් කිරීම, තවත් දේ නොලැබුණේ ඇයි කියන කාරණා මෙතන තිබෙනවා. මේ වෙනස්කම් කරන්න හේතු වුණෙත් ඇතුලත මතුව තිබූ විරෝධයයි. ගැළපීම් නැතිකම තිබෙනවා. ගැළපීම් නැති විෂය බෙදලා දීලත් තිබෙනවා. මේවා කර තිබෙන්නේ එක්තරා අවස්ථාවාදී අවශ්‍යතාවක් මතයි. මේ විෂය බෙදීම් හා ඇමැති සංශෝධනයෙන් පසුව අලුත් ප්‍රශ්න ආණ්ඩුව ඇතුළේ මතුව තිබෙනවා.
මේවාට ජනතා විරෝධයක් එකතුවීම ස්ථීරයි. මේවා එකට එකතුවූ පසු ආණ්ඩුව ඇතුලේ අර්බුදකාරී තත්ත්වයක් මතුවනවා. මම අගෝස්තු එනතෙක් කල් දෙනවා. අගෝස්තු වනවිට ඡන්දයක් තියන්නම වෙනවා. පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දයෙන් ලැබෙන ප්‍රතිඵලයෙන් ආණ්ඩුව ඉතා දරුණු පරාජයකට ගියොත් ඊට පස්සේ නම් මේ ආණ්ඩුව සුමානගානක්වත් පවතින්නේ නැහැ. ජනමතය නැති තැනක කෙසේ රට පාලනය කරනවාද කියන ප්‍රශ්නය ඉබේම මතු වෙනවා.
ප්‍රශ්නය - එතකොට දැන් වෙසක් පෝය දෙක ලබන අගෝස්තු දක්වා කෙටි වෙලාද?
පිළිතුර - මම කියන්නේ මගේ ස්ථාවරය. වෙසක් පෝය දෙකේ කතා මම දන්නේ නැහැ. ඒක වෙනත් අයෙකුගේ අදහසක් වෙන්න ඇති. අගෝස්තු වනවිට ඡන්ද තියන්නම වෙනවා. ඡන්ද පැවැත්වීමට අවශ්‍ය කටයුතු දැන් සිදුවෙමින් තිබෙනවා. පළාත් පාලන ආයතනවල තනතුරු දැරූ මේ අයගේ ගෝලයන්ම අද දොස් නගන තත්ත්වයට පත්වෙලා. අපේම ආණ්ඩුව අපට මේ කරන්නේ මොකක්ද කියා ඔවුන් ප්‍රශ්න කරනවා. එලෙස ඇතුළතින්ම විරෝධයක් මෝදුවෙමින් තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ජාත්‍යන්තර සංවිධාන මේ ආණ්ඩුවට එක්කළ සුබපැතුම් එක්තරා ආකාරයක දෝෂාරෝපණයක් බවට හැරවිලා. ඡන්ද නොපැවැත්වීම ගැන ඒ අයගේ විරෝධය එල්ල වෙනවා. ඒවගේම ඡන්ද කල් දැමීම නිසා මේ ආණ්ඩුවට උදව් කළ දේශීය සංවිධානත් දැන් විරෝධය දක්වමින් සිටිනවා. මේ සියල්ල එකතුවූ විට අනිවාර්යයෙන් ඡන්දය පවත්වන්න වෙනවා. එහි ප්‍රතිඵලය බරපතළ නම් ආණ්ඩුවට පවතින්න බැරිවෙයි.
ප්‍රශ්නය - ව්‍යවස්ථාව සම්බන්ධ අලුත් කතා බහක් කරළියට පැමිණ තිබෙනවා. මේ පිළිබඳ ඔබේ මතය මොකක්ද?
පිළීතුර - ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව උනන්දුයි. හැබැයි රටේ නම් එහෙම උනන්දුවක් නෑ. දෙමළ සන්ධානයත් මේ ගැන උනන්දුයි. ජාත්‍යන්තර සංවිධානත් එහෙමයි. ඒකාබද්ධ විපක්ෂයට නම් මේ ගැන කිසිම උනන්දුවක් නෑ. රටේ ජනතාව උනන්දු වෙන්නේ ඡන්දයක් ලබාගන්න. ඒ වගේම තමන්ට අත්වී තිබෙන විශාල අසහනකාරී තත්ත්වයට ආණ්ඩුවේ යුතුකම් ඉටුකරවා ගැනීමටත් ජනතාව උනන්දුයි. ජීවන වියදම් ප්‍රශ්නය, ජාතික සම්පත් කොම්පැනිකාරයන්ට දීම ගැන පක්ෂ භේදයකින් තොරව රටේ විරෝධයක් තිබෙනවා.
හම්බන්තොට වරාය දීමට අර්ජුන රණතුංග මහත්තයත් විරුද්ධ වුණා. ඒ නිසාම වරායෙන් එළියට යන්නත් එතුමාට වුණා. එතුමා වෙනුවට දාගත්ත කෙනා වරාය විකිණීමේ වැඩ පිළිවෙළට අනුකූල කර ගන්න පුළුවන් කියන අදහසකුත් තිබෙනවා. ජාතික සම්පත් විකිණීම නවත්වන්න ජිවන වියදම් ප්‍රශ්නය විසඳන්න, ඡන්දය තියන්න කියන කරුණුයි ජනතාව කියන්නේ. ව්‍යවස්ථාව ගැන නෙමෙයි. රටේ තිබෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි ආණ්ඩුව ව්‍යවස්ථා කතාවක් ගෙනත් වංගු ගහනවා. අලුත් ව්‍යවස්ථාව ගැන ආණ්ඩු පක්ෂයේ දෙගොල්ල අතරත් එකඟතාවක් නැති තැන එය යථාර්ථයට බොහොම ඈතයි.
ප්‍රශ්නය - ජාතිකත්වයක් ගැන ඔබ මතුකරන අතර ජනතා විරෝධයක් ගැනත් කිව්වා. මේ සියල්ල එකතුකර ජාතිවාදය අවුස්සා ජනතාව කුපිත කරන බවටයි ඔබලාට චෝදනා නැගෙන්නේ?
පිළිතුර - ජාතිවාදය වපුරනවා කියන්නේ ජන වර්ග අතර මතභේදය ඇතිකර එකිනෙකාට වෛරකරන උසිගැන්වීම් කර ජනයා එකිනෙකා සමඟ අවුලුවා තැබීමයි. මේක ඒකාබද්ධ විපක්ෂය කරන දෙයක් නෙමෙයි. මේක කරන්නේ ආණ්ඩුව. මේ සිද්ධිවලට ආණ්ඩුව ඉඩ ලබාදී තිබෙනවා. ඒ සිද්ධි සිදුවීමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව ඉටුකර තිබෙනවා. ඒ වගේම මේවා ගැන ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීම පස්සට අරගෙන තිබෙනවා. එහෙම කරලා මෙන්න ජාතිභේද වාදය ඇතිවෙනවා කියා ආණ්ඩුව කෑ ගහනවා. සුළු ජනයාට පහර දෙන බව කියනවා. ඒ හරහා ජනවර්ග අතර කෝළාහලයක් අවුලුවන්න හදන බව කියනවා. මේ සියල්ල කරන්නේ ආණ්ඩුව.
ප්‍රශ්නය - එහෙම නම් උතුරේ මහ ඇමැතිවන ඔබේ මස්සිනා උතුරේ ජාතිවාදය අවුස්සමින් සිටින බවට චෝදනා නැගෙනවා. එයත් ආණ්ඩුවේ මෙහෙයවීමෙන් වෙනවා කියලද ඔබ කියන්නේ?
පිළිතුර - ඔව්. ආණ්ඩුව උතුරේ මහ ඇමැතිවරයාට ලබාදී තිබෙන්නා වූ ඉඩකඩ මොකක්ද? එක පැත්තකින් මේක ආණ්ඩුවේම වැඩක්. අනික් අතට මේ නිසා ජාතිභේද ඇවිස්සෙනවා කියා කෑ ගහන්නෙත් ආණ්ඩුවමයි.
ජාතිභේදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ හෝ ක්‍රියාකරන අය සම්බන්ධයෙන් ගතයුතු පියවර නොගනිමින් ආණ්ඩුව කටයුතු කරනවා. මේවායේ ප්‍රධාන වගකිවයුත්තා ආණ්ඩුවයි.
ප්‍රශ්නය - කොහොම කිව්වත් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ ක්‍රියාවලියකින් ඔබලා කරන්නේ විශාල විනාශයක් නෙමෙයිද?
පිළිතුර - මේ ආණ්ඩුව අපහසුතාවට නෙමෙයි අවසානයට පත්කිරීමයි අපේ අරමුණ. ඒ ගැන අපේ සැඟවීමක් නෑ. මේ රටේ ජනතාවත් සමඟ ඇතිකරගත් ගිවිසුම කඩ කරපු ජනතාවම උල්ලංඝනය කළ දූෂණය කළ ආණ්ඩුවක් අද තිබෙන්නේ. මේ ආණ්ඩුවත් සමඟ සුරතල් වීමක් අපට නැහැ. මේ ආණ්ඩුව අවසන් කළ යුතුයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවිය යුතු නිසා මැතිවරණය උදාවනතුරු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ප්‍රශ්නය - බලය ගන්න බලාගෙන සිටියත් ඒකාබද්ධ විපක්ෂයේත් එකමුතුවක් වැඩ පිළිවෙළක් නැහැනේද?
පිළිතුර - බලය ඇල්ලීමේ ප්‍රශ්නයක් නැහැ. ජනතාව අපට බලය දෙනවා නම් ඒ බලය බාරගන්න අපි ලෑස්තියි. හැබැයි ඒකාබද්ධ විපක්ෂය තවම තමන්ගේ ඉදිරි අනාගත ආණ්ඩු වැඩපිළිවෙළ රට ඉදිරියේ තබා නැහැ. මේක අපේ පැත්තේ තවම තිබෙන අඩුපාඩුවක්. ප්‍රමාදයක්. එනිසා ඉක්මනින් නිශ්චිත වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන. එයට මුදල් සොයා ගන්න ක්‍රමයක් පෙන්නන්න ඕන. එහෙම නැතුව නම් මේ පාර මිනිසුන්ගෙන් ඡන්ද ගන්න බැහැ.
(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)