මේ කාලෙ ගීත පිදුරු වගේ


• ‘‘සඳ මඬල වී’’ ගීත පද සංග්‍රහය මෙසේ එළිදකින්නේ 2009 වසරේ ඔබවහන්සේ පළ කළ ‘‘සීතල ගඟුල වගෙයි’’ ගීත සංග්‍රහයට පසුවයි. ගීත පද රචනා සංග්‍රහයක් පළ කිරීමට මේ තරම් කල් මැරීමක් සිදුවූයේ ඇයි?

සීතල ගඟුලත් ‘‘සඳ මඬලත්’’ අතර කාලය අවුරුදු දොළහක් වුණාට ඒ කාලය ගීත සංග්‍රහයක් එළිදක්වන්නට පමාවක් කියල මට හිතෙන්නෙ නෑ. මා ගීත ලියන්න අරගෙන දැන් අවුරුදු හතළිහකටත් වඩා වැඩියි. මේ කාලය තුළ මගේ අතින් ලියවිලා තියෙන්නෙ ගීත තුන් සියයකටත් වඩා අඩු සංඛ්‍යාවක්.

කොහොමටත් මම හෙමින් ගමනක් යන කෙනෙක්. මට පුරුදුත් ඒ විදිහට. මා හැමවිටම උත්සාහ දරන්නෙ ප්‍රමාණාත්මක භාවයට වඩා ගුණාත්මකභාවයට මුල් තැනක් දෙන්නයි. මා ලියන දේ ගැන මුලින්ම මා තෘප්තිමත් වෙන්න ඕනෑ. ඕනෑම කුණු ගොඩක් සමාජයට මුදාහැරීම නොවෙයි කළ යුත්තේ. අවුරුද්දකට එක හොඳ ගීතයක් ලියාගත්තත් ඇති. හොඳ රචකයකු වීම යනු ගොඩ වැඩිකර ගැනීමක් නොවෙයි.
 
• මේ සංග්‍රහයේ බොහෝ ගීත මානව, සමාජ හා දේශපාලනික අගයක් මතු කරන නිර්මාණ බව පෙනෙනවා. කිසියම් අත්දැකීමක් ගීතයක් බවට පත්වීමේ අරුමය ගැන කතා කරමු 

ඕනෑම නිර්මාණකරුවෙක් පවතින සමාජය පිළිබඳව අවදියෙන් සිටිය යුතුයි. සංවේදී විය යුතුයි. මගේ නිර්මාණ තුළත් මේවා අඩු වැඩි වශයෙන් ඇතුළත් වෙලා ඇති. ඒ අත්දැකීම් මතුකර ගැනීමේදී යම් නිර්මාණයකට උත්තේජනය ලැබෙන්නෙ එහෙම වුණාමයි. ඒ නිසා අත්දැකීමක් නිර්මාණයක් බවට පත්කර ගන්නෙ කොහොමද කියන කාරණය ගැඹුරින් කතා කළ යුතු දෙයක්. එය වචන තුන හතරකින් විස්තර කරන්න අමාරුයි. ගීතය කියල කියන්නෙ වෙනමම කලා මාධ්‍යයක්. ඒකට ආවේණික ලක්‍ෂණ තියෙනවා. ඉතාම සංක්‍ෂිප්තයි. ඒ වගේම ගීතයකදී කෙරෙන භාෂාත්මක ගනුදෙනුව ඉතාම වැදගත්. තමා ලබන අත්දැකීම මූලික වශයෙන් පොදු අත්දැකීමත් බවට පත් කළ යුතුයි. එහෙම නොවුණොත් ශ්‍රාවකයාට ඒ අත්දැකීමට කිට්ටුවෙන්න බැරිව යනවා.

නිකම්ම වචන ගොඩක් තිබූ පමණින් එය ගීතයක් බවට පත් වෙන්නෙ නෑ. එම ලක්‍ෂණ නොතිබුණොත් ශ්‍රාවකයාට ගීතයේ රසය විසඳන්න අසීරුයි. සාහිත්‍ය භාෂණයක් වගේම එහි සංගීතයටත් යම් ඉඩක් තිබීම වැදගත් වෙනවා. ඒ වගේම සුගායනීය බවකුත් තියෙන්න ඕනෑ. එහෙම වුණාම තමයි අපි පරිපූර්ණ ගීතයක් හැටියට එය අගය කිරීමට ලක් කරන්නෙ. 

• මෙම සංග්‍රහයට ඇතුළත් ‘‘ගොපලු ගීතය’’ මේ යුගයේ රසිකයන් අතර වඩාත් ජනප්‍රියව ඇති බව පෙනෙනවා. ඔබ වහන්සේ මේ නිර්මාණ හරහා ප්‍රබල සමාජ – දේශපාලනික විරෝධාකල්පයක් මතු කරන බව පැහැදිලියි. ගීතයෙන් කළ හැකි සමාජ – දේශපාලනික මැදිහත්වීම ගැන ඔබ වහන්සේගේ ඇති විශ්වාසය කෙබඳුද? 

ඔබ කිව්වා වගේම ‘‘ගොපලු ගීතය’’ සමාජයේ කතිකාවකට යොමු වෙලා තියෙනවා. සමහර තැනෙක මේ සඳහා විවේචනත් එල්ල වෙනවා. කොහොම වුණත් ඒ විවේචනය කියන එකත් වැදගත්. හරවත් සංවාදයක් හරහා රසිකයන්ට එමඟින් බොහෝ දේ අත්පත් කරගත හැකියි. දුර්වල රචනා ඉස්මතු වීමටත් මේ විවේචන නොමැතිවීම ප්‍රධාන හේතුවක්. පසුගිය අවුරුදු හැත්තෑවකට මඳක් වැඩි කාලයක් තුළ මේ රටේ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසා අද වනවිට අපේ රට මුහුණපා ඇති සමාජ – දේශපාලන – ආර්ථික අර්බුදය අප සියලු දෙනාටම රහසක් නොවෙයි. එහි විපාක අපි අඩු වැඩි වශයෙන් අත්විඳිමින් ඉන්න වකවානුවක් මේක. ඒ පිළිබඳව අපේ සංවේගය හා විරෝධය ඉස්මතු කිරීමට ගත් උත්සාහයක් තමයි ගොපලු ගීතය. 

ගීතය ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසන් විය යුතු බව ප්‍රකට කියමනක්. ශ්‍රාවකයා ඥානනය කිරීම එහි ප්‍රධාන වගකීමයි. හැබැයි අද අපට ඇහෙන ගීතවලට ඒ ශක්තිය නැති බවයි දැනෙන්නේ. අද සමාජය, දේශපාලනික, ආර්ථික, ආගමික ආදි සකලාංගයන්ගෙන්ම පරිහාණි ලක්‍ෂණ පෙන්නුම් කරන තැනක් බවට පත්වෙලා තියනවා. එබඳු සමාජයකට සේකර කිව්වා වාගේ ඕනැ වෙන්නෙ බල්ලො මරල හරි සල්ලි හොයන්නයි. එවැනි සමාජයකට කලාවෙන් සෞන්දර්යයෙන් ප්‍රයෝජනයක් නෑ. 

හැත්තෑව අසූව දශකවල වගේ හරවත් ගීත අද මිනිස්සුන්ට ඇහෙන්නෙ නෑ. පහසුවෙන් අහන්න ක්‍රමයකුත් නෑ. ඉතින් කොහොමද සමාජයට බලපෑමක් ඇති වෙන්නෙ. ඒ වගේම සමාජ ශෝධනයට මැදිහත්වීමක් කරන්නෙ. අද ගීතය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා තියනවා. ඒ නිසාම ගීතයෙන් එබඳු සමාජ සත්කාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. 

• කලාත්මක ගීතය අර්ථ කාව්‍ය ප්‍රබන්ධයක් ලෙස සැලකෙන බව විද්වතුන්ගේ අදහසයි. ගීතයක පැවැතිය යුතු සාහිත්‍යමය අගය පිළිබඳව ඔබවහන්සේගේ පැහැදිලි කිරීම කෙබඳුද? 

අර්ථ කාව්‍යයක් වූ ගීතයට සාහිත්‍යය අවශ්‍යමයි. නැත්නම් එය නිසරු නීරස වාර්තාවක් වෙනවා. මානවසිංහ, මඩවල රත්නායක, සේකර වගේ අපේ පුරෝගාමීන්ගෙ ගී නිර්මාණ විමසා බැලීමේදී අපට උදාහරණ සපයාගත හැකියි. සුභාවිත ගීතය යනුවෙන් විචාරකයන් හඳුන්වන්නේ එබඳු ගීත තමයි. ගීතයක් ඇතුළත කවියක් තිබිය හැකියි. ඒත් සෞන්දර්යාත්මක ගුණය නැති ගී පදවැල් කිසි මිහිරක් දනවන්නෙ නෑ. පිදුරු  වගේ. එවැනි උදාහරණ අද ඕනෑතරම් හොයාගන්න පුළුවන්. 

යහපත් ගීතය හිතටත්, කනටත් ප්‍රබෝධයක්, මිහිරක් ලබාදෙනවා. මීට අවුරුදු පනහකට හැටකට පෙර රසවිඳි ගීත අදටත් නොනැසී තියෙන්නෙ මේ ජීව ගුණය ඒ ගීතවල අන්තර්ගතව තිබෙන නිසයි. 

• ප්‍රබල සමාජ මැදිහත්වීමක් කළ හැකි ගීතය වැනි කලා මාධ්‍යයකට අද පත්ව ඇති ඉරණම ගැන මොකද හිතෙන්නේ? 

ගීතය අද පත්ව ඇති ඉරණම ඉතාම ශෝචනීයයි. පිරිහුණු සමාජයේ ගති ලක්‍ෂණ ගීතයටත් පොදුයි. මේ ඛේදවාචකයේ ප්‍රධාන වරදකරුවකු වන්නේ ජනමාධ්‍යයි. විද්‍යුත් නාලිකා බොහෝ තිබුණත් ඒවා අනුගමනය කරන්නේ වෙනමම සංස්කෘතියක්. ඒවායින් යහපත් ගීතයට ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ආත්ම තෘප්තිය උදෙසා ගීත නිර්මාණය කළ ප්‍රවීණයෝ අද අසරණ වෙලා. හරවත් නිර්මාණවලට රැඳෙන්න තැනක් නෑ. ඒවා දවසින් දවස වළපල්ලට යනවා. ගොම රිටි මතුවෙනවා. 

අද බොහෝ මාධ්‍ය උත්සාහ කරන්නෙ මුදල් පොදි ගහගන්න විතරයි. ප්‍රබුද්ධ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් ලබාදෙන දායකත්වය ප්‍රමාණවත් නෑ. ඒ පිළිබඳව රාජ්‍ය පාලකයන්ටත් සැබෑ වුවමනාවක් නැති බවයි පෙනෙන්නේ. 

• රසිකත්වය මොට වුණ සමාජයක අනාගත ප්‍රතිඵල කෙබඳු විය හැකිද? 

රසිකත්වය මොට වුණ සමාජයක් කියල කියන්නෙම සංස්කෘතික කාන්තාරයක්. නිර්වින්දනය වූ සමාජ දේහයක්. අද අපි ඒ තත්ත්වය ටිකෙන් ටික අත්විඳිමින් ඉන්නවා. කලාවේ රස නොදන්නා රසිකත්වයක් නැති අය හරක් වගේ කියල සංස්කෘත කියමනක් තියනවා. මිනිස්සු තිරිසනුන් වගේ කටයුතු කරනවා.

අනුන්ගේ දුකට වේදනාවට සංවේදී නැහැ. තමන්ට දුකක් වේදනාවක් දැනුණාම ඒවා ඉවසා දරාගන්න ශක්තියක්, පුහුණුවක් නෑ, මිනිස්සු යන්ත්‍ර සූත්‍ර බවට පත්වෙලා. තව කෙනෙකු මරන්න හෝ සිය දිවි නසාගන්න ඉතා සුළු දෙයක් ඇති. විශේෂයෙන් බොහෝ දෙනකුට අද මේ අහිමි වීම දරාගන්න අමාරුයි. යහපත් කලාවෙන් රසිකත්වය වර්ධනය කිරීමෙන් තමයි මේ ඔරොත්තු දීම ඇතිකරගන්න පුළුවන් වෙන්නෙ. 

රසවින්දනය කියන්නෙ හුදු ශ්‍රාවකයෙකු අසන්නෙකු ගොඩනැඟීමම නොවෙයි. ඔහු ඊට වඩා ගැඹුරුට ගිය කෙනෙක්. වුවමනාවෙන් වර්ධනය කරගත යුතු රසවින්දනයක්, දැනුමක් ඇති කෙනා තමයි අපි රසිකයා හැටියට නම් කරන්නෙ. සංවේදී මිනිසුන් සිටින සමාජයක් අපට අවශ්‍යයි. එය තමයි රටක අනාගතයේ ජීවනාලිය. ජීවිතය යනු භෞතික සැප සම්පත්ම නොවෙයි. අද සමාජයේ වැඩි දෙනෙක් ඉන්නෙ දැවෙමින් ගිනි පිට කරගනිමින්, තව කෙනෙක් එක්ක පැටලෙන්න ඔවුන්ට නිශ්චිත හේතුවක් අවශ්‍ය නෑ.

වහා ගිනි ඇවිළෙනසුළුයි. ප්‍රබුද්ධ සමාජයක් කියල කියන්නෙ රසිකත්වය පිරුණු සමාජයකට. රසිකත්වයේ පිරිහීම නිසා අද අපි ටිකෙන් ටික තිරිසන් සමාජයකට ළඟා වෙමින් ඉන්න බවක් දැනෙනවා. ඒ හින්දා අපට මඟහැරිය නොහැකි වගකීමක් යුතුකමක් තිබෙනවා මනුස්සකම ඉස්මතු කෙරෙන සමාජයක් නිර්මාණය කිරීම සඳහා දායක වීමට. ඒක සාමූහික ප්‍රයත්නයකින් කළයුතු දෙයක්.

සංවාද සටහන - ගාමිණී කන්දේපොල 

 
පල්ලේගම හේමරතන නාහිමි