මේ වංචනිකයන්ට ඉඩ දී බලා සිටිමු ද?


ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයට එක් හේතුවක් වන්නේ, රටේ ඉහළ සිට පහළටම බූවල්ලකු අඬු විහිදුවා ගත්තා සේ ක්‍රියාත්මක වන දූෂණය සහ වංචාවය. ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවේ උදව්වට කැඳවාගත් අයි.එම්.එෆ්. එක පවා ඔවුන්ගේ ආධාර ලබාදීමේ එක් මූලික කොන්දේසියක් වශයෙන්, රටේ ක්‍රියාත්මක දූෂණය සහ වංචාව තුරන් කරන ශක්තිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව සඳහන් කර තිබේ. එහෙත්, මේ කිසිවකින්වත් අපේ රට පාඩමක් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත.

අපේ ‘ලංකාදීප’ පුවත්පත පසුගියදා ප්‍රධාන සිරස්තලයකින් පෙන්වා දී තිබුණේ, රුපියල් කෝටි 900ක ඉන්ධන වංචාවක චූදිතයකු කිසිදු අවහිරයකින් තොරව රටින් පැනගොස් සිටින බවය. මෙහි ඇති පුදුමය වන්නේ, අදාළ වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදී සහ එම විමර්ශන කටයුතුවලදී ප්‍රශ්න කිරීම්වලට ලක්වන පුද්ගලයකුට මේ තරම් පහසුවෙන් රටින් පැන යාමට අවස්ථාව ලැබීමය. ඔහුට එම අවස්ථාව සඳහා පහසුකම් සපයා දුන් සෙසු නිලධාරීන් ද මේ මහා වංචාවේ කොටස්කාරයන් වශයෙන් සැලකිය යුතු නොවේ ද? වහාම අවශ්‍ය පියවර නොගතහොත් වංචාවට සම්බන්ධ සෙසු පිරිස ද රටින් පැන යන බවට සැකයක් නැත. 

රුපියල් කෝටි 900ක වංචාවක් යනු එසේ මෙසේ කතාවක් නොවන බව වටහා ගැනීම අසීරු නැත. අදාළ ප්‍රධාන චූදිත නිලධාරියා තවත් පිරිසක් සමග එකතු වී මෙරටට ආනයනය කළ ඉන්ධන නෞකාවලින් ඉන්ධන බැරල් දහස් ගණනක් පිට කිරීමෙන් මේ වංචාව සිදු කර ඇතැයි කියැවේ.

එම තොරතුරු සොයාගෙන ඇත්තේ, තෙල් සංස්ථාව සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකිනි. එම පරීක්ෂණයට අනුව තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සේවය කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පිරිසට සහ පිරිපහදුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකු එකතු වී ඉන්ධන අස්ථානගත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එහෙත්, හාස්‍යයට කාරණය වන්නේ, මෙතරම් බරපතළ වංචාවක චූදිතයකු වශයෙන් හඳුනාගෙන ඇති ඉහත කී නිලධාරියාට කිසිදු අපහසුවකින් තොරව නිවාඩු ලබාගෙන විදෙස්ගත වීමට ඉඩ පහසුකම් සලසා දීමය.

ලබන වසරේදී විශ්‍රාම යාමට නියමිත බව කියන මේ නිලධාරියා ඇමෙරිකාව බලා යන බව ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ගමනාන්තය කැනඩාව බවත්, එරට සිට සේවයෙන් ඉවත් වන බව තවත් පාර්ශ්වයක් හරහා සංස්ථාවට දැනුම් දී ඇති බවත් සංස්ථාවේ නිලධාරියකු ‘ලංකාදීප’යට ප්‍රකාශ කර තිබිණි. 

රුපියල් කෝටි 900ක් තරම් බරපතළ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටින නිලධාරියකුට ඔහු කොතරම් උසස් නිලයක් දැරුවත් හොර රහසේම රටින් පිටව යාම පහසු ක්‍රියාවක් නොවේ. එහෙත්, ඔහුගේ ක්‍රියාවෙන් පැහැදිලි වන්නේ, මෙකී වංචාව සිදු කර ඇත්තේ ඉතා සැලසුම් සහගතව බවය. ඇමෙරිකාව හෝ කැනඩාවට හෝ නිල මට්ටමේ රාජකාරි කටයුත්තකට හැර වීසා පහසුකම් ලබා ගැනීම දුෂ්කර ක්‍රියාවකි. ඔහුට රට යාමට උදව් කළ කවරකු හෝ සිටී නම්, ඒ අයද වංචාවේ කොටස්කාරයන් බවට සලකා, ඒ අනුව පියවර ගත යුතු යැයි අප මුලින්ම පැවැසුවේ එබැවිනි. 

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, රට පුරා ඔඩු දුවා ඇති වංචාව සහ දූෂණය පිටුදැකීම අනිවාර්ය කොන්දේසියකි. වංචාව සහ දූෂණය ක්‍රියාත්මක වීමට හැම පහසුකමක්ම සලසා දෙන ක්‍රමවේදයක් පවතින රටකට ආර්ථික අතින් ගොඩ ඒම සිහිනයක් පමණි. 

වඩාත්ම ඛේදවාචකය වංචා සිදු වීම නොව ඒවාට වගකිව යුතු පුද්ගලයන් කිසිවකුත් නීතියේ රැහැනට හසු නොවීමය. එවැනි පුද්ගලයන්ට නිදහසේ රට ඇතුළේ සැරිසැරීමට පමණක් නොව රටින් බැහැරට යාමට ද ඉඩකඩ සැලසී තිබීමය. මේ තත්ත්වයට වහාම පිළියම් යෙදිය යුතුය.

එසේ පිළියම් යෙදෙන්නේ නැත්නම්, අපට වටහා ගැනීමට තිබෙන්නේ, මහා පරිමාණ වංචා යට බලවත් දේශපාලනඥයන් සිටින බවය. තෙල් සංස්ථාවේ කෝටි 900ක විශාල කුට්ටියක් එම බලවතුන්ගේ සාක්කු ඇතුළේ තැන්පත් වී ඇති බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. චූදිතයාට රටින් බැහැරට යාමට ඉඩ සලසා දී තිබීමෙන්ම එය පැහැදිලි වෙයි.

(***)