ශ්‍රී ලංකාව දැනට පවත්වාගෙන යන ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිය ලබන වසර පුරාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පතට හෙළිකර තිබිණි. 2022 සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනා මගින් මේ තීන්දුව ප්‍රකාශයට පත්වෙනු ඇතැයි ද මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් දේශීය නිෂ්පාදන වැඩි දියුණු කරගැනීම එම තීන්දුවෙන් අරමුණු කර ඇතැයි ද සඳහන්ය.
නිෂ්පාදන ආර්ථිකයක් තේමාව කර ගනිමින් ඉදිරිපත් කෙරෙන නොවැම්බර් අයවැයේ දී එවැනි තීන්දුවක් ගැනීම පලදායක බවට විවාදයක් නැත. ඊට හොඳම උදාහරණය සැපයූයේ පසුගියදා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට අධික සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කරමින් පනවන ලද සීමා කිරීම්ය. එම භාණ්ඩ අතර යට ඇඳුම් ගෙන්වීම සීමා කිරීම මෙරට දේශපාලන කරළියේත් ජනතාව අතරත් උණුසුම් කතාබහකට මුලපිරීය. එහිදී මතු වූ කාරණයක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
එපමණක් නොව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කටුනායක ඇඟලුම් කම්හල් පිහිටුවීම පිළිබඳ නිදහස් වෙළෙඳ කලාපය ආරම්භයේ දී එකල විපක්ෂය එම ව්‍යාපෘතිය හාස්‍යයට ලක් කළ හැටි සිහියට එයි.
බොහෝ දෙනා එම තීන්දුව හාස්‍යජනක ලෙස විවේචනය කළත් ඇඟලුම් කර්මාන්තය ආරම්භ කර දශක හතරක් ගෙවී ගොස් තිබුණ ද යට ඇඳුම පවා පිටරටින් ගෙන්වන තරමට අප රටේ නිෂ්පාදනය දුර්වල වී තිබීම කිහිප දෙනකුගේ හෝ කනස්සල්ලට හේතු වී තිබිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ව්‍යාපාරිකයන් පිරිසක් පමණක් නොව පොදු මහජනතාවගෙන් පිරිසක්ද ප්‍රශ්න කර තිබුණේ යට ඇඳුම් ගෙන්වීම සීමා කළේ ඇයි ද යන්න නොව යට ඇඳුමක් පවා නිෂ්පාදනය කරගත නොහැකි තරමට රටේ නිෂ්පාදනය දුර්වල වූයේ කාගේ වරදින් ද යන්නය. එය මෙරට නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ කටුක යථාර්ථය හෙළිකරන වැදගත්ම ප්‍රශ්නය වශයෙන් අපි දකිමු.
මෙරට මේ වනවිට ප්‍රබලතම විදේශ විනිමය උල්පත බවට පත්ව තිබෙන්නේ ඇඟලුම් කර්මාන්තයයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු රටම වැසී තිබුණත් තම නිෂ්පාදනය නොනැවැත් වූ ඇඟලුම් කම්හල් නොවන්නට මෙරට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය අතිශයෙන් බරපතළ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබිණි. රජය ද මේ කම්හල් පවත්වාගෙන යාමේ වැදගත්කම තේරුම් ගෙන ඒවා විවෘතව තබා නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගත් අතර එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබේ.
එසේ වුව ද මේ ගැටලුවේ කටුක යථාර්ථය වන්නේ ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමී රටක් වන ශ්‍රී ලංකාව ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම පාහේ පිට රටින් ගෙන්වා ගැනීම මත තවමත් රැඳී සිටීමය. රටේ සමස්ත අපනයනයෙන් සියයට 43ත් 48ත් අතර ප්‍රතිශතයකට හිමිකම් කියන රටේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 11න් බිලියන 5.3ක් පමණ උපයා දෙන ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වීම පිළිබඳ අප රටක් වශයෙන් ලජ්ජා විය යුතුය. මේ ගැටලුව කුමක්දැයි හඳුනා ගැනීම රජයේ වගකීමය. එහෙත් ඇඟලුම් කර්මාන්තය ආරම්භ කිරීමෙන් පසුව බලයට පත් කිසිම රජයක් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැත. ඊට හේතුව අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී හිමිවන කොමිස් ප්‍රමාණයට තිබෙන කෑදරකම බව පැහැදිලිය. යට ඇඳුම පවා ආනයනය කිරීම දෙස බැලිය යුත්තේ මේ කෝණයෙන් බව අපගේ වැටහීම වෙයි.
ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ වාණිජ මණ්ඩලයේ මහ ලේකම් හේමන්ත පෙරේරා මහතා අපගේ ලංකාදීපයට ලබාදුන් සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබුණේ බලයට පත් වූ කිසිම ආණ්ඩුවක් මේ කර්මාන්තයේ වටිනාකම එලෙසම නොදැක්ක බවය. බලයේ සිටි ආණ්ඩුවලට ඇඟලුම් කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම තේරුම් ගියේ පසුගිය අවුරුදු එකහමාරේදී බව ද එය තේරුණේ ද රට සතු විදෙස් විනිමය සම්පත හිඳෙන විට බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.
හේමන්ත පෙරේරා මහතා පෙන්වා දී තිබූ තවත් වැදගත්ම කරුණක් වූයේද ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ශ්‍රී ලංකාව තවමත් පිටරටින් ගෙන්වන බවය. වසර 40ක් විදෙස් අමුද්‍රව්‍ය මත රැඳුණා හොඳටම ප්‍රමාණවත් බවද ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමට අප යොමුවිය යුතු බව ද සඳහන් කරන ඔහු මේ කර්මාන්ත විප්ලවයට විදේශ ආයෝජන අත්‍යවශ්‍ය බව ද පෙන්වා දී තිබිණි. ශ්‍රී ලංකාවට පසුව ඇඟලුම් කර්මාන්තයට අත තැබූ සෙසු රටවල් මේ වනවිට එම ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන තිබෙන සුවිශාල දියුණුව ද ඔහු උදාහරණ වශයෙන් දක්වා තිබිණි.
2022 නිෂ්පාදන ආර්ථිකය තේමාව කරගත් අයවැය සැලසුම්වල දී මේ කාරණා පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරවනු ඇතැයි අපි සිතමු. එහෙත් ඊළඟ පරම්පරාව පිළිබඳව කල්පනා කරන රාජ්‍ය නායකයන්ට වඩා ඊළඟ මැතිවරණය පිළිබඳව කල්පනා කර සැලසුම් හදන රාජ්‍ය නායකයන් සිටින තුරු මේ යථාර්ථය සිහිනයක් පමණි. එවැනි විප්ලවීය වෙනසකට ජනතාවගේ පමණක් නොව දේශපාලන නායකයන්ගේ චින්තනයේද වෙනසක් සිදුවිය යුතුය. ලංකාවට යට ඇඳුම පවා ගෙන්වා ගත යුතු බවට වන වහල් මානසිකත්වයෙන් ගොඩ යා හැක්කේ එවැනි චින්තන වෙනසකින් පමණි.
(***)