යුරෝපා සංගම් අධිකරණ තීන්දුව අගය කළ යුතුයි


ලෝකය පාලනය කරන බහු ජාතික සමාගම් අතර ආයුධ සමාගම්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ලොව පුරා ගැටුම් අවුළුවා එමගින් තමන්ගේ මඩිය තරකර ගැනීම ආයුධ සමාගම්වල උපක්‍රමය වේ. ඒ වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ ආයුධ නිපදවා තමන්ගේ තැරැව්කරුවන් අතට පත් කිරීම පමණි. ත්‍රස්තවාදය ඔවුන්ට ‘‘සුරබිදෙනක්’’ වන්නේ ඒ අර්ථයෙනි.

ලෝකය දියුණුවත්ම ගැටුමට ඇති ඉඩකඩ අහුරණු ලැබීය. එමෙන්ම ගැටුමට එරෙහිව නව නීති සම්පාදනය කරනු ලැබීය. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 වසරේ සැප්තැම්බර් 28 වැනිදා සම්මත කරගත් යෝජනාව අතිශයින්ම වැදගත්ය.

ත්‍රස්තවාදයට මුදල් සැපයීම අරමුදල් රැස්කිරීම නැවැත්වීම එම යෝජනාවේ මූලික අරමුණු විය. මෙම යෝජනාවට යුරෝපා සංගමයේ ද අනුමැතිය හිමි වීම ලෝක ප්‍රජාව ලැබූ ජයග්‍රහණයකි. යුරෝපා සංගමයේ යුරෝපා කවුන්සිලය 2019 වසරේ ජනවාරි මාසයේ දී එල්ටීටීඊ සංවිධානය තහනම් කරනු ලැබුවේත් එම යෝජනාවේ හරය මත පදනම් වෙමිනි.

2009 මැයි 18 වැනිදා ප්‍රභාකරන්ගේ යුද්ධයේ අවි නිහඬ විය. ප්‍රභාකරන්ගේ වෙඩි වැදුණු නිසල සිරුර වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමක තිබී සොයා ගැනුණි. ඉන් වසර දහයකට පසුවත් යුරෝපා සංගමයේ, යුරෝපා කවුන්සිලය එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරනු ලැබුවේ ඇයි ද යන්න තුළ ත්‍රස්තවාදයේ ස්වභාවය හඳුනා ගැනීමේ ඉඩ තිබේ. යුරෝපා කවුන්සිලය සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වුව ද 2019 වසර වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමටත් සංවිධානාත්මකව නැගී සිටීමටත් එම සංවිධානයට හැකියාව තිබූ බවය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඩෙන්මාර්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක යුරෝපීය දේශපාලන උප ශාඛාවක් එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි ඉල්ලා යුරෝපා සංගම් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ මෑතකදීය. එහෙත් යුරෝපා සංගම් අධිකරණය එම අභියාචනය ඉවත දැමුවේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වුව ද 2019 වසර වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමටත්, සංවිධානාත්මකව නැගී සිටීමටත් එම සංවිධානයට හැකියාව තිබූ බව යුරෝපා කවුන්සිලය කරනු ලබන ප්‍රකාශය එයට හිමි බරින් ගත යුතුය. යුද්ධයක් යනු පෙරමුණු ගණනාවකින් සමන්විත වූවකි. 2009 වසරේ පරාජයට පත් වූයේ එහි යුද පෙරමුණ පමණි. අනෙකුත් බලඇණිවලට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබේ. ඔවුන් සිටින්නේ සුදුසු මොහොත එළැඹෙන තුරුය. ආයුධ සමාගම් ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබා දීමට ඉදිරිපත් වෙති.

යුද්ධ සමයේ දී බොහෝ පිරිසක් සරණාගතයන්ව වෙන වෙන රටවලට සංක්‍රමණය වූහ. උතුරේ එක් පවුලකින් එක් සාමාජිකයකුට විදේශගතවීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අනුග්‍රහය හිමිවිය. ඒ ඔහුගේ වැටුපෙන් අඩක් එල්ටීටීඊ සංවිධානයේ ගිණුමට බැර කළ යුතු බවට වූ කොන්දේසියට යටත්වයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූයේ ද එයය. යුද සරණාගතයන් ලෙස විදේශයට සංක්‍රමණය වූ පුද්ගලයන්ට ඒ ඒ රටවලින් අවශ්‍ය රැකවරණ හිමිවිය. ඔවුන්ට දැන් උවමනා වන්නේ විදේශයේ ගත කරන සුඛෝපභෝගී ජීවිතය දිගටම ගත කිරීමටය.

රට තුළ යුද්ධයක් නැති හෙයින් තවදුරටත් සරණාගතයන් නඩත්තු කිරීමේ වුවමනාවක් ඒ ඒ රටවලට නැත. එහෙයින් එම රටවල් සිදුකරනු ලබන්නේ එම සරණාගතයන් නැවත අප රටට පිටමං කිරීමට කටයුතු කිරීමය. මෙම මර උගුලෙන් ගැලවීමට නම් මෙරට යුදමය වාතාවරණයක් ඇති විය යුතුය. ඒ සඳහා සිදුවීම් අවශ්‍ය වේ. එම වුවමනාව ඉටු කිරීමට කැමැත්තෙන් සිටින පිරිස් ද මෙරටින් සොයා ගත හැකිය.

එහෙත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ මුදල්වලටය. විදෙස්ගතව සිටින්නන් එම මුදල් එවිය යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා ඇති තහනම ඔවුන්ට බාධාවක් වන්නේ එම අරමුදල් සොයා ගැනීමේදීය. තහනම ඉවත් කරන්නැයි ඔවුන් අධිකරණයට යන්නේ එහෙයිනි. ඇතැම්විට ඔවුහු ඒ සඳහා ඇති මානුෂිකවාදී හේතු ඉදිරිපත් කරති. යුද්ධය නිමා වී වසර 10 ක් ගතවී තිබියදීත් මෙසේ තහනම කුමකටදැයි සාධාරණ ප්‍රශ්නයක් නගති. එහෙත් ඒ සියල්ලෙහිම තිබෙන්නේ ලේ වැගිරීමකට අවශ්‍ය අඩුම කුඩුමය.

මේ රට සියවස් ගණනාවක් ආපස්සට ඇද දැමීමට තිස් වසරක යුද්ධය හේතු විය. මේ රටේ තරුණ තරුණියෝ දහස් ගණනින් මිය ගියහ. ප්‍රභාකරන්ගේ උම්මත්තක සිහිනයට පරම්පරා ගණනාවකට වන්දි ගෙවීමට සිදුවිය. යළිත් ඒ ශාපලත් යුගයට යා යුතු නැත. අවශ්‍ය මොහොත එළැඹෙනතුරු සීරුවෙන් බලා සිටින ත්‍රස්තවාදියාට ඉඩ දිය යුතු නැත. මුළු රටම, ජාතියම අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.

එසේ වුවද උතුරු - නැගෙනහිර ජනතා හදවත් තුළ කිසියම් කැකෑරීමක් ඇත්නම් එයට විසඳුම් ලැබිය යුතුය. ඔවුන් සමග සෘජු සාකච්ඡාවක් පැවැත්විය යුතුය.