රජයේ රෝහල්වල බේත් හිඟයෙන් දුක් විඳින්නෝ


මෙරට ජනයා මේසා විශාල දුකක් විඳින්නේ කවරාකාර පවක් කළ නිසා දැයි සොයා බැලිය යුතු තරම්ය. උපන් බිමට අසීමිතව ආදරය කරන මෙම ජනයා තම උපන් බිම ලොව උසස් බිම බවට පත්වනු ඇතැයි යන අත්නොහළ පරම අපේක්ෂාවෙන් පසුවෙති. එහෙත් එම ජනයාට පෙරළා ලැබෙන්නේ හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන මහා වේදනාවක් ජනිත කිරීමට සමත් මහා දුක් කන්දකි. 

කොළඹ ජාතික රෝහලේ සහ රට පුරා ඇති රෝහල්වල බරපතළ ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළ බව අප පුවත්පත නොබෝදා වාර්තා කළේ මෙයට දින කිහිපයකට එපිටදීය. එම අනාවරණය කිරීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු වී ඇති බවක් නොපෙනේ. නොඑසේ නම් එම පුවත පළවී සතියක ඇවෑමෙන්  ‘අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හම්බන්තොට මහ රෝහලේ නෑ’ යනුවෙන්  අප පුවත්පතට වාර්තා කිරීමට සිදුවන්නේ නැත. 

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියට අනුව හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් නොමැති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද යම් අවස්ථාවල හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය වසා දැමීමට ද සිදූ වු බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

හම්බන්තොට යනු විධායක ජනාධිපතිවරුන් දෙදෙනකු බිහිකළ දිස්ත්‍රික්කයකි. එමෙන්ම ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් බිහි කළ දිස්ත්‍රික්කයකි. අඩුම කාලයක් තුළ වැඩිම භෞතික සංවර්ධනයකට ලක්වූ දිස්ත්‍රික්කයකි. එහෙත් හම්බන්තොට මහ රෝහලේ වත්මන් තත්ත්වයෙන් එම ජනතාව විඳින දුක වටහා ගැනීමට විශේෂ මහන්සියක් ගත යුතු නැත. 

හම්බන්තොට මහ රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 38 දෙනකු රෝහල හැරගොස් ඇති බවත් ඉදිරියේදී තවත් වෛද්‍යවරුන් කීප දෙනකු විදෙස් ගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. හම්බන්තොට මහ රෝහලේ රෝගී අංශ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිස් පස් දෙනකු අවශ්‍ය වුවත් සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් තිස් දෙනකු පමණක් බවත් ඒ හේතුවෙන් ශල්‍යකර්ම මෙන්ම විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යෑම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙම මහ රෝහලට සාමාන්‍ය වෛද්‍යවරුන් 160 දෙනකු අවශ්‍ය වුවත් සිටින්නේ වෛද්‍යවරුන් 123ක් පමණක් බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 

‘ආරෝග්‍යා පරමා ලාබා’ හෙවත් නීරෝගී බව පරම ලාබය යැයි අදහන ජනතාවක් ජීවත් වන රටක මෙබඳු රෝහල් තිබිය හැකි දැයි යන්න ප්‍රශ්නයකි. මෙම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් කෙතරම් දුෂ්කරතාවටත් අසරණභාවයටත් පත්වනු ඇද්ද යන්න නොතකා සිටිය යුතු නැත. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහලේ තත්ත්වය මෙය නම් අනෙකුත් නගරවල පිහිටි රෝහල්වල මෙන්ම ප්‍රාදේශීය රෝහල්වල තත්ත්වය කෙතරම් රෝගිවී ඇද්ද යන්න සිතා ගැනීම අසීරු නැත. 

දරු ප්‍රසූතියකදී අධික රුධිර වහනය වැළැක්වීම සඳහා භාවිත කරන ඖෂධ කිසිවක් රෝහලේ නැති බවත් දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඉන්සියුලින් කිසිවක්ද රෝහලේ නොමැති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම හෘද රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිසිවක් ද නොමැති අතර හෘද රෝග සායන සඳහා භාවිත කරනු ලබන අතවශ්‍ය ඖෂධ වර්ග හිඟ බවද එම රෝහලේ ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 

මෙහි සටහන් වන්නේ අප ප්‍රවෘත්තියෙහි සඳහන් තොරතුරුවලින් අත්‍යවශ්‍ය තොරතුරු ස්වල්පයක් පමණි. මෙවැනි ස්ථානයක් රෝහලක් ලෙස හැඳින්විය හැකිද යන්න මගහැර යා යුතු නැති ප්‍රශ්නයකි. මිනිසාට ආහාරපාන හැරුණු විට අත්‍යවශ්‍ය අනෙක් දේ වන්නේ ඖෂධය. ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ලෙඩක් තමයි’ යනුවෙන් සමාජය විශ්වාස  කරන්නේ එහෙයිනි.

ඖෂධ නොමැතිවීම වෛද්‍යවරුන් නොමැතිවීම එම ජනයාගේ මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ කිරීමකි. ජනයා එබඳු අඳුරු ප්‍රපාතයට තල්ලු කිරීමට පාලකයන්ට කිසිදු අයිතියක් නැත. එමෙන්ම මෙය හම්බන්තොට මහ රෝහලේ කතාව පමණක් නොව මුළු රටේම රෝහල්වල  පොදු තත්ත්වය බවද අවධාරණය විය යුතුය.

(***)