රට අවුළුවා දේශපාලන වාසි ගන්නෝ


නිදහසින් පසු ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ පීඩාවෙන් අත්මිදීමට දැන් ශ්‍රී ලංකාව සමත් වී සිටී. පෝලිම් යුගය අවසන් වී, අවිනිශ්චිතතාවෙන් අත්මිදී, එදිනෙදා ජීවිතය පිළිබඳව ස්ථාවර බවකින් ද අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ගෙන් ද යුක්තව යළිත් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගී තිබේ.

ඒ අතරම තවත් වෙනසක් ද අත්දැකීමට  ශ්‍රී ලාංකිකයන්ට හැකි වී ඇත. තැන තැන එක් එක් පිරිස්වල අවශ්‍යතා මත පැවැත්වූ උද්ඝෝෂණ ද ඇතැම් වෘත්තීය සමිති කුමන හෝ ඉල්ලීමක් පිට දමා පවත්වාගෙන ගිය වැඩවර්ජන සහ අකුරට වැඩ කිරීම් ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිසුන් කොළඹට කැන්දන් ආ උද්ඝෝෂණ ද දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. 

විපක්ෂ දේශපාලන පක්ෂ හා ඇතැම් සංවිධාන විසින් අපේක්ෂා කළේ රට තවදුරටත් අර්බුදවලට ගොදුරු වී විනාශ වී යනු ඇතැයි යන්නයි. එහෙත් ඒ වෙනුවට පෙර තිබූ තත්ත්වයටත් වඩා සාමකාමී බවක්, අර්බුදවලින් තොර බවක් රට තුළ දකින්නට ලැබේ. 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෑතදී ප්‍රකාශ කළේ මෙම තත්ත්වය පුදුමසහගත එකක් බවයි. දැන් අමෙරිකානු තානාපති ජූලි චන්ග් පෙර මෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නිවේදන නිකුත් කරන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ රජය විවේචනය කිරීම නවතා දමා තිබේ. අන්තරේ ද කිසිවක් නොකර රජයට සහාය දෙන බවක් පෙනෙන්නට තිබේ’ යන අදහස විමල් වීරවංශ මහතා කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත. 

කොවිඩ් සහ ආර්ථික අර්බුදයට පෙර යුගය පිළිබඳව ආවර්ජනය කළහොත් තැනින් තැන ගොවි විරෝධතා,  රෝහල් වැඩවර්ජන, GMOA ක්ෂණික වැඩවැරුම් සහ මගීන් මගට ගෙන ගොස් දුම්රිය නවත්වා බැස ගොස් වර්ජන හා එකතු වූ දුම්රිය රියදුරන් ආදිය පිළිබඳව බොහෝ දෙනකුට මතක්වනු ඇතැයි සිතමි.

අද වෙනස වන්නේ දරුණුම ආර්ථික අර්බුදය මැඩ පවත්වා ඊට පෙර සමහර අය විසින් මවා තිබූ හැමදාම අවුල් චිත්‍රය’ ද ඉවත්කර ඇති බවක් පෙනෙන්නට තිබීමයි. ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳී නැත. එසේ වුවද ගමන් බිමන් යා හැකිය. දරුවෝ පාසල් යති. විභාග පැවැත්වේ. ප්‍රතිඵල නිකුත් වේ. විශ්වවිද්‍යාල නැවත වරක් විවෘත වී ඇත. සිනමා ශාලා ක්‍රමයෙන් රෑ මැදියම ඉක්මවා යනතුරු පැවැත්වෙන අවසන් දර්ශනය නැවත ආරම්භ කර තිබේ. රෑ මැදියම ඉක්මවා  යනතුරු සංගීත සංදර්ශන පැවැත්වීමට දැන් පුළුවන.

මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ‘රට ගොඩ දාන්න රනිල්ට විතරයි පුළුවන්’ යන මතය මහජනතාවගෙන් ප්‍රකාශ වීමට පටන්ගෙන තිබීමයි. රටේ අද ඇතිව තිබෙන හොඳ තත්ත්වය අත්විඳින ජනතාව ඒ පිළිබඳ සතුටට පත්ව සිටිති. එසේ වුවද විපක්ෂයට, ශ්‍රී ලංකාවට එරෙහි විදේශ සංවිධානවලට සහ පුද්ගලයන්ට  සහ ශ්‍රී ලංකාවේ අවාසිදායක තත්ත්වය තමන්ට වාසි ලබා ගැනීම සඳහා භාවිතා කරන පිරිස්වලට එය සතුටුදායක තත්ත්වයක් නොවේ. කවර හෝ උපායමාර්ගයකින් හෝ උපායකින් එම තත්ත්වය බිඳ දමා යළිත් රට අර්බුදයක් කරා කැන්දාගෙන යෑම එවැනි පිරිස්වල සහ සංවිධානවල අභිප්‍රාය වී ඇත. එබැවින් රජයට එරෙහිව කවර හෝ අවියක් භාවිතා කිරීමට ඔවුහු පසුබට නොවෙති.

රටේ දැන් දකින්නට ලැබෙන්නේ අඛණ්ඩව ඉදිරියට යන සුබදායක තත්ත්වයකි. තවමත් මැසිවිලි නැගෙන්නේ සෞඛ්‍යය අංශය සම්බන්ධයෙන් පමණි. එයට බොහෝ දුරට හේතු වී ඇත්තේ කොරෝනා යුගයේදී රජයේ රෝහල්වල ආරම්භ වූ  ඖෂධ හිඟය පිළිබඳ ගැටලු‍වයි. වෙළෙඳපොළේ බඩු ගන්නා ආකාරයට සෞඛ්‍ය අංශයට අවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගත නොහැක. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර තිබිය යුතුය.

දේශීය ඖෂධ නියාමන නීති රීතිවලට අනුකූල විය යුතුය. එසේ වුවද ශ්‍රී ලංකාවට දැන් බොහෝමයක් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට සිදුව ඇත්තේ ඉන්දියානු වෙළෙඳ ණය පහසුකම් (indian Credit Line) යටතේය. ඉන්දියාව ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන රටකි.

ඉන්දියානු ණය පහසුකම් ප්‍රදානය කර ඇත්තේ එරටින් භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් පියවා ගැනීම සඳහායි. එබැවින් එරට නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීමට අපට සිදුව ඇත. එහිදී ප්‍රමිතිය, සැපයුම්කරුවන් තෝරා ගැනීම සහ මිල සම්බන්ධයෙන් විවිධාකාර ගැටලු පැන නැගීමට ඉඩ තිබේ. කෙසේ වුවද රෝහල් සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට මෙන්ම ඖෂධ හිඟය පියවා ගැනීමට ද ඉතා කෙටි කලෙකින් රජයට හැකි වනු ඇතැයි සිතිය හැක. 

රජය විසින් අඛණ්ඩව මෙම සාමකාමී තත්ත්වය පවත්වාගෙන ගිය හොත් එයින් දේශපාලනික බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වනු ඇතැයි අදහස් කරන පිරිස දැන් වියරු වැටී ඇති බවක් පෙනෙන්නට තිබේ. එබැවින් හැම අවස්ථාවකදීම හැම දේකම හිලක් දැකීමටත් වැරැදි තොරතුරු නිෂ්පාදනය කර ඒවා බෙදා හැරීමටත් රජයට එරෙහිව කුමන හෝ විරෝධතාවක් සංවිධානය කර එය ලෝකයට පෙන්වීමටත් ඔවුන් උත්සාහ කරන බව පෙනේ. කලකට පසු පසුගිය සතියේ හදිසියේම දුම්රිය වර්ජනයක් පටන්ගෙන තිබුණි. රජයේ රෝහල්වල ඖෂධ හිඟය අද ඊයේ ඇතිවූවාක් මෙන් පෙන්වමින් රජයට එරෙහි වීම සඳහා ජනතාව පොළඹවා විරෝධතා සංවිධානය කරන බව පෙනේ. 

ඉහතින් සඳහන් කරන ලද්දේ රජයට විරුද්ධ පිරිස් විසින් මෙහෙය වන ‘අසහනයේ ප්‍රතිඵල’ ලෙස හැඳින්විය හැකි ක්‍රියා පිළිබඳ විස්තරයක් පමණි. ඒ අතරම රජය ශක්තිමත් වීම සමගම දැන් රජයට හිතවත් බව පෙන්වන පිරිසක් ද අලු‍තින් බිහි වෙමින් පවතී. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු බොහෝ දෙනකු ප්‍රකාශ කළේ ජනවරමක් නැති ඔහුට රට පාලනය කිරීමට නොහැකි බවය. අරගලයට සහාය දීම සඳහා ප්‍රථම වතාවට වැඩවර්ජන සහ පෙළපාලි සංවිධානය කළ රාජ්‍ය පරිපාලන නිලධාරීහුද වූහ. 

කෙසේ වුවද ජනාධිපතිවරයා රට ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් යළිත් වරක් සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරවීමට පටන් ගැනීමෙන්  ඔහු ලබාගෙන ඇති ජනප්‍රියතාව හේතුවෙන් රනිල් වික්‍රමසිංහ රජයක් තවත් බොහෝ කලක් පවතිනු ඇතැයි ඔවුන්ට වැටහී තිබේ.

රනිල් බලයට පත්වන විට සහාය දීමට කිසිවකු නොසිටිය ද දැන් බොහෝ දෙනෙක් රජයට සහාය දීමට ඉදිරිපත් වී සිටිති. ඔවුන්ට දැන් තනතුරු අවශ්‍යය. ඒ සඳහා කළ යුත්තේ මේ දක්වා රජයට සහාය දක්වමින් රජය මේ තත්ත්වයට ගෙන ඒම සඳහා විශාල කැපවීමක් කළ පිරිස් ඉවත් කර එම තනතුරු ඩැහැ ගැනීම සඳහා ක්‍රියාත්මක වීමය. සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක ව්‍යාපාර තුළ මෙවැනි අවුල් කරන්නන් ද සිටින බව පෙනී යයි. 

රට පිළිබඳව, රජය පිළිබඳව, රජයේ ආයතන පිළිබඳව අයහපත් තොරතුරු ප්‍රචාරය  කිරීම තුළින් පමණක් සමහර මාධ්‍යවලට ජීවත් වීමට හැකියාව ලැබේ. රජය හොඳ වැඩ කිරීම එම මාධ්‍යවලට කුමන හෝ වටිනාකමක් ගෙන දෙන්නේ නැත. එබැවින් එම ජනමාධ්‍ය ආයතනද සමාජ මාධ්‍ය ජාලා ද තමන්ට ලැබෙන ඉඩ කඩ රජයට එරෙහිව ප්‍රචාර සඳහා මුළුමනින්ම වුව වෙන් කිරීමට සූදානම්ව සිටී. 
එසේ වුවද ගැටලුව වී ඇත්තේ එවැනි මාධ්‍ය ආයතනවලට රජය අප්‍රසාදයට පත්කළ හැකි පුවත් සපයා ගැනීමේ අපහසුතාවයි. එහෙත් ඇතැම් මාධ්‍යවලට එය ප්‍රශ්නයක් නොවේ.

ප්‍රවෘත්ති නැතිනම් ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමට ද මාධ්‍යවේදීන්ට හැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර උසස් අධ්‍යාපන මණ්ඩලයක් පිහිටවන බවට වූ ප්‍රවෘත්තිය මෑතදී එසේ නිෂ්පාදනය කළ පුවතකි. එම ප්‍රවෘත්තිය නිෂ්පාදනය කර ඉන් පසුවද ඊට අදාළ වන අයුරින් තවත් වැරැදි තොරතුරු ද නිෂ්පාදනය කර පිට කිරීමෙන් පසු දැන් එය බොහෝ අංශවල කැළඹීමක් ඇති කිරීම සඳහා හේතු වී ඇත.

විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විශේෂ කණ්ඩායමක් ලෙස සලකා වැටුප් නියම කිරීම ආදී කටයුතු මේ දක්වා සිදුකළ නමුදු එම විශේෂ තත්ත්වය ඉවත් කිරීම ද ප්‍රතිපාදන කොමිසම අහෝසි කිරීමේ එක හේතුවක් බව ප්‍රකාශ කර තිබේ. මේ එක ප්‍රවෘත්තියක් නිෂ්පාදනය කර ඊට අදාළ වන සේ තවත් බොරු ගොන්නක් නිෂ්පාදනය කරන ක්‍රියාවලියේ එක නිදර්ශනයක් පමණි. ඉදිරියේ දී මෙවැනි බොරු නිෂ්පාදනය කිරීමට විශාල වශයෙන් ප්‍රයත්න දරනු ඇතැයි සිතිය හැක.

තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට හැකි වුවත් රටේ පවතින ජනවාර්ගික අර්බුදය විසඳුමට දිගු කාලීන විසඳුමක් ලබා ගැනීමට තවමත් නොහැකි වී ඇත. විවිධ ජන කොටස් අතර සංහිඳියාවක් ඇති කිරීම අවශ්‍යම කරුණකි. රනිල් වික්‍රමසිංහ මහතා අතීතයේදී ද සංහිඳියාව සඳහා තම දේශපාලන ජීවිතය ඔට්ටු තැබීමට සූදානම් විය. අද ද ඔහු ඒ සඳහා සූදානම්ය. පසුගියදා උතුරු නැගෙනහිර ප්‍රශ්න පිළිබඳ විසඳුම් සෙවීමට කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව එයට නිදහසුනකි.

එහිදී පෙන්නුම් කළේ මෙම ගැටලු‍වට විසඳුම් ලබා දීමට අද ද තම දේශපාලන ජීවිතය කැප කිරීමට ඔහු සූදානම්ව සිටින බවයි. එහෙත් එයට සහභාගී වූ අනෙක් කිසිවකුට විසඳුමක් අවශ්‍ය නොවේ. විසඳුමක් ලැබුණහොත් එම දේශපාලන පක්ෂවලට පැවතුමක් නැත. ප්‍රශ්න නොවිසඳා අර්බුද තියුණු මට්ටමකට පත් කිරීම ඔවුන්ගේ අරමුණ බව පෙනී යයි.

ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ ප්‍රශ්න විසඳන නායකයන් සමඟය. ප්‍රශ්න නොවිසඳීම තුළින් බලය ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිස්වලට මෙය නොතේරේ. ඔවුන්ට අවශ්‍ය රට ගිනි තබා රටේ බලය ලබා ගැනීමටය.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර