රට කළඹන ආණ්ඩුවේ බදු ගැසීම්


2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද සංශෝධිත අයවැය ලේඛනය අනුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2094 ක් ලෙසත් මුළු වියදම රුපියල් බිලියන 4427 ක් ලෙසත් ඇස්තමේන්තුගත කොට තිබිණි. එහෙත් 2022 වසරේ පළමු මාස 10 ඇතුළත රජයට ඉපැයීමට හැකිව තිබුණේ රුපියල් බිලියන 1588 ක් පමණි.

සමාන්තර කාලය සඳහා මුළු රාජ්‍ය වියදම සටහන් වී තිබුණේ රුපියල් බිලියන 3235 ක් වශයෙනි. මෙම දත්ත විශ්ලේෂණය කර බලන කල්හි, එම වසරෙහි අවසානය වන විට රජයේ සැබෑ ආදායම ඇස්තමේන්තු ගත කරන ලද ආදායමට වඩා රුපියල් බිලියන 200 කට අධික ගණනකින් අඩු විය හැකි අතර රාජ්‍ය වියදම අපේක්ෂිත අගයට වඩා ඉහළ ගොස් ඇතැයි සිතිය හැකිය.

රාජ්‍ය ආදායම්හි වැදගත්ම කොටස වන බදු ආදායම 2022 වර්ෂයේ පළමු මාස 10 ක කාලයේ දී රුපියල් බිලියන 1403 ක් ලෙස වාර්තා විය. එම වසරේ අවසන් මාස කිහිපයේ දී රජයට මාසිකව රුපියල් බිලියන 120 ක පමණ ආදායමක් හිමිව තිබේ. එහෙත් මාසික වියදම (ණය වාරික ගෙවීම හැර) රුපියල් බිලියන 550 ඉක්මවා තිබිණි. මෙවැනි සන්දර්භයක රජය විසින් අඛණ්ඩව දේශීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් හා තිළිණපත් මගින් ණය ලබා ගන්නා ලදී. එබැවින් එම වසරේ දේශීය ණය වාරික ගෙවීම් ද ඇතුළත්ව මුළු රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුහුණත වටිනාකම රුපියල් බිලියන 10172 ක් වන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සලකා බලන කාලයේ දී වෙළෙඳපොළට ඉදිරිපත් කර එමගින් රුපියල් බිලියන 9113 ක පමණ ණය ලබා ගැනීමට සිදු විය. ඊට අමතරව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් ණය ලබා ගන්නා ලද අතර ඉන්දියාව, චීනය වැනි රටවලින් ද්වීපාර්ශවික ණය ගැනීම් ද 2022 දී සිදු කරන ලදී.

දේශීය ණය ගැනීම් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ පොලි අනුපාතික වේගයෙන් ඉහළ ගිය අතර අධි උද්ධමනය, විනිමය අනුපාතිකයේ පිරිහීම, බලශක්ති අර්බුදය ආදී හේතු ගණනාවක් කරණ කොට ගෙන දේශීය නිෂ්පාදන කඩා වැටිණි. ඒ අනුව, 2022 වර්ෂයේ අවසන් කාර්තුවේ දී කෘෂිකාර්මික අංශයේ කඩා වැටීම සියයට 8.7 දක්වාත් කාර්මික අංශයේ කඩා වැටීම සියයට 21.2 දක්වාත් සේවා අංශයේ කඩා වැටීම සියයට 2.6 දක්වාත් ඉහළ ගොස් තිබිණි. මෙවැනි පසුබිමක රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් සෘජු බදු මෙන්ම වක්‍ර බදු ද වැඩි කිරීමට පියවර ගත්තේය.

එබැවින් මධ්‍යම බැංකුවේ සිට අනෙකුත් ක්ෂේත්‍ර කරා විහිද ගිය වෘත්තිකයන්ගේ උද්ඝෝෂණ රැල්ලක් මේ දිනවල දැකිය හැකිය. එසේම වෘත්තීයවේදීන් විශාල පිරිසක් මේ වන විටත් රට අතහැර ගොස් ඇති අතර තවත් පිරිසක් රට හැර යෑමට සූදානමින් සිටිති. එම පිරිස අතර විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, බැංකු කළමනාකරුවෝ සහ විශ්වවිද්‍යාල ඇදුරෝ ද සිටිති. තවද දේශීය ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාර වසා දමමින් සිටිති. ඔවුන්ගෙන් ඇතැමුන් වෙනත් රටවලට ගොස් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වේ.

2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයට අනුව, ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3415 කි. එයින් රුපියල් බිලියන 3130 ක් බදු ආදායම් ලෙස එකතු කර ගැනීමට අපේක්ෂිත අතර 2022 වසරේ දී අපේක්ෂිත සමස්ත බදු ආදායම සමග සැසඳීමේ දී එය රුපියල් බිලියන 1278 ක වැඩිවීමකි. 2023 සඳහා අපේක්ෂිත බදු ආදායමෙන් රුපියල් බිලියන 912 ක් ආදායම් බදු වශයෙන් එකතු කර ගැනීමට අපේක්ෂා කරන අතර එම අගය පෙර වසරේ ඇස්තමේන්තුගත ආදායම් බදු ආදායමට වඩා රුපියල් බිලියන 354 ක වර්ධනයකි. ඊට අමතරව භාණ්ඩ හා සේවා බදු මගින් රුපියල් බිලියන 1763 ක ආදායමක් අපේක්ෂිත අතර එම අගය 2022 වසරේ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා බදු ආදායමට වඩා රුපියල් බිලියන 791 ක වැඩිවීමකි. 

2023 වර්ෂය සඳහා විදේශ වෙළෙඳාම මත වන බදු මගින් රුපියල් බිලියන 4055 ක ආදායමක් අපේක්ෂා කරන අතර එම අගය 2022 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 133 ක වැඩිවීමකි. 2022 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 1852 ක් වුවත් එම අගය කරා ළඟා විය නොහැකි තත්ත්වයක් රටේ පැවතිණි. මේ සන්දර්භයේ 2023 වසර වෙනුවෙන් අපේක්ෂිත බදු ආදායම වන රුපියල් බිලියන 3130 ලබා ගත හැකි ද යන්න අවිනිශ්චිතය.

එබැවින් සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඉහළ බදු අනුපාත පනවා ඇති බව පෙනේ. 2022 දී රුපියල් 25056 ක් වශයෙන් පැවති ඇස්තමේන්තුගත වාර්ෂික ඒකපුද්ගල සෘජු බදු ප්‍රමාණය 2023 වර්ෂයේ දී රුපියල් 47014 දක්වාත් වාර්ෂික ඒකපුද්ගල වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 58105 සිට රුපියල් 99018 දක්වාත් ඉහළ යෑමට නියමිතය. 2022 දී රුපියල් 83161 ක් වූ ඒකපුද්ගල වාර්ෂික මුළු බදු ප්‍රමාණය 2023 දී රුපියල් 139732 දක්වා ඉහළ යනු ඇත. මේ අනුව, රටේ සාමාන්‍ය පවුලක් එක් දිනක දී ගෙවන බදු ප්‍රමාණය රුපියල් 1553 ක් වන අතර එය 2022 ට සාපේක්ෂව සියයට 68 ක වර්ධනයකි.

රාජ්‍ය වියදම්වල වර්තන සහ ප්‍රාග්ධන වියදම් වශයෙන් කොටස් දෙකක් තිබේ. මෑත කාලයේ දී ප්‍රාග්ධන වියදම්වලට සාපේක්ෂව වර්තන වියදම් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇති ආකාරයක් දැකිය හැකිය. වර්තන වියදම් ප්‍රධාන ආකාර 4 කට සිදු කරනු ලැබේ. රාජ්‍ය සේවක වැටුප් (භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්), රාජ්‍ය ණයවල පොලී, කුටුම්භ සහනාධාර සහ සෙසු භාණ්ඩ හා සේවා සඳහා වන ගෙවීම් යනාදිය ඊට අයත් වේ. 2023 අයවැයට අනුව, රජයේ වර්තන වියදම් රුපියල් බිලියන 4609 ක් ලෙස දක්වා ඇති අතර එමගින් සියයට 22 ක් වෙන් කර ඇත්තේ වැටුප් හා වේතන වෙනුවෙනි. එහෙත් රාජ්‍ය ණයවල පොලි ගෙවීමට මුළු රාජ්‍ය වර්තන වියදමෙන් සියයට 48 ක් වෙන් කර ඇති අතර සහනාධාර සඳහා සියයට 24 ක්ද සෙසු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සියයට 6 ක් ද වෙන් කොට ඇත. මෙයින් ගම්‍ය වන්නේ සමස්ත වර්තන වියදමෙන් අඩකටත් වඩා මුදලක් වැය කිරීමට සිදුව තිබෙන්නේ රාජ්‍ය ණයවල පොලී ගෙවීම සඳහා බවය.

රටේ ආර්ථිකය සංකෝචනය වී ඇති තත්ත්වයක රජය සිදු කර ඇත්තේ ජනතාව මත බදු බර පටවා ඒ ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමය. 2022 වසරේදී මෙරට ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක් වූ අතර වාර්තා වූ අධිඋද්ධමනය හේතුවෙන් පුද්ගල ආදායම්වල මූර්ත අගය ද පහළ ගියේය. ව්‍යාපාරික අංශය මත ද සියයට 30 ක් වැනි ඉහළ බදු බරක් පටවන ලදී. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රජයකට පහසුවෙන් ආදායම් වැඩි කර ගැනීමට නොහැකිය. සංකෝචනය වන ආර්ථිකයක ඉහළ බදු බරක් පැනවීමෙන් සිදු වන්නේ එම ආර්ථිකය තවදුරටත් හැකිළීමය.

මෙවැනි අවස්ථාවක රජය කළ යුතු වන්නේ රාජ්‍ය බදු ආදායම් ඉහළ නංවා ගැනීමට ක්‍රියා කරනවා වෙනුවට බදු නොවන ආදායම් ඉහළ නංවා ගැනීමට පියවර ගැනීමය. ඊට අදාළව අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ආර්ථික න්‍යායේ පවතියි. ඒ අනුව, බදු නොවන ආදායම් වැඩි කර ගත හැකි අවස්ථා කිහිපයක් තිබේ. රාජ්‍ය සේවයේ දී අල්ලස් හා දූෂණ වශයෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් වෙත ලැබෙන මුදල් රාජ්‍ය ආදායම් බවට පත් කර ගැනීමේ හැකියාවක් තිබේ. ඒ සඳහා කළ යුත්තේ රාජ්‍ය සේවා පහසුවෙන් ලබා දී ඒ වෙනුවෙන් යම් මුදලක් අය කර ගැනීමය.

රාජ්‍ය බදු ආදායම් ඉහළ නංවන්නේ නම් එය ප්‍රශස්ත මට්ටමකින් කිරීම ද අවශ්‍ය වේ. 2019 වන විට රටේ ඉහළ ආදායම් බදු අනුපාතිකයක් පැවතිය ද ඊට එරෙහිව කිසිදු විරෝධයක් මතු වූයේ නැත. එවක දී ඉහළ උද්ධමනයක් නොපැවතීම ඊට හේතු වූ අතර එම ඉහළ ආදායම් බදු ජනතාව විසින් පිළිගන්නා ලද ස්වභාවයක් ද පෙනෙන්නට තිබිණි. එහෙත් පසුව එම වර්ෂයේදීම ආදායම් බදු අනුපාත පහත හෙළන ලදී. කෙසේ වෙතත් ඉන්පසු ආර්ථිකය කඩාවැටීම සහ උද්ධමනය ඉහළ යෑම හමුවේ ආදායම් බදු අනුපාත වැඩි කිරීම ජනතාවට දරා ගත නොහැකිය.

මෙවැනි සන්දර්භයක සෘජු බදු වැඩි කරන්නේ නම් එය සාධාරණව සිදු කළ යුතුය. එසේම බදු දැලට හසු නොවන පුද්ගලයන් සහ ව්‍යාපාර ඊට හසු කර ගැනීමට පියවර ගැනීම ද වැදගත්ය. එමගින් ද රාජ්‍ය ආදායම් වැඩි කර ගත හැකිය. මෙවැනි පියවර අනුගමනය කරමින් බදු නොවන ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ජනතාව මත අධික බදු බරක් පටවමින් කඩා වැටෙමින් පැවති ව්‍යාපාර මත ඉහළ බදු අනුපාතයක් පැනවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයම දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. මෙහි දිගු කාලීන ප්‍රතිඵල භයානක විය හැකිය.

රජය මෙපරිදි බදු අනුපාත ඉහළ දමමින් ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද ණය පහසුකම ලබා ගැනීමට අදාළ දේශීය යාන්ත්‍රණයක් ගොඩ නැගීම ඉලක්ක කරගෙනය. එහෙත් එම ආයතනය විසින් සාමාන්‍ය ජනතාව මත විශාල බදු බරක් පැටවිය යුතු යැයි ශ්‍රී ලංකා රජයට දන්වන ලදැයි අනාවරණය වී නොමැත. අවශ්‍ය යැයි අවධාරණය කර තිබෙන්නේ 2024 වන විට රටේ ප්‍රාථමික ශේෂයෙහි අතිරික්තයක් ජනනය කර ගැනීමය. ඒ සඳහා රාජ්‍ය වියදම් පාලනය මගින් පියවර ගත හැකිය. එසේම පහළ බදු අනුපාතිකයක් විශාල පිරිසක් ආවරණය වන පරිදි පැනවීම ඔස්සේ රාජ්‍ය ආදායම් ඉහළ නංවාලීමට ද පිළිවන. එසේවුවත් එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් ආර්ථික හා සමාජමය වශයෙන් කැළඹීමක් උද්ගතව තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ

සටහන - උපුල් වික්‍රමසිංහ