“අපේ අර්ථසාධකේ ඉවරයි”, “ලංකාවේ බැංකු ටිකත් හෙට හවස වෙනකොට කඩා වැටෙනවා” වැනි ප්‍රකාශ මේ දිනවල නිතර නිතර ඇසෙමින් තිබේ. විශේෂයෙන් ම විපක්ෂය දෙසින් මෙම කතා ඇසෙන්නේ ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබෙන පසුබිමකය.
මේ වැනි ම ප්‍රකාශ පසුගිය වසරේ ආර්ථික අර්බුදය පැමිණි විට ද මේ විපක්ෂය විසින් ම කරමින් තිබෙනු අපට ඇසුණේ ය. එම ප්‍රකාශ මීට වඩා භයානක ද විය. “ලංකාවට ඩොලර් එක සතයක් එවන්න එපා” යැයි ද එවක ඇතැම්හු කීහ. මේ අතර, විපක්ෂයේ මෙන්ම ඊනියා අරගලයේ හඬ ද වූයේ ණය ගෙවීම් පැහැර හැර තමාට ඉන්ධන හා ගෑස් ලබාදෙන ලෙස ය. වෙනත් වචනවලින් කිවහොත්, රට බංකොලොත් කර තමාගේ අවශ්‍යතා සපුරන ලෙස ය.
“ලංකාව බංකොලොත් කළා” යනුවෙන් අද නිතර ඇසෙන ප්‍රකාශයේ නියම තේරුම කුමක්ද? එනම් ලංකාව ණය ගෙවීම් පැහැර හැරීම ය. වෙනත් බංකොලොත්වීමක් ගැන අප දන්නේ නැත. ඒ අනුව, මේ රට බංකොලොත් කිරීම සඳහා අවශ්‍ය ඉල්ලීම මෙන්ම, මානසික පරිසරය ද නිර්මාණය කළේ එවක විපක්ෂය හා ඊනියා අරගලය විසින් බව අවධාරණය කළ යුතු ය.
සංචාරක කර්මාන්තය බිංදුවට වැටී තිබූ කාලයක, විදේශ ප්‍රේෂණ අඛණ්ඩව අඩු වෙමින් තිබූ අවස්ථාවක, රුසියා-යුක්‍රේන යුද්ධය නිසා ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලය ඩොලර් 140 පසු කරද්දී, ගෑස් මිල ලෝක වෙළඳපොළේ පසුගිය වසර පහකට පසු ඉහළ ම මිල ගනිද්දී, නැව් ගාස්තු ඉතිහාසයේ වැඩිම අගයට එද්දී, කොරෝනා වසංගතයෙන් ජනතාව බේරනු වස් සෑම අයකුට එන්නත ද දී, සියලු කොරෝනා රෝගීන්ට නිරෝධායන පහසුකම් ද නොමිලේ බඩු මල්ලක් ද දී, රාජ්‍ය සේවකයන්ට ගෙදර තියාගෙන පඩි ද ගෙවා, ඔවුන්ට රුපියල් පන්දහසක් වැඩිපුර වැටුපට ද එකතු කළේය.
ආබාධිතයන්ට, වකුගඩු රෝගීන්ට, රැකියා අහිමිවූවන්ට රුපියල් පන් දහස බැගින් හතර සැරයක් ම ගෙවා, ගොවීන්ගේ අස්වනු ද මිලට ගෙන එය නොමිලේ ජනතාවට ම ලබා දී, රටේ ණය ද ගෙවා, ඉන්ධන හා ගෑස් ද වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ද දුෂ්කර අභියෝග මැද ආනයනය කොට ලබාදුන් ගෝඨාභය ආණ්ඩුවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂට “කපුටු කාක්” කියා පන්නා ගනිමින් ම ඉහත පිරිස්වල ඉල්ලීම වූයේ රට බංකොලොත් කර හෝ තම අවශ්‍යතා සපුරන ලෙස ය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැම විටම ප්‍රකාශ කළේ ලංකාව ලබාගත් ණය ලංකාවට ගෙවා දැමිය හැකි බවත් රට බංකොලොත් කිරීමේ ආර්ථික අර්බුදය සඳහා විසඳුම් සෙවීමේ දී දුරින් හෝ සලකා බලන විකල්පයක් පවා නොවන බවයි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව හෝ නොවිමසා හදිසියේ ගත් රට බංකොලොත් කිරීමේ තීරණය නිසා අද අප මෙතැනට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස තාමත් ලංකාව නමැති නෞකාව ගමන් කරමින් සිටින්නේ අවිනිශ්චිත මුහුදුකරයක ය. ඉදිරියෙන් කුමන අනතුරු පැමිණිය ද අපට මේ මග හැර වෙනත් මගක් ඇත්තේ ද නැත. ඒ අනුව, සියලු වෙර යොදා මේ ගමන සුරක්ෂිත ගොඩබිමකින් අවසන් කළ යුතුම ය.
වත්මනෙහි මහත් කතාබහට බඳුන් වී තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවයි. එක් අතකින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහය සිදුවෙමින් පවතින අතර, අනෙක් අතින් දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අරඹා තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද පසුගිය සෙනසුරාදා දින ඒ සඳහාම වූ ඡන්ද විමසීමෙන් ලැබී තිබුණි. මෙම ලිපියේ අපගේ අරමුණ ණය ප්‍රතිව්‍යුගහත කිරීම යන්න තේරෙන බසින් පැහැදිලි කිරීමයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? සරලව ම කියතහොත්, අපට ගෙවාගත නොහැකි බව සිතන ණය කපා හැර ගැනීම හෝ ගෙවීමට ඇති කාලය දිගුකර ගැනීම ය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා අප විසින් අපගේ ණයහිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අප ලබාගත් ණයෙන් කොටසක් හෝ අවම වශයෙන් පොලිය හෝ කපා දමා සහනයක් ලබාදෙන ලෙස ය. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, විවිධ ණයහිමියන් විවිධ ආකාරයෙන් මෙම ක්‍රියාවලියට ප්‍රතිචාර දැක්විය හැකිය. ඇතැමුන් ණය කපා හැරීමට විරුද්ධ වීමේ හැකියාව පවා තිබේ.
ලංකාවේ සමස්ත ණය, එනම් දේශීය හා විදේශීය ණය යන දෙකම එකතු කළ විට, එය මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන්, එනම් රටේ වාර්ෂික සමස්ත නිෂ්පාදන හා සේවාවල අගයෙන් සියයට 128ක් ලෙස ගණන් බලා ඇත. එම ප්‍රමාණය තිරසාර නොවන බව රජය කල්පනා කරන අතර, එය ගෙවිය හැකි තිරසාර මට්ටමකට අඩුකර ගැනීම ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත අරමුණයි.
ඉහත ණය මුදල ආණ්ඩුවට ලබා දී ඇත්තේ විවිධ කාලවල විවිධ රටවල්, ආයතන හා පුද්ගලයන් ය. අපගේ විදේශීය ණය ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියාව, චීනය හෝ වෙනත් රටවල් හා අන්තර්ජාතික බැඳුම්කරවල ආයෝජනය කළ පෞද්ගලික ණයහිමියන්ට අයත් වේ. දේශීය ණය ගොන්නට, භාණ්ඩාගාර බිල්පත්වල (treasury bills), භාණ්ඩාගාර බැඳුම්කරවල (treasury bonds) කර ඇති ආයෝජන ද, මහබැංකුව, වාණිජ බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන, සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල් විසින් දුන් ණය ද ඇතුළත් ය.
දේශීණ ණය සමස්තයේ එකතුව රුපියල් බිලියන 1500ක් පමණ වේ. එනම් ට්‍රිලියන 15කි. ඉන් ට්‍රිලියන 4.1ක් භාණ්ඩාගාර බිල්පත් ය. ට්‍රිලියන 8.7ක් භාණ්ඩාගාර බැඳුම්කරය. කෙටිකාලීන ණය වන භාණ්ඩාගාර බිල්පත්වලින් අතිබහුතරය මහබැංකුව විසින් දරන අතර, ඉතිරිය වාණිජ බැංකු මගින් දරයි. භාණ්ඩාගාර බැඳුම්කර අතරින් බහුතරය දරන්නේ ලංකාවේ වාණිජ බැංකු මගිනි. ඒ අතර රාජ්‍ය බැංකු මගින් සියයට 33ක් ද, සේවක අර්ථසාධක අරමුදල මගින් සියයට 37ක් ද දරනු ලැබේ. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ඉතිරි කොටස බැංකු නොවන මූල්‍ය ආයතන, සමාගම් හා පුද්ගලයන් විසින් දරනු ලබයි.
පුරවැසියන් අතර වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ඉහත බිලියන 1500ක පමණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කාරණයයි. ඒ සඳහා භාවිත කරන නම ප්‍රශස්තකරණය (optimization) යන්න වේ. ප්‍රතිව්‍යුහගතකරණය (restructuring) වෙනුවට ප්‍රශස්තකරණය යන නම ආදේශ වී ඇත්තේ ණයහිමියාගේ පැත්තෙන් අදාළ පුද්ගලයාට හෝ ආයතනයට වඩාත් වැඩි නම්‍යශීලීභාවයක් ලබාදෙනු පිණිස ය. එහි දී, ණයහිමියා සම්බන්ධයෙන් කිසියම් ධනාත්මක එළඹුමක් පෙන්නුම් කරයි. ඒ කෙසේ වෙතත්, මෙය ද, විදේශ ණය සම්බන්ධයෙන් වන කාරණයෙන් මූලික වශයෙන් වෙනස් නොවේ.
ණය ප්‍රශස්තකරණයේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ රජයට ලබා දී තිබෙන ණය ගෙවීම සඳහා වන කාලය දීර්ඝ කර ගැනීමයි. එනම් ණය කල්පිරෙන කාලසීමාව (maturity period) දිගු කෙරේ. උදාහරණයක් ලෙස, වසරකට වඩා අඩු පරිණත කාලයක් හිමි ණය ලෙස සලකන භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කරමින් ඒවාහි කාලය දීර්ඝ කෙරේ. දැනට භාණ්ඩාගාර බිල්පත් හරහා වැඩිපුරම ආණ්ඩුවට ණය ලබා දී ඇත්තේ මහබැංකුව හා සේවක අර්ථසාධක අරමුදලයි. එම බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කරනු ඇත. ඒ අනුව, ආණ්ඩුවට වසරක් තුළ ගෙවීමට ඇති ණය ප්‍රමාණය අඩුවීමට නියමිත ය. එය ආණ්ඩුවට සහනයකි.
මේ අතර, දිගුකාලීය දේශීය ණය වන භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීම හරහා ඒවාහි පරිණතවන කාලය දිගු කිරීමට අපේක්ෂිත ය. 2015 වසරට පෙර වාර්ෂිකව ලංකාවට ගෙවීමට තිබුණේ ඩොලර් බිලියන 2කට වඩා මුදලකි. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව විසින් සිය වසර පහ තුළ ගත් ඩොලර් බිලියන 12.5ක අන්තර්ජාතික බැඳුම්කර ණය හා සෙසු වාණිජ ණය හේතුවෙන් වාර්ෂික පොලී හා ප්‍රාග්ධන ගෙවීම් වසරකට ඩොලර් බිලිනය 5 හෝ 6 දක්වා වැඩි විය. අපගේ ණය තිරසාර නොවන බවටත් පත් වූයේ කෙසේදැයි ඒ හරහා කෙනකුට සිතා ගත හැකි ය.
දේශීණ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී, බොහෝ අය නගන ප්‍රශ්නය නම් ඒ හරහා තම ඉතුරුම් වන අර්ථසාධක අරමුදලට හානියක් වේද යන්න ය. එය කිසිසේත්ම සිදු නොවිය හැක්කකි. අර්ථසාධක අරමුදලින් ආණ්ඩුව ගත් ණය ගෙවන කාලය දිගු වුවද ණය මුදල කපා හැරෙන්නේ නැත. ඒ අනුව, අරමුදලට සිදුවන හානියක් නැත.
කෙනකුගේ අර්ථසාධක මුදල් නැවත ලබා ගැනීමට ද එමගින් බාධාවක් වන්නේ නැත. එසේ වන්නේ එම අරමුදල සම්පූර්ණයෙන් සිඳී ගියහොත් පමණි. එය සිදුවීමේ හැකියාවක් නැත. සේවක අර්ථසාධක අරමුදල යනු ලංකාවේ පවතින විශාලතම අරමුදලයි. එය රුපියල් ට්‍රිලියන 3.1කි. එනම් බිලියන 3166කි. 2021 දත්තවලට අනුව, වාර්ෂික ව ඊට සාමාජිකයන් මිලියන 2.5කින් දායකත්ව මුදල් ලැබේ.
අරමුදල සතු සමස්ත ගිණුම් සංඛ්‍යාව මිලියන 20කි. ඒ අනුව, දායක මුදල් නැවත ගෙවීමේ කිසිදු ගැටලුවක් මෙම අරමුදලට මතුවන්නේ නැත. අරමුදලේ ආයෝජනවල පොලී අනුපාත ඉහළ පහළ යාමේ හැකියාවක් තිබේ. එහෙත් එය සාමාන්‍ය තත්ත්වයකි. උද්ධමනය අඩුවැඩිවීමට සාපේක්ෂව පොලී අනුපාත හැසිරීම කිසිවකුට වැළකිය නොහැක. මේ අතර, බැංකු සම්බන්ධයෙන් ද කිවයුතු වන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා එම පද්ධතියේ පැවැත්මට හානියක් නොවන බවයි. බැංකුවල ණය ප්‍රතිව්‍යුගතකරණය සිදුවන්නේ විදේශීය මුදල් සම්බන්ධයෙන් පමණි.
අවසන් වශයෙන් කිව යුත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පනවන ලද කොන්දේසියකට අනුව සිදුවන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ලංකාවට සිදුවන අමුතු හානියක් නොවන බව අවධාරණය කරන අතර, හානිය සිදුවූයේ 2022 වසරේ තාවකාලිකව පැනනැගුණු විනිමය අර්බුදය විසඳා ගැනීමට ඉඩ ලබා නොදෙමින් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව පාලනය වන තැනකට ඇද දමා මෙරට ආර්ථිකය හැකිලීමට ලක්කරන ක්‍රියාමාර්ග ගැනීමට බලකර සිටි විපක්ෂය හා ඊනියා අරගල දේශපාලනය නිසාය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ