රටට ඔබින මාර්ගය කුමක්ද?


මෑත කාලයේ රට තුළ දැවැන්ත අරගලයක් තිබුණි. සාමකාමී විරෝධතා ආණ්ඩු පෙරළියකින් කෙළවර විය. විධායක ජනාධිපතිධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම පැහැදිලිව ප්‍රකාශ කරන ලද එක කරුණක් විය. රට ගොඩනගන්නට කෙටි මාර්ග නැති අතර, තිත්ත බෙහෙත් නියමකරන්නට සිදුවන බව අවධාරණය කරමින් සිටියේය.

කසාය වඩි එකක් දෙකක්, වැටෙන අතරවාරයේ ජනතාව නොසන්සුන් වී ඇත. ආර්ථික අමාරුකම් එහෙමම තිබිය දී ප්‍රතිකාර කෙසේ වෙතත්, දොස්තර වෙනස් කරන අරමුණ නැවත මතු වී තිබේ. වැඩ වර්ජන, විරෝධතා සහ විපක්ෂ දේශපාලන පක්ෂවල අරගල තීරණාත්මක තැනකට පැමිණ ඇත. 

තට්ටු මාරු ක්‍රමය, හැත්තෑ හතට කලින් කාලයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ ප්‍රධාන ලක්ෂණයකි. බලයේ සිටින ආණ්ඩුවට සහමුලින්ම විරුද්ධ ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් ඊළඟ ඡන්දයෙන් බලයට පත් කෙරේ. දැන් තත්ත්වය වෙනස්ය. ආණ්ඩුවක ජනප්‍රියභාවය මාස හත අටකට වඩා නැත.

දැනට ඉදිරියෙන් සිටින දේශපාලන පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තිවල බරපතළ වෙනස්කම් නැත. දූෂණය, වංචා හොරකම් වැනි විරුද්ධ පාර්ශවයට නගන චෝදනා පමණකි. දැනුම් තේරුම් ඇති ජන කොටසට මෙම අර්බුදය ගැන වැටහීමක් තිබේ. සිස්ටම් වෙනසක් ඉල්ලා සිටින බලකිරීම තුළ එම අවබෝධය පවතින බව පෙනේ.

මුහුණු වෙනස් කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කළ යුතුය. දේශපාලනයේ පැරණි උපක්‍රම අදට ගැළපෙන්නේ නැත. විඥාණවාදී පරපුරක් නිර්මාණය වෙමින් සිටින අතර දේශපාලන පක්ෂ වගකිවයුතු ආකාරයෙන් කටයුතු නොකළහොත් ඉදිරි දශකය භයානක තැනකට පත්විය හැකි බව අවධාරණය කළ යුතුය.

විවෘත ආර්ථික ක්‍රමයට විකල්පයක්

උත්පාදනයකින් තොර පරිභෝජනයක් නැත. මොනවා හෝ නිපදවීම අවශ්‍යය. නිෂ්පාදන බලවේග අකර්මණ්‍යවීම රටට ඇති බරපතළ අර්බුදයක් බව සඳහන් කළ යුතුය. ගෝලීය ආර්ථිකයෙන් ගැලවීමට රටට හැකියාවක් නැත. විවෘත ආර්ථික ක්‍රමයට විරුද්ධ අදහස් ඇත. එහෙත් එයින් ගැලවී ආපසු හැරෙන්නට සමාජයට නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ අද පවතින වෙළඳපොළ පරිභෝජන රටාවෙන් ගැලවීමට සමාජය සූදානම් නැත. යුක්ති සහගත, විකල්ප ක්‍රමයක් නොතිබීම එහි දී සලකා බැලෙන ප්‍රධාන කරුණකි.  

ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන රටාව අවබෝධ කරගත යුතුවේ. වෙනත් රටකට මොනවා හෝ විකිණීමෙන් රටට අවශ්‍ය දේ මිලදී ගත හැක. අපට අවශ්‍ය දේ අපම නිපදවා ගත යුතුය යන  මතයක් ද ඇත. මිථ්‍යා අදහසක් ලෙස පසෙකට කළ නොහැකි අතර එය කළ හැක. එහෙත් ලාබදායක නැත. වන්දි ගෙවන්නෝ පාරිභෝගිකයෝය.

ලෝකයේ අනෙක් රටකට අඩු මිලකට අලෙවි කළ හැකි දේ නිෂ්පාදනය කරන අතර වෙනත් රටක අඩු මිලට ඇති දේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට සැපැයිය යුතුය. මෙරට නිෂ්පාදනය කළ හැකි හෝ සැපැයිය හැකි සේවා තෝරාගෙන ඒවා වෙනුවෙන් වැඩ කිරීම පාලකයන්ගේ වගකීමකි. 

ආණ්ඩු පෙරළා දමා බලයට එන්නට වෑයම් කරන දේශපාලන පක්ෂවලට ද වගකීමක් තිබේ. අදහස් විකෘති නොකර, රට ආගාධයකට තල්ලු නොකර තමන්ගේ වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කිරීම සුදුසුය. ආර්ථික ක්‍රමය සඳහා විකල්ප රහිත අවකාශය තුළ පාලකයා වෙනස් කිරීමකින් පමණක්, රෝගියා නිට්ටාවට සුවකරන්නට අවශ්‍ය බෙහෙත ලැබෙන්නේ නැත. ඕනෑම ආණ්ඩුවකට මොනවා හෝ නිෂ්පාදන අංශයක් දියුණු කරන්නට සිදුවන අතර ලෝකයේ පවතින තරඟකාරී ආර්ථික ක්‍රමයට වේගයෙන් ඇතුළුවීම අනිවාර්යයෙන් අවශ්‍ය කෙරේ. 

වැඩ නොකිරීම රටට ඇති හැබෑ අර්බුදයකි.

අවුරුද්දකට ඇති නිවාඩු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට අවහිරයක් බව පර්​ෙ ය්ෂකයන් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව ශ්‍රමය හිඟ රටකි. විශේෂයෙන් තරුණ ශ්‍රමය සීමිතය. දැනට උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුකොටගෙන පුහුණු- නොපුහුණු, දක්ෂ ශ්‍රමික පිරිසක් රට හැර යමින් සිටිති. එය සංවර්ධනයේ දී අවාසියකි.

මෑත කාලය තුළ දියුණු වූ සියලු රටවල තරුණ ජවය වැඩිපුර ප්‍රයෝජනයට ගත් අතර වෙනත් රටවලින් හෝ කැඳවීම වාසිදායක තත්ත්වයක් සේ සලකා ඇත. වැඩ කරන්නට පහසු පසුබිමක් රට තුළ ඇති කළ යුතුව ඇති අතර කර්මාන්ත හා ව්‍යාපාර බහුල සමාජයක් නිර්මාණය කළ යුතුය. ආයෝජන රට තුළ දුර්වල අවස්ථාවක බාහිර අයෝජකයන්ට ඉඩ දීමෙන් පරිවර්තනයක් ඇති කළ හැකිය.  

කෙසේ වෙතත් දැනට පවතින දේශපාලන කැළඹිලි, බලශක්ති වියදම, අධික බදු යනාදිය ආයෝජන දුර්මුඛ කරයි. නිවාඩු අඩු කර වැඩිපුර වැඩ කළ යුතු රටක, වර්ජන, විරෝධතා වලින් ලැබෙන ප්‍රතිඵලය ආර්ථිකය තවත් දුර්වල කරන හේතුවකි. කර්මාන්ත හා සේවා අංශවල ඵලදායීතාව අඩු, වැඩ කරන දින ගණන අඩු පසුබිම තුළ දැනට පවතින ආර්ථික අමාරුකම් තවත් උත්සන්න වනු ඇති අතර ප්‍රතිකාරවලින් පලක් නැති විය හැක. අලුතින් පත්වන පාලකයකුට පවා ආර්ථිකය නැවත හදන්නට අදට වඩා වෑයමක් දරන්නට සිදුවේ.

ශ්‍රී ලංකාව වැඩ කරන රටක් බවට හැරවීමේ දී සලකා බැලිය යුතු වැදගත් කරුණක් ඇත. පැය අටක සේවය සඳහා වැඩට එන වැඩි කොටසක් පැය අටක් වැඩ කරන්නේ නැත. රජයේ සේවය කරන පිරිස අතර වැඩි පිරිසක් අයිතිවාසිකම් සඳහා සටන් කරන්නෝ වෙති. රජයේ වාර්ෂික ආදායමෙන් සියයට හැත්තෑ දෙකක් රජයේ සේවක වැටුප් හා දීමනා වෙනුවෙන් වෙන්කරන්නට සිදුවී ඇත. එහෙත් රජයේ කාර්යාලයකදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටලුවලට උත්තර නැත.

ව්‍යවසායකයකුට, ආයෝජනයකට පහසුකම් සැපයීමේදී කළ නොහැකි තැනට නීති සෙවීම සාමාන්‍යයෙන් සිදුවේ. මෙවැනි දුබලතාවලින් ගැලවීමට වහාම ක්‍රියා කළයුතුව ඇත. සංවර්ධනය සාමුහික ප්‍රයත්නයක් වන අතර ආණ්ඩුව, නිලධාරීන් එකට වැඩ කරන හා ජනතාව එකඟ කරගත යුතු වැඩ පිළිවෙළකි. සෑහෙන කාලයක සිට මෙම අංශ අතර පවතින විෂමතා, නොගැළපීම් හා අසමගිය රට අර්බුදකාරී තැනකට පත් කොට ඇති බව සඳහන් කරන්නට අවශ්‍යය.

වේගය අඩාල කිරීමෙන් ඉල්ලුම පාලනය කිරීම,

වේගවත් සංවර්ධනයකට යා යුතු ශ්‍රී ලංකාව අද අනුගමනය කරන ක්‍රමය අවබෝධ කර ගැනීම වැදගත්ය. ආර්ථිකය අඩාලවී ඇති පසුබිම තුළ රටවැසි ජනතාවගේ ඉල්ලුම පාලනය කරන්නට පියවර ගෙන ඇත. ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි අවස්ථාවක ඉල්ලුම පාලනය කිරීම ආණ්ඩුවේ උපාය වී තිබේ.

ඉන්ධන, විදුලිය, ගෑස් යනා දී අංශවල මිල වැඩි කිරීමෙන් බලශක්ති ඉල්ලුම පාලනය කර ඇති අතර අධික බදු වලින් අතට ලැබෙන ආදායම ද පරිභෝජන ඉල්ලුම පාලනය කර තිබේ. විකල්ප ආදායම් ලබන මාර්ග ද අවහිර කර ඇති බව වටහා ගත යුතුය. උද්ධමනය, බැංකු පොලිය, විනිමය අනුපාතිකය වැනි අංශ අවාසිදායක තත්ත්වයන්ය. මෙම උපාය මාර්ගය මගින් වෙළඳ පොළ හැසිරීමේ වේගය අවම කරන ආණ්ඩුව රටේ ආදායම හා වියදම ගළපා ගැනීමට උත්සාහ කරයි. 

මෙම උපක්‍රමයට ගොදුරුවීමට හේතුව වැරදි ආර්ථික ප්‍රතිපත්ති බව සඳහන් කළ යුතුය. පැරණි තීන්දුවලට දෙස් තැබීම රෝගයට ප්‍රතිකාරයක් නොවේ. ජනප්‍රියභාවය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන පැවැති ආණ්ඩු තීන්දු ගත් අතර ඡන්ද දිනන්නට සහන මළු බෙදා දිය යුතුය. නිෂ්පාදනයක් රහිත, ආදායම ප්‍රමාණවත් නොවූ රටක සහන රට භයානක ප්‍රපාතයක් තෙක් කැඳවා ඇත. සහන ක්‍රමවලට ගෙවන්නට සිදු වූ බව මහජනතාව වටහා ගත යුතු කරුණකි.

මෑතක් දක්වා ආණ්ඩු නොයෙක් ආකාරයට ලබාදුන් සහන හේතුවෙන් රාජ්‍ය ණය වර්ධනය වී සංවර්ධනය පහළට වැටුණි. මෙම පිරිහීම ආර්ථිකය අඩාලවී ජනතාවගේ ඉල්ලුම පාලනය කරන්නට සිදුවීම තුළ ඇති ප්‍රධාන කරුණකි. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය, නිවාස, බලශක්ති ඇතුළු අංශවලට සහන ලැබීම තුළ ආසියාවේ අනෙක් රටවලට වඩා ජන ජීවිතයේ හොඳ ප්‍රමිති නිර්මාණය වී ඇති නමුත් ඒ සඳහා ගෙවන ලද පිරිවැය හේතුවෙන් ජීවත්වීම ද අපහසු කාලවකවානුවක් නිර්මාණය වී තිබේ.

ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය නොගෙවීම ඉදිරියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආයතන ගණනාවක අඩස්සියකට යටත්ව ඇත. රට පාලනය කිරීමේ හැකියාවෙන් කොටසක් ජාත්‍යන්තර විශේෂඥයන් අතට පත්ව තිබේ. පැහැදිලි කළ යුතු ඉතාම වැදගත් කරුණක් ඇත. ජාත්‍යන්තර මුල්‍ය විශේෂඥයන් බෙහෙත් නියම කර ඇති අතර බලය ඉල්ලන ඕනෑම දේශපාලන පක්ෂයකට මෙම රාමුවෙන් ගැලවීමක් නැත. 

සහන වෙනුවෙන් ආණ්ඩු පත් කරගැනීමේ ක්‍රමය

ආර්ථික දුෂ්කරතා ඇති මෙමම අවස්ථාවේ දී මහජනතාව සහන අපේක්ෂා කරයි. ජනතාව අතරින් විශාල ප්‍රතිශතයක් දුකට පත්ව සිටී. වියදම ඉහළ නැග ඇති අතර ආදායමෙන් සෑහෙන කොටසක් බදු වශයෙන් ගෙවන්නට සිදුවී ඇත. විශේෂයෙන් මැදි ආදායම් ජන කොටස අසරණ වී සිටින බව අවධාරණය කළ යුතුය. ජනතාවට අස්වැසිල්ලක් වශයෙන් ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුය. උත්පාදන අවස්ථා නැංවීම අවශ්‍යය. අය වැය පියැවීමෙන් ජනතාවගේ ආර්ථිකයේ වෙනසක් සිදුනොවන අතර ජනතාව හා සමානව ආණ්ඩුව ද වියදම අඩුකර අලුතින් ආදායමක් එන මාර්ග කරා අවතීර්ණ විය යුතුව තිබේ. 

දියුණු වූ රටවල්වලින් අත්දැකීම් ලබාගත යුතුය. දියුණු වෙමින් පවතින රටවල් අනුගමනය කරන උපක්‍රම අපට වැදගත් පාඩම් කියා දෙමින් සිටී. පවතින ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත් වූ ජනතාව ඉනිමගක් කරගෙන බලයට පත්වීමේ දේශපාලනයක් අපට ඇත. මෙම අවස්ථාවේ දී බලය ලබාගන්නා ඕනෑම පක්ෂයකට කළ හැකි වෙනස්කම් සීමිතය. දැනට අනුගමනය කරන ආර්ථිකය අඩාල කර අලුතින් නිෂ්පාදන කටයුතුවලට එළැඹීම හැර අනෙක් මගක් නැත. ආණ්ඩුබලය ලබා ගැනීමේ අරගලය වෙනම පැවැතිය යුතු අතර ආර්ථික ගමනට බාධාවක් කරගත යුතු නොවේ.

සියලු දෙනා එකතු වී රට නැවත තිබුණ තැනට ගෙන එන දැවැන්ත උත්සාහයකට යා යුතුය. 1978 සිට ක්‍රමයෙන් නැගී පැමිණි ශ්‍රී ලංකාව ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙන ලකුණු පහළ වී තිබුණි. අභ්‍යන්තර හා බාහිර ගැටලු එය අඩාල කළේය. ත්‍රස්තවාදය, පාස්කු ඉරිදා ප්‍රහාර, කොවිඩ් වසංගත තත්ත්වය හා නිසි අවස්ථාවේ දී තීරණ නොගෙන සංවර්ධනය වේගවත් නොකිරීම ඒ අතර ප්‍රධාන කරුණු වශයෙන් දැක්විය හැක. 

සමාජය එකතු කරන අතර විද්වත් අදහස් හා දේශපාලන දැක්ම සමපාත කරන අලුත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව රටට තිබේ. ආගමික හා සමාජ නායකයන්, විද්වතුන්, වෘත්තීය සමිතිවලට වෙනම අදහස් ඇති බව පෙනේ. හැම දෙනාම වෙන වෙනම සටන් කළහොත් නැගී සිටින්නට අවස්ථාවක් නැත. ආර්ථික අර්බුදය පොදු සතුරෙකි. සමාජය තුළ එකඟතාවකින් ඉක්මන් තීරණ ගැනීම දියුණුව ඇති කරනු ඇත.

සාරා කන්දේගොඩ