හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මහතාගේ 106 වැනි ජන්ම දිනය අද (15) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
දකුණේ මහා දානපති ඩී.එම්. සමරවීර මුදලිතුමාගේ සිරිමැදුර නිවසේදී ලිඩියා මාග්‍රට් මැතිණියටත් සුප්‍රකට නීතිඥ වෝල්ටන් ජයවික්‍රම මැතිතුමාටත්, පුත්‍ර රත්නයක් වී 1911 ජනවාරි 15 වැනිදා සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මහතා ජන්ම ලාභය ලැබීය. තම සීයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි වූ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙන් අධ්‍යාපනය අත්පොත් තැබූ මෙතුමා නොබෝ දිනකින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුළත්ව සිප් සතර හැදෑරීය.
පවුලේ ඉල්ලීම මත පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යාලයේ වැවිලි කර්මාන්ත කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනය ලබමින් වැවිලි ක්ෂේත්‍රයට ඇතුළු විය. අධ්‍යාපනය හා ක්‍රීඩා ක්‍රියාකාරකම් නිසා යුද හමුදා සේවයට බැඳී මේජර් තනතුර දක්වා උසස්වීම් ලද්දේය.
උපතින්ම කීර්තිය, ධනය යන ඉසුරු හා ආරෝහ පරිනාහ, දේහ සම්පත්තියෙන් අනූන වූ මෙතුමා සමාජ මෙහෙවර සඳහා ජන සමාජයට එක් විය. එකල ප්‍රබල දේශපාලන ප්‍රභූවරුන්ගේ ඇසුරට පත් මොහු ජාති, ආගම් භේද නොතකා ජාතියේ විමුක්තිය උදෙසා අත්වැල් බැඳගත් ඩී.එස්. සේනානායක, සර්.ඩී.බී. ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, ඩී.බී. ජයා, ඒ.ඊ. ගුණසිංහ, පිලිප් ගුණවර්ධන, එස්.ඩබ්ලිව්. අමරසූරිය ආදි ශ්‍රේෂ්ඨ ප්‍රභූවරුන් ඇසුරු කළේය.
වැලිගම නගර සභාවෙන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වූ මෙතුමා 1936දී එහි සභාපති වශයෙන් තේරී පත්විය. කලාකීර්ති රෝහණ ප්‍රදීප, එඞ්වින් ආරියදාස මහතා පවසන පරිදි, බෞද්ධ අධ්‍යාපන ප්‍රගතියේ පතාක යෝධයකු වූ හෙන්රි වුඞ්වඞ් අමරසූරිය මහතාගේ නැගණියක වන අමරසූරිය මෙනවිය මෙතුමාගේ ප්‍රියම්බිකාව විය.
1946 වැලිගම ආසනය දිනූ මෙතුමා දේශමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ රජයේ මංමාවත් හා ප්‍රසිද්ධ වැඩ පිළිබඳ නියෝජ්‍ය ඇමැති පදවියට පත්විය. 1977 දක්වා විවිධ අමාත්‍යාංශ හොබවමින් 1989 තෙක් වැලිගම ආසනය නියෝජනය කළේය. වැලිගම ජනතාව සමග ගහට පොත්තක් මෙන් සමීප සම්බන්ධයක් පැවැත්වූ මෙතුමාගේ දේශපාලන හා සමාජ ජීවිතය ආදර්ශමත් නොකැළැල් එකක් විය.
ඩඞ්ලි සේනානායක, ජේ.ආර්. යුගවලදී නොයෙක් ඇමතිකම් දැරූ මෙතුමා රටේ උන්නතිය වෙනුවෙන් නොමැකෙන සේවයක් ඉටු කළේය. මහාමාර්ග තැනීම පිළිබඳව විශිෂ්ටයෙකු වූ මෙතුමා ඓතිහාසික ඇල්ල වැල්ලවාය නව මාර්ගය රටට දායාද කළේය. ගාලු නගරයට අලංකාරයක් එක් කරමින් නව ගාලු සමුද්‍ර මාර්ගය ද මෙතුමාගේ නිර්මාණයක් විය. නුවරඑළිය සිට ලෝකාන්තය දක්වා දිවෙන කෙටි මාර්ගය ද මෙතුමාගේ සංකල්පයකි. වැලිගම නව මහාර්ගය ද, සිතුල්පව්ව මාර්ගය ද මෙතුමාගේ නිර්මාණයක් විය. දුම්රිය සේවයේ ද නව නැම්මක් ඇති කළ මෙතුමා, “රුහුණු කුමාරි”, “උඩරට මැණිකේ” සහ “යාල්දේවි” දුම්රිය සේවාවද ආරම්භ කළේය. 1977 ජේ.ආර්. ජයවර්ධන යුගයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ධුරයෙන් ද, වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ද, මෙතුමා පිදුම් ලැබුවේය. රාජ්‍ය නිලධාරීන් මෙතුමා සමග සේවය කිරීමට වඩාත් රුචිකත්වයක් දක්වන ලද්දේ මෙතුමාගේ දක්ෂතාව සහ කුළුපග බව ඔවුන් දැන සිටි නිසාය.
රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී මෙතුමා ලංකාව නියෝජනය කිරීමට නම් කරන ලද්දේ මෙතුමාගේ දක්ෂතාව සහ ගුණාංග නිසාය. වැඩබලන සභා නායක ලෙස කටයුතු කර ඇති මෙතුමා වැලිගම මුස්ලිම් ජනතාව ඉතා සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ සේවාවන් ද ඉටු කළේය. ඓතිහාසික අග්‍රබෝධි රජමහා විහාරය, රාජකුලවඩන රජමහා විහාරය ඇතුළුව සියලු විහාරස්ථාන දියුණු කිරීමට මෙතුමාගෙන් ලැබුණේ විශාල මෙහෙයකි. රජයේ මැති ඇමැතිවරුන් වැලිගමට ගෙන්වා විශාල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළ අතර, පොල්අතු ගඟ ව්‍යාපෘතිය මෙතුමාගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.
1987 පාර්ලිමේන්තු බෝම්බයෙන් අසනීප තත්ත්වයට පත්වූ මෙතුමාට රණසිංහ ප්‍රේමදාස මහතා වයඹ ආණ්ඩුකාර ධුරය ලබා දුන්නේය. 2001 නොවැම්බර් 17 වන දින මෙතුමා දැයෙන් සමුගත්ත ද, පරාර්ථකාරී උත්තුංග යුග පුරුෂයෙකු ලෙස රටේ ජනතාව තවමත් මෙතුමා සිහිපත් කරති.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
මදුරපාල එදිරිවීර