කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් සිටිය දී සිය හාම්පුතුන් අතින් පීඩාවට පත් වූ සහ වෙනත් ප්‍රශ්න ගැටලුවලට ලක්ව දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනකු ඉකුත්දා මෙරටට පැමිණි බව අප පුවත්පත වාර්තා කළේය. කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචිව සිටි මෙම පිරිස අතර කාන්තාවන් 38 දෙනකු සහ පිරිමි 10 දෙනකු සිටි බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
මේ වූ කලී අගය කළ යුතු සමාජ සද්කාර්යයකි. රැකියාවක් සඳහා විදේශ ගතවන ඕනෑම අයකු උපන් බිමට බරක් නොවන මගක් තෝරා ගත්තෙකි. එමෙන්ම තමන් හා තමන්ගේ දරු පැටවුන්ගේ යැපීම ආණ්ඩුවට බාරදී නිකම් බලා සිටින්නකු ද නොවේ.
එමෙන්ම නොරටක දහ දුක් විඳ උපයන මුදල මෙරටට එවා ජාතික ආර්ථිකය පෝෂණය කිරීමෙහිලා මහගු දායකත්වයක් සපයන කෙනෙක්ද වෙයි. එබඳු පුරවැසියන්ගේ වටිනාකම අවබෝධ කර ගැනීම ද අතිශයින්ම වැදගත්ය. කුවේට් රාජ්‍යයේ දීර්ඝ කාලයක් හව්හරණක් නොමැතිව රැඳී සිටි මෙම පිරිස ලංකාවට රැගෙන ඒමට පියවර ගැනීම අගය කළ යුතු වන්නේ එහෙයිනි.
හාම්පුතුන්ගේ විවිධ පීඩාවලට ගොදුරුව හා වෙනත් ගැටලු හා ප්‍රශ්න නිසා කුවේට් රාජ්‍යයේ රැඳී සිටි අපගේ ‘රට විරුවන්’ නැවත මෙරටට රැගෙන ඒමේ ‘මානුෂික මෙහෙයුමේ දී’ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එරට ආගමන විගමන නිලධාරීන් සමග මහත් වෙහෙසක් ගෙන කටයුතු කර ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ඔවුන්ට අපගේ ප්‍රණාමය හිමිවේ.
මැද පෙරදිග ගෘහ සේවය මෙන්ම වෙනත් රැකියා ක්ෂේත්‍ර වර්තමානය වනවිට අතිශයින්ම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ඉන්දියාව, පිලිපීනය මෙන්ම බංග්ලාදේශය වැනි රටවලින් අඩු වැටුපට මිනිස් ශ්‍රමය ලබා ගැනීමට හැකිවීම මීට එක් ප්‍රධාන හේතුවකි. ශ්‍රමය එසේ හෑල්ලුවී ගිය විට මිනිස් ජීවිතවල අගය ‘වාෂ්ප’ වී යාම විකෘතියක් නොවේ. ශ්‍රමයේ සිට ලිංගිකත්වය දක්වා සෑම ආකාරයකම සූරාකෑම්වලට රට විරුවන් ගොදුරුවන්නේ මෙම පරිසරය තුළය.
වැලිකතරේ ගෘහ සේවය අතිශයින්ම පීඩාකාරී සහ වේදනාකාරී අත්දැකීම්ය. සිදුවන නොයෙක් ගැහැට ඉවසා දරා ගත නොහැකිව උඩුමහල් වලින් පැන ‘අවම’ හෝ ජීවිත ආරක්ෂාව සරිකර ගැනීමට උත්සාහ ගැනීමේ සිදුවීම් අපමණක් වාර්තාවීමෙන් පැහැදිලි වන්නේ එම කාරණයයි. ඇතැම් විට සදාකාලික ආබාධිත භාවයට පත්ව මෙරටට පැමිණීමේ ඉරණමට අමතරව ඇතැම් රටවිරුවන්ට මිනී පෙට්ටියක සැතපී යළිත් මව්රටට පැමිණීමේ ඉරණම බාර ගැනීමට සිදුවේ.
මෙම ශාලපත් ඉරණම නිසා ඇතැම් පිරිස් තම සේවා ස්ථානවලින් පැන විත් කුමන හෝ විසඳුමක් සොයති. එය බොහෝ සෙයින් අවදානම් සහගතය. මන්දයත් ගුවන් ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි තිබෙන්නේ සේවා ස්ථානයේ වීමය. ශ්‍රමිකයන්ට මහ මගට පිවිසීමට සිදුවන්නේ හිස් අතිනි. නොරටක එසේ අසරණවීම හා අනාථවීම වචනයට නැගිය නොහැකි තරමේ භයානක අත්දැකීමකි.
හාම්පුතුන්ගෙන් සිදුවන ගැහැට හා වෙනත් කාරණ නිසා සේවා ස්ථානයෙන් පලා එන පිරිස් සතුව ඇති ඒකාන්ත විශ්වාසය එරට ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල තමන්ට ආරක්ෂා කරනු ඇත යන්නයි. ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටුවීමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේද එයයි. එහෙත් ඇතැම් තානාපති කාර්යාවල සිටින ගිජුලිහිණි නිලධාරීන්ගේ පහසු ගොදුරු බවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පත්වීමට සම්බන්ධ අනුවේදනීය පුවත් ඉකුත් සමයේ එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවිය.
අපගේ ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා එමගින් තම මඩිය තර කර ගන්නා නිලධාරීන් සම්බන්ධ නිර්ලජ්ජිත සිදුවීම් රටේ අභිමානයට නින්දා සහගත කැළලකි. එබඳු නිලධාරීන්ට ඉහළින් ලැබෙන රැකවරණය නිසා බාධවකින් තොරව තම මාංශ වෙළඳාම සරු සාරෙට පවත්වා ගෙන යෑමේ හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඉරණම ලෙයින් කඳුළෙන් හා සුසුමෙන් ලියැවීමට එයත් එක් හේතුවකි.
ප්‍රශ්නවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හව්හරණක් වීමේ ක්‍රමවේදයක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිබී ඇත. එරට අතරමංව අසරණව සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනකුට නැවත මෙරටට පැමිණීමට අවස්ථාව උදාවූයේ එහෙයිනි. මෙම බලගතු ආදර්ශනය වෙනත් රටවල තානාපති කාර්යාල ද එයට හිමි නිසි බරින් හඳුනා ගන්නේ නම් ශ්‍රී ලාංකික රට විරුවන්ගේ ඉරණම යහපත් වනු නියතය.
(***)