රටට සෙත් පතන ගංගාරාමයේ ගම්මඩුව....


රටට සෙත් පතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන භූමියේදී අද (30) ගම්මඩු ශාන්තිකර්මයක් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

දීර්ඝ කාලයක සිට ලක්දිව බෞද්ධ හා හින්දු භක්තිකයන් අතර පූජනීයත්වයට පත්ව සිටින පත්තිනි දේවතාවිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආරක්ෂක දේවතාවියක ලෙස සැලකේ. 

පත්තිනි මූලික කොට ගෙන ලක්දිව සමාජෝත්සව ගණනාවක් පවත්වනු ලැබේ. අංකෙළි (අං ඇදීම), පොල් කෙළි (පොර පොල් ගැසීම) ආදී ක්‍රීඩා ස්වරූපයෙන් පවත්වනු ලබන උත්සව ද මේ අතරට ගැනේ. මඩු පූජෝත්සවය හෙවත් මඩු ශාන්තිකර්ම මෙහිලා ප්‍රමුඛ වේ. ඇතැම්විට මඩුතෝත්‍ර ගම්මඩු මංගල්‍ය නමින්ද හඳුන්වනු ලබන මෙය විවිධ පළාත්හි ගම්මඩු, දෙවොල් මඩු, පහන් මඩු ආදී නාමයන්ගෙන්ද හැඳින්වේ.

ගම්මඩු ශාන්තිකර්ම පුද ලබන පත්තිනි, වසංගත රෝග දුර්භික්ෂයන්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ හැකියාවත් සශ්‍රීකත්වය ඇති කිරීමේ ශක්තිය හා බලයෙන් යුතු දෙවඟනක ලෙස බොහෝ ජනයා විශ්වාස කරති.

ගම්මඩුවක් සම්පූර්ණ වීමට පත්තිනි භාගය, වාහල භාගය, දෙවොල් භාගය වශයෙන් සාම්ප්‍රදායික ශිල්පීන් හඳුන්වන දේව සකල්පයන්ට අයත් පුද පූජා චාරිත්‍ර කොටස් සම්පූර්ණ විය යුතුය.

පහත රට සම්ප්‍රදායේ ගම්මඩුවක් පැවැත්වීමේදී කප සිටුවීමේ දිනය, මඩු පේ කිරීමේ දිනය, මඩු නැටීමේ දිනය වශයෙන් දින තුනක් මූලික කොට ගනිමින් චාරිත්‍ර සිදු කෙරේ. කප සිටුවීමෙන් තුන් මසක් හෝ අදාල දිනයක මඩුව පැවැත්වීමට පොරොන්දු වන අතර ගම්මඩුව සඳහා සාම්ප්‍රදායානුකූලව දිගින් සැට රියනක්ද පළලින් තිස් රියනක්ද වූ මඩුවක් ඉදි කිරීම සිදුවේ.

මෙසේ ඉදිකරනු ලබන මඩුව සැරසිලි කොට තොරණ යහන් මල් පැල් බැඳ සකස් කරනු ලැබේ. පහතරට ගම්මඩුවේ පත්තිනි තොරණ ප්‍රධාන වන අතර කතරගම, විෂ්ණු, නාථ, සමන්, විභීෂණ, සූනියම් දෙවොල්, දැඩිමුණ්ඩ ආදී දේව සංකල්ප සඳහා යහන් ඉදි කෙරේ. දැඩිමුණ්ඩ යහන ඉදිරිපිට කාල පන්දම් ගසද, බිසෝකප පත්තිනි තොරණට නුදුරින්ද සිටුවීම සඳහා වෙන්කර ගැනේ. මඩු භූමියක සාම්ප්‍රදායානුකූල යහන් තොරන් ඉදිකිරීමේ සැලැස්මක් පවතින අතර උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන්හි මෙන්ම ඒ ඒ ගුරුකුලයන්හි සුළු සුළු වෙනස්කම්ද පවතින බව කිව යුතුය. 

පහතරට සම්ප්‍රදායේ මඩු ශාන්තිකර්මයක මඩු නටනු ලබන දිනයේ මූලිකව ඉටුකරනු ලබන පුද පූජා පිළිවෙළ මෙසේ දැක්විය හැකිය. ගම්මඩු ශාන්ති කර්මයේදී පුද ලබන දෙවොල් දෙවියන් සීනිගමින් ලංකාවට ගොඩබසින විට පත්තිනි දෙවියන් විසින් මැවූ ගිනිකඳු හත සිහිගන්වමින් කරනු ලබන ගිනි පෑගීම සඳහා පේ කරන ලද මිල්ල ගසකින් දර කපා පිරුවටයක ඔතා මඩු භූමියට ගෙන ඒම මිල්ල කැපීම නමින් සිදුවේ.

ඉන්  අනතුරුව උඩුවියන් සහිතව බෙර සංඛනාද මධ්‍යයේ මඩු පුරයා (අතෝරකරු) නැවුම් භාජනයක මුඛවාඩම් බැඳ යහන් තොරණ්වල පහන් දැල්වීම සඳහා තෙල් වැඩමවීම සිදුකෙරේ. ත්‍රිවිධ රත්නය ප්‍රධානව දෙවියන්ට පහන් දැල්වීමෙන් අනතුරුව දළුමුරපූජාව නමින් පහන් දැල්වූ දෙවියන් උදෙසා බුලත්, පඬුරු, මල්, සඳුන්, අඳුන්, කපුරු, පිනිදිය, පුවක්මල්, පූජාවක් සිදුකරන අතර මඟුල් බෙර වාදනයෙන් ශබ්ද පූජාවක් දෙවියන් උදෙසා සිදුකෙරේ.

මඩු ශාන්තිකර්මයේ උපත් කතාව අනුව මුල්ම ශාන්තිකර්මය සේරමානන් රජු සඳහා සිදු කළ අතර එහිදී රජුගේ බිසව විසින් පත්තිනි දෙවියන් උදෙසා සිටවූ කප සිහි ගන්වමින් බිසෝකප සිටුවීම ඊළඟ චාරිත්‍රය වේ.

ගම්මඩු දෙවොල් මඩුවෙහි පුද ලබන දෙවොල් දෙවියන්ගේ ලංකා ගමනය සිහි ගන්වමින් කාල පන්දම් පූජාව ඊළඟ අංගය ලෙසද ඉදිරිපත් කිරීම රයිගම් කෝරළ සම්ප්‍රදායයි. එහිදී මුහුද මැද පැමිණි නැව විනාශ වී දෙවොල් කුමරු ගොඩබට ආකාරය මෙහිදී විස්තර වේ. රියන් 13ක්ද උස සැරසූ පුවක් ගසක් යොදා ගනිමින් නැවේ කුඹ ගස මූර්තිමත් කීරීමත් එහි මුදුනත තිබූ මාණික්‍ය සිහිගන්වමින් පුවක් කඳ මුදුනේ පන්දමක් දැල්වීමත් චාරිත්‍රයකි. මෙහිදී ඒ හා බැඳි කාල පන්දම් පදය නමින් විශේෂ පද කොටසක් නැටීම සිදුකෙරේ.

සිංහල පැය ක්‍රමය අනුව දවස පෙරයම්, මැදියම්, අලුයම් වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. දෙවොල් දෙවියන්ගේ පරිවාස යක්ෂයන් වන කුරුම්බර යකුන්ට හැන්දෑයාමේ පිදේනි දීමෙන් ඒ සඳහා නර්තන වාදන ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායිකව පවතින යක්පද, යකිනිපද, පන්දම් පද, රාක්ෂ පද නටා පිදේනි ඔප්පු කිරීම මෙහිදී සිදු කෙරේ. රාජ, බමුණු, වෙළඳ, ගොවි කුලයන් සඳහා වෙන වෙනම යාග කළ බවට ගද්‍ය, පද්‍ය  ගායනා කොට කවි තාල ගයා නටා සරසා අලංකාර කොට ඇති  තොරන්, පත්තිනි මෑණියන් වෙනුවෙන් පූජා කිරීම තොරන් යාගය නම් වේ. අනතුරුව පත්තිනි හලං වැඩමවා පත්තිනි නැටීම සිදුවේ.

ගම්මඩු, දෙවොල් මඩු යාගයේ අලංකාරම නර්තනය ලෙස ප්‍රචලිතව ඇත්තේ තෙල්මේ නර්තනයයි. රජ කුමරුන් දොළොස් දෙනෙකු දෙවියන් උදෙසා කළ පූජාව මෙහිදී සිහිපත් කරන අතර කොටස් දොළහකින් යුතු කෙසෙල් පතුරු, ගොක්කොළවලින් සරසන ලද කටුවක අඳුන්, සඳුන්, තෙල්, කිරි, පැන්, විලක්කු, බුලත්, පඬුරු පූජා කර ගොටු පද, රාග පද, වට්ටම් පද, තෙල්මේ පද, නේරංගම ආදී සුවිශේෂ සංකීර්ණ පද නැටීම අලංකාර පබළු ඇඳුමකින් සැරසුනු නර්තන ශිල්පීහු ඉටු කරති. ගිනි කුරුම්බරයින් සඳහා මධ්‍යම ජාමේ පිදේනි දීම සිදු කරන අතර වාහල නැටීමේ ඊළඟ පියවරයි. 

කතරගම දෙවියන් උදෙසා දේව දානය පූජා කොට රැස්ව සිටින පිරිසට හත් මාළුවක්, කැවුම් කෙසෙල් සහිතව දේව දානය ලබා දේ. නාට්‍යමය පෙළපාළි ලෙස සැලකෙන අඹ විදමන මීළඟ චාරිත්‍රයයි. මෙහිදී මහළු වෙස් ගන්නා සක්‍රයා  පත්තිනි අඹෙන් උපන් කතාව කවි දෙබස් සහිතව ඉදිරිපත් කර අඹය විද ගැනීමත් ඉන් පසු එයින් සෙත් කිරීමත් සිදුවේ. දෙවොල් දෙවියන්ගේ ලක්දිවට පැමිණීමේ කතා පුවත, කවි, දෙබස් සහිතව ඉදිරිපත් කොට දෙවොල් පද, සුරල් නැටීම ඊළඟ පියවරයි. අලුයම් ජාමයේ කුරුම්බර පිදේනි දී කිරි උතුරවා ගරායක් ශාන්තිය අනතුරුව සිදු කෙරෙන පූජ චාරිත්‍රයයි.

එහිදී කීල ගරා දේවතාව සියලු දොස් වෙස් පෑමෙන් දුරු කිරීම මූර්තිමත් කෙරේ. වසංගත රෝ බිය දුරු කිරීමත්, සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම ශාන්තිකර්මය ඉපැරණි සමාජ චාරිත්‍ර රාශියක් පිළිබිඹු කෙරෙන අතර ජනයාගේ ඒකාකාරී ජන ජීවන රටාවෙන් මිදී මානසික සහනය ලබාදීමට රුකුලක් වේ.


රටට සෙත් පතන ගංගාරාමයේ ගම්මඩුව....