රටම පාඩුකරන ගනුදෙනු වාර්තාවලින් කීම ප්‍රමාණවත්ද?


ස්මාට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රාජ්‍ය  ගිණුම් කාරක සභාව (කෝපා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළිකර තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් නියමිත බදු මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් එම වාහනවලින් බදු මුදල් අයකර ගැනීමෙන් එම විශාල පාඩුව සිදුවී ඇති බව ද සඳහන්ය. ඊට අමතරව වෑන් රථ 44ක් ආනයනය කිරීමේදී ද බදු මුදලට ‘වංගුවක්’ ගැසීමෙන් අවම වශයෙන් රුපියල් කෝටි 130කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් රජයට අහිමි වී ඇති බව ද කෝපා කමිටු වාර්තාව මගින් හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා රේගුව මේ අවස්ථා දෙකේදීම බදු අඩුවෙන් අයකර ගැනීමට ‘මාදිලි’ දෙකක වංගු ගැසීම් සිදුකර ඇති ආකාරය ද වාර්තාවේ සඳහන් වෙයි. ඩබල් කැබ් සඳහා අනුගමනය කර ඇත්තේ ඩබල් කැබ් වාහන සිංගල් කැබ් මාදිලියේ වාහන වශයෙන් හඳුන්වා අඩු රේගු බදු මුදලක් අයකර ගැනීමය. එවිට ස්මාට් ඩබල් කැබ් වාහනයකට අයකර ඇත්තේ රුපියල් ලක්ෂ 10ක් තරම් අඩු බදු මුදලකි. එවැනි ඩබල් කැබ් 3000ක් රේගුවෙන් මුදාහරින විට රුපියල් කෝටි 300ක පමණ මුදලක් රජයට අහිමි වී මේ ගනුදෙනුවට හවුල් වූ රේගු නිලධාරීන් පිරිසකගේ සාක්කුවලට ගොස් ඇති බවට කතා දෙකක් නැත.

එසේම වෑන් රථ 44ද අඩු බදු මුදලක් ගෙවිය යුතු වන විශේෂ කාර්ය වෑන් රථ වශයෙන් සඳහන් කර ආනයනය කර ඇතත් ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ද්විත්ව කාර්ය වාහන ලෙසය. 2010 සහ 2019 අතර කාලයේදී සිදුව තිබූ මේ ගනුදෙනුවෙන් ද නිලධාරීන් පිරිසකගේ කල්ල මරේ බව පැහැදිලිය. මේ ගනුදෙනු දෙකෙන්ම රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 430 ඉක්මවයි. ඒ ප්‍රමාණයට නිලධාරීන් ඇතුළු පිරිසක් ලාබ ලබා තිබෙන බව යථාර්ථයයි.

වාහන ආනයනයේදී සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියේදී විශාල වශයෙන් සිදුවන මේ ආකාරයේ බදු ගසාකෑම් හේතුවෙන් සිදුවන පාඩුවලට අවසානයේ කර ගහන්නේ රටේ පොදු මහජනතාවය. මේ ආකාරයට බදු අඩු වනවිට රටේ ආදායම අඩුවෙයි. එහි බර ඇදිය යුත්තේ මහජනතාවය.

රටට ආදායම් සොයාදීමේ භාරදූර වගකීමක් පැවරී ඇති ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අතුරින් කිහිපදෙනකු අතින් සිදුවන මෙවැනි දූෂිත ගනුදෙනු හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුවේම සායම යන බව පෙන්වා දිය යුතුය. මෙවැනි දූෂිත ගනුදෙනු නවත්වා රටට ලැබිය යුතු ආදායම ලබා ගැනීමට අවශ්‍ය පියවර රජය මගින් නොපමාව ගතයුතු බව ද කිව යුතුය. රාජ්‍ය ගිණුම් කාරක සභාව ඊට අදාළ වාර්තාව සභාගත කරමින් සිය වගකීම ඉටුකර තිබේ.

එම වාර්තාව හමස් පෙට්ටියේ තැන්පත් වීමට ඉඩ නොහැර අවශ්‍ය කටයුතු කිරීම රජයේ බලධාරීන්ගේ වගකීම වෙයි. රාජ්‍ය ගිණුම්කාරක සභාව මෙන්ම පොදු ව්‍යාපාර කාරක සභාව ද ඉදිරිපත් කරන වාර්තාවලට නිසි වැදගත්කමක් ලැබෙන්නේ ඒවා මගින් හෙළිකරන තොරතුරු ඔස්සේ යමින් ඒවාට වගකිවයුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා ඉදිරි පියවර ගතහොත් පමණි. එහෙත් මෙම හෙළිදරව් කිරීම් බොහෝදුරට වාර්තාවලටම පමණක් සීමාවීම අවාසනාවකි.

පාඩුව නහුතෙට: වැටුප ඉහළට

මේ අතර බරපතළ ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක සියලු‍ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ වැටුප 25% කින් වැඩිකර ඇති බව අපගේ සහෝදර ‘‘ඉරිදා ලංකාදීප’’ පුවත්පත මගින් හෙළිකර තිබිණි. පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති මේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇතැම් නිලධාරීන්ගේ මාසික වැටුප් සහ දීමනා එකතුව රුපියල් ලක්ෂ 10 ඉක්මවා ඇති බව ද සඳහන්ය.

රාජ්‍ය  ආයතනයක වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් විරුද්ධ වීම අපගේ අරමුණ නොවේ. එහෙත් බිංදුවටම පාඩු ලබමින් සිටියදී පොදු මහජනතාවගේ බදු මුදලින් සැපට වැටුප් වැඩිකර ගැනීම සමාජ අසාධාරණයක් වශයෙන් අපි දකින්නෙමු. මේ ආයතන දෙකම අත්‍යවශ්‍ය සේවා සපයන බව ද එසේම එහි නිලධාරීන් සහ සේවකයන් ඉටුකරන්නේ විශාල වගකීමක් බව ද අපි දනිමු. එහෙත් රටේ සෙසු රාජ්‍ය ආයතන ද ක්‍රියාත්මක වන්නේ එම වගකීම් ඉටුකරමිනි.

වැඩකට නැති ආයතන කිහිපයක් හැර සෙසු රාජ්‍ය ආයතන ද සපයන සේවා අත්‍යවශ්‍ය නොවන බව කිව නොහැකිය. එසේ නම් රටම දරුණු ආර්ථික අගාධයකට වැටී සිටියදී තමන්ගේ වැටුප පමණක් අත්‍යවශ්‍ය ලේබලයට මුවා වී වැඩිකර ගැනීම කොතරම් දුරකට සාධාරණදැයි මේ සියලු‍ නිලධාරීන් තමන්ගේම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු නොවේද?

අදාළ ආයතන දෙකේ ප්‍රධානීන් ප්‍රකාශ කර තිබුණේ මෙම වැටුප වැඩි කිරීම සිදුවූයේ මීට පෙර ඇතිකරගත් ගිවිසුම් සහ එකඟතාවලට අනුව බවය. එසේ නම් අපට විමසීමට සිදුවන්නේ මෙරටට කොරෝනා කඩා වැදුණේ කලින් ඇතිකරගත් ගිවිසුම් සහ එකඟතා අනුවදැයි කියාය. අඩුම තරමින් කොරෝනා හේතුවෙන් උද්ගත වූ තත්ත්වය ගැන සිතා හෝ තම වැටුප් වැඩිකර ගැනීම පසුවට කල්දමා ගැනීමට තීන්දුවක් ගත්තා නම් එය අගය කළ යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු. රටේ බොහොමයක් පිරිසකට කොරෝනා හේතුවෙන් වැඩි වැටුප් කෙසේ වෙතත් මෙතෙක් ලබාගත් වැටුප පවා අහිමි වී ඇති බව ද සිහිපත් කළ යුතුය.

(***)