වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමට ඇති ප්‍රබලතම ආයුධය වන්නේ වැඩවර්ජනය බව පිළිගත් සත්‍යයකි. එහෙත් කිසියම් වර්ජනයකින් රටට දැයට අනපේක්ෂිත පාඩුවක් හෝ විනාශයක් සිදුවන්නේ නම් ඉල්ලීම් දිනාගත්ත ද එය සැබෑ ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකිය.
දින කිහිපයකට පෙර ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් කෙරුණු බව අප පුවත්පත ඇතුළු මාධ්‍ය ඉකුත්දා වාර්තා කළේය. එය ලක්වැසි සැමට හොඳ ආරංචියකි. වර්ජනය තවදුරටත් පැවතියේ නම් සිදුවන පාඩුව අතිවිශාල වනු ඇත. එම වර්ජනයෙන් සිදුව ඇති පාඩුව කෝටි 2 පමණ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පෙන්වා දී ඇත.
කෝටි ගණනක පාඩුවක් සිදුවීමට පෙර එය සමථයකට පත්කර ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. මින් පැහැදිලි වන්නේ වර්ජකයන් හා බලධාරින් නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටියේ නම් එම පාඩුව අවම කිරීමට හැකිව තිබූ බවයි. රට බරපතළ ආර්ථික අර්බුදයකට පත්ව ඇති වකවානුවක අදාළ පාර්ශ්ව වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුත්තේ ඒ නිසාය.
දුම්රිය දෙපාර්තමේන්තුව දැවැන්ත පාඩු ලබන දැවැන්ත රජයේ දෙපාර්තමේන්තුවකි. අකාර්යක්ෂමතා, අක්‍රමිකතා හා දූෂණ ඉහ වහා ගිය ආයතනයකි. රටට දරාගත නොහැකි තරම් සේවක පිරිසක් එහි සිටිති. එවන් ආයතනයක් පාඩු ලබන තවත් තැනකට පත්කිරීම කෙතරම් අසාධාරණද? දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙය නොදැන සිටීම විමතියට කරුණකි. කෙසේ වුවද මෙවැනි ක්‍රියාවලින් පාඩු පැටවෙන්නේ ජනතාව කරපිටය. සබන් කෑල්ලට, සීනි ටිකට, පරිප්පු හා අලවල බදු බර අනියමින් අහිංසක ජනතාව පිට පටවන්නේ මේවායෙන් සිදුවන පාඩු පිරිමැසීමට නොවේද?
වැඩවර්ජන ඉතිහාසයට අනුව එවැනි අරගල කරනු ලැබුවේ සුවිශේෂී කරුණක් හෝ බරපතළ ලෙස කම්කරු අයිතිවාසිකම් කඩවීමක් සිදුවුවහොත් පමණි. අද සාමාන්‍ය සිදුවීමකට පවා වර්ජනය කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එය දියුණු වන රටකට ඉදිරියට යාමට ඇති ප්‍රබල බාධකයකි.
මේ වනවිට වැඩවර්ජනවලින් ශ්‍රී ලංකාව කප් එක ගන්නා රටක් බවට පත්ව තිබේ. 1152 නොවැම්බර් 14 වැනිදා ඊජිප්තු කම්කරුවෝ වර්ජනයක් ආරම්භ කළහ. එරට රාජකීය සමාගමට එරෙහිව ඔවුන් නැගී සිටියේ ඉල්ලීම් දිනාගැනීමේ සැබෑ අරමුණෙනි. ශ්‍රී ලංකාවේ ද සංවිධානාත්මක වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ 1906 දීය. එය කරත්ත වර්ජනයයි. කරත්තකරුවන්ට අනවශ්‍ය තහංචි දැමීමට එරෙහිව එය ක්‍රියාත්මක විය. එලෙස ආරම්භ වූ වැඩවර්ජන සුවිශේෂ වූවද අද වර්ජන සාමාන්‍යකරණයට පත්ව තිබීම කනගාටුදායක තත්ත්වයකි.
වර්ජන රැල්ලකින් රටේ ආර්ථිකය කඩා වැටුණහොත් වන්දි ගෙවීමට සිදුවනුයේ සමස්ත ජනතාවටයි. අද ශ්‍රී ලාංකේය ආර්ථිකය ද අවදානම් තත්ත්වයක පවතී. එවැනි තත්ත්වයක් මත කෝටි ගණන් පාඩුවීම අප රටට දරා ගැනීමට නොහැකිය. දින කිහිපයකට කෝටි ගණන් පාඩු වූයේ නම් එයට වගකිව යුත්තෝ කවරහු ද? මේ තත්ත්වයට වර්ජකයන් මෙන්ම බලධාරින් ද වගකිව යුතු දෙපාර්ශ්වයම නම්‍යශීලී වී ගැටලු විසඳාගත යුත්තේ එබැවිනි. මෙරට වර්ජන ඉතිහාසයේ අමිහිරි අද්දැකීම් අප සතුව පවතී.
80 ජූලි වර්ජනය ඉන් එකක් පමණි. එම අවාසනාවන්ත ඉරණමෙහි විපාක අදත් සමහරු බුක්ති විඳිති. ප්‍රජාතන්ත්‍රවාදී රටක සේවකයන්ගේ වර්ජන අයිතියට කිසිවකුට අභියෝග කළ නොහැකිය. එසේ වුවද ජූලි වර්ජනය වැනි තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා කටයුතු කිරීමට වෘත්තීය සමිති නායකයන් උපක්‍රමශීලී විය යුතුය.
එසේම රටේ ආර්ථිකයට මරු පහර එල්ල වන පරිදි වැඩවර්ජන නොකළ යුතුය. ආර්ථිකයට වදින විට එහි විපාක විඳින්නට සිදුවනුයේ පාලකයන්ට පමණක් නොව වර්ජකයන්ට ද එම ශාපයෙන් මිදිය නොහැකිය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනයකින් අසරණ රෝගී ජනතාව අනන්ත දුක් විඳීම ඊට එක් නිදසුනක් පමණි. එවැනි තත්ත්වයක් මත ජනතා කෝපයට ගොදුරු නොවීමට කටයුතු කිරීම වර්ජකයන් සහ පාලකයන්ගේ වගකීම වන්නේය.
අද වැඩකරන ජනතාව බුක්තිවිඳින අයිතීන් බොහොමයක් පැරණි වාමාංශික ව්‍යාපාරය මැදිහත්ව දිනා ගත් ඒවා වෙයි. අද සිටින වෘත්තීය සමිති නායකයන්ට ද ඉන් පූර්වාදර්ශ ලබා ගත හැකිය. එසේ තිබිය දී වර්ජනය සාමාන්‍යකරණය කර ගැනීමෙන් ලැබෙන වාසියට වඩා සිදුවන හානිය වැඩිය. වැඩවර්ජනවල එකම අරමුණ විය යුත්තේ සේවක අයිතීන් දිනා ගැනීමයි. එහෙත් මෑත කාලීන වර්ජන ව්‍යාපාරවල දේශපාලන අරමුණු වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනේ. එය සිදු නොවිය යුතු බව අපේ වැටහීමයි.
වැඩකරන ජනතාවගේ වර්ජන අයිතිය අප සැම පිළිගත් සේම රට ආර්ථික අර්බුදයක පවතින විට මල නොතලා රොන් ගන්නාසේ ඉල්ලීම් දිනාගැනීම වර්ජකයන්ගේ වගකීමයි. කෝටි ගණන් රටට අහිමි කරමින් සිදු කරන වැඩවර්ජනවලින් කිසිවකුටත් යහපතක් නොවනු ඇත. එය ජාතික අපරාධයකි.