ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ 1,200ක තහනම ඉවත් කළ බවත්, තවත් භාණ්ඩ 300ක තහනම් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් නොබෝදා වාර්තා විය. එහෙත්, වාහන ආනයන තහනම ඉවත් නොකරන බවක් කියැවෙයි. මේ, ඒ පිළිබඳව මෙරටට අලුත් වාහන ආනයනය කරන්නන්ගේ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සභාපති චාරක පෙරේරා මහතා දක්වන අදහස් ගොනු කර සැකසුණු සටහනකි.
ලංකාවේ ඇතැමුන් කියන්නේ රටට අවශ්‍ය තරම් වාහන රට ඇතුළේ තිබෙන බවය. පළමුව එය සත්‍යයක් දැයි බලමු. මේ රටේ තිබෙන වාහන අතරින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිය. ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය වැනි රටවල ජනගහනයෙන් දහසකට යතුරුපැදි 500 සිට 600ක් අතර ගණනක් පවතියි. එහෙත්, ලංකාවේ දැනට තිබෙන්නේ මිනිසුන් දහසකට යතුරුපැදි 250ක් තරම් ගණනකි.
දැනට ලංකාවේ තිබෙන යතුරුපැදි ගණන ලක්ෂ 40ක් පමණ වෙයි. ඒ අනුව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය වැනි රටවල මට්ටමට පැමිණීමට නම්, ලංකාවට තවත් යතුරුපැදි ලක්ෂ 40ක් පමණ අවශ්‍ය වෙයි.
ඇමෙරිකාව වැනි දියුණු රටක මිනිසුන් දහසකට කාර් 900ක් පමණ තිබේ. බටහිර යුරෝපයේ මිනිසුන් 1,000කට කාර් 600ක් පමණ තිබේ. ජපානයේ තිබෙන්නේ මිනිසුන් 1,000කට කාර් 500ක් තරම් අඩු ගණනකි. ඉන්දුනීසියාවේ තිබෙන්නේ මිනිසුන් 1,000කට කාර් 200කි. එහෙත්, ලංකාවේ මිනිසුන් දහසකට තිබෙන්නේ කාර් 50ක් තරම් ගණනකි. ඒ අතරට කාර්වලට අමතරව ජීප් ද ඇතුළත්ය. එහෙත්, ඒ අතරට වෑන් ඇතුළත් නොවේ.
දැනට ලංකාවේ කාර් සහ ජීප් ලක්ෂ 10ක් පමණ තිබේ. ඒ අනුව, කාර් හා ජීප් ද තිබෙනවාට වඩා වැඩි කළ හැකිය. සරලව කිවහොත්, තවත් කාර් හා ජීප් ලක්ෂ 10ක් පමණ ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් පවතී. එසේ කළ විටත් උදාවන්නේ ලංකාවේ ජනගහනයෙන් 1,000කට කාර් හා ජීප් 100ක් පමණ තිබෙන තත්ත්වයකි. දියුණු රටක සේ ජනහනයෙන් දහසකට කාර් 600 සිට 700 අතරට යාමට අපට නොහැකිය. එහෙත්, එය 1,000කට 100 ක් දක්වාවත් යාමේ හැකියාව තිබිය යුතුය. කාර් හා ජීප් පෞද්ගලික පාවිච්චියට ගන්නා වාහන ලෙස සැලකෙයි.
එහෙත්, වාණිජ වාහන සම්බන්ධයෙන් දහසකට මෙච්චරක් කියා ගණන් සෑදිය නොහැකිය, නොයුතුය. එය එසේ වන්නේ රටේ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතාව, නිෂ්පාදන ප්‍රමාණය, බෙදාහැරීමේ ජාලය, වරාය තිබෙන්නේ කොහේද යනාදී සාධක මත වාණිජ වාහනවල එනම් වෑන්, ලොරි, ට්‍රක්, බස්වල අවශ්‍යතාව තීරණය වන හෙයිනි. ලංකාවේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල අදටත් ධාවනය කෙරෙන්නේ දවසකට එක බසයක් හෝ දෙකකි. සරලව හා පැහැදිලිව කිව්වොත් ගමන් වාර දෙකකි. ඇතැම් ගම්මානවලට ඒ පහසුකම් ද නැත. එවැනි ජනතාවකට යතුරුපැදියක, ත්‍රීවීලරයක අවශ්‍යතාව ඉහළින්ම දැනෙයි.
ලංකාවට වාහන ගෙන්වීම නැවැත්තුවේ 2020 මාර්තු මාසයේදීය. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සාමාජිකයෝ වන්නෝ ලෝකයේම වාහන නිෂ්පාදනය කරන සමාගම්වල දේශීය අලෙවි නියෝජිතයෝය. ඒ සංඛ්‍යාව 26කි. ඒ පුද්ගලයන් නොව ආයතන හෙවත් සමාගම්ය. ලෝකයේ සියලුම වාහන නිෂ්පාදන සමාගම් නියෝජනය කරන්නේ ඒ ආයතන 26යි. ඒ 26හි 2019 සිටි ඍජු හා වක්‍ර සේවක සංඛ්‍යාව 30,000කි. ඒ ගණන දැන් 15,000ක් දක්වා පහත බැස තිබේ.
ඊට හේතුව, වාහන ආනයන තහනමය. අපේ නියෝජිත ජාලයේ රට පුරා සිටියේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝය. ඒ අතර වාහන අලෙවිසල්, සේවාසල්, අමතර කොටස් අලෙවිසල් යනාදී වශයෙන් රට පුරා තිබුණු ව්‍යාපාර සංඛ්‍යාව 6,300කට අධිකය. ඒ ව්‍යාපාරවලින් දැන් 2,000කට වැඩි ගණනක් වැසී ගොසිනි. ඒ නියෝජිතයන් ඔස්සේ කොමිස් හා දිරි දීමනා ලෙස පමණක් අවුරුද්දකට රුපියල් බිලියන දෙකක් ග්‍රාමීය ආර්ථිකයට එකතු විය. ඒ මුදල දැන් ග්‍රාමීය ආර්ථිකයට එකතු නොවෙයි.
රට පුරා සිටින ඒ නියෝජිතයන් මගින් නැතහොත් ඒ ව්‍යාපාරවලට ආරක්ෂාව සැපයූ, පවිත්‍රකාරක සේවා සැපයූ, භාණ්ඩ ප්‍රවාහනය කළ හා බෙදාහල සමාගම්වලට 2019 අවුරුද්දේදී රුපියල් බිලියන හයක් අපේ සමාගම් 26 මගින් ගෙවා තිබේ. ඒ රුපියල් බිලියන හයත් දැන් රටේ ආර්ථිකයට එකතු නොවෙයි. ඒ නිසා ඒ සේවා සැපයූ සමාගම් ද දැන් බංකොළොත්ව පවතියි. එසේම, මූල්‍ය සේවා සැපයූ ලීසිං සමාගම් ද දැන් හාන්සි වී පවතියි. ලංකාවේ බොහෝ දෙනා වාහන මිලදීගන්නේ ලීසිං පහසුකම් යටතේය.
ලීසිං සමාගම්වලට අපේ සමාගම් 26 හේතුවෙන් 2019 දී ගලා ගිය මුදල රුපියල් බිලියන 124කි. සරලව කිවහොත් ලීසිං සමාගම්වලින් අලුත් වාහන මිලදීගත් අයට පමණක් දී තිබෙන ලීසිං පහසුකම්වල වටිනාකම රුපියල් බිලියන 124කි. පාවිච්චි කළ වාහන මිලදීගැනීමට දී තිබෙන ලීසිං පහසුකම්වල වටිනාකම මේ රුපියල් බිලියන 124ට ඇතුළත් නොවේ. වාහන ආනයන තහනම නිසා රැකියා නැති වූ 15,000 අතරට ලීසිං සමාගම්වල සේවය කරමින් සිට රැකියා අහිමි වූ පිරිස ඇතුළත් නොවෙයි.
අලුත් සහ පරණ වාහන ආනයනයෙන් 2019 දී රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 130කි. එය රජයේ මුළු ආදායමෙන් සියයට 6.8ක් බව නිල නොවන වාර්තා කියයි. ඒ සියල්ල දැන් රජය ද අහිමිය. ඒ අනුව, වාහන ගෙන්වීම නැවැත්වීමෙන් ප්‍රශ්න ඇති වී තිබෙන්නේ වාහන ආනයන සහ ඒවාට සේවා සපයන පුද්ගලයන්ට, ආයතනවලට සහ සමාගම්වලට පමණක් නොවේ. ඒ නිසා යළි වාහන ගෙන්වීමට අවසර දුන්නොත් ආරක්ෂක සේවා සහ පවිත්‍රකාරක සේවා සපයන සමාගම්වලට පමණක් නොව භාණ්ඩ හා වාහන ප්‍රවාහනය සහ බෙදාහරින සමාගම්වලටත්, ලීසිං හා රක්ෂණ සේවා සපයන සමාගම්වලටත් යහපතක් වෙයි. එමගින් රටේ ආර්ථිකය ද යළි පිබිදෙයි. එවිට රජයේ ආදායම ද ඉහළ යයි.
එහෙත්, බොහෝ දෙනා කියන්නේ වාහන ගෙන්වීමට අවශ්‍ය තරම් ඩොලර් රටෙහි නැති බවය. 2019 කියන්නේ ආනයන තහනම් කිසිවක් නොතිබූ වසරකි. මහ බැංකුවේ දත්ත අනුව 2019 දී රටේ සමස්ත ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 19.937කි. වාහන ගෙන්වීමට වැය වී තිබෙන්නේ ඉන් ඩොලර් මිලියන 815කි. ඒ කියන්නේ සමස්ත ආනයන වියදමින් සියයට 4කි. යතුරුපැදි ආනයනයට වැය වී තිබෙන්නේ දළ වශයෙන් ඩොලර් මිලියන 200කි.
2019 දී ලංකාවට ගෙන්වා තිබෙන යතුරුපැදි ප්‍රමාණය ලක්ෂ 3කි. ඒ 2019 දී මුහුදු මාළු ගෙන්වීමට වැය වී තිබෙන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 214කි. යතුරුපැදි ලක්ෂ තුනක් ගෙන්වීමට වැය වන මුදලට වඩා වැඩි මුදලක් වැය කර රට වටේම මුහුදක් තිබෙන රටකට මුහුදු මාළු ගෙන්වා තිබෙන බව ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි. 2020 දී ඩොලර් මිලියන 188ක ද 2021 දී ඩොලර් මිලියන 122ක ද මුහුදු මාළු පිටරටවලින් ලංකාවට ගෙන්වා තිබේ. සියලු ආනයන නවත්වන බව කිව්වේ රටේ ඩොලර් නැති නිසාය.
එහෙත්, ගෘහ භාණ්ඩ සහ විදුලි භාණ්ඩ හා උපකරණ ද මේ කාලයේ පිට රටවලින් ගෙන්වා තිබේ. 2019 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 378ක ද 2020 දී ඩොලර් මිලියන 321ක ද 2021 දී ඩොලර් මිලියන 418ක ද ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ආනයනය කර තිබේ. මේ යටතේ අඟල් 65 පළල රුපවාහිනී යන්ත්‍ර ද ලංකාවට ගෙන්වා තිබේ. ඒ කාලයේ නිමි ඇඳුම් ද ආනයනය කර තිබේ.
2019 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 275ක ද 2020 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක ද 2021 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 221ක ද 2022 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 215ක ද නිමි ඇඳුම් මෙරටට ගෙන්වා තිබේ. එපමණක් නොව මේ කාලයේ එළවළු සහ පලතුරු ද ආනයනය කර තිබේ.
2019 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 310ක ද 2020 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 352ක ද 2021 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 384ක ද 2022 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 318ක ද එළවළු සහ පලතුරු මෙරටට ආනයනය කර තිබේ. ඒ, ඩොලර් නැති බව කියමින් සියල්ල ආනයනය කිරීම නවතා දමා තිබෙන පසුබිමකය. මා මේ තොරතුරු කියන්නේ සංසදනයක් සඳහා මිස ඒ කර්මාන්තවලට පහරදීමේ අරමුණකින් නොවන බව ඉඳුරාම කියමි.
අලුත් හා පරණ වාහන ආනයනය සඳහා 2019 දී වැය වී තිබෙන්නේ ඩොලර් මිලියන 815කි. 2020 දී ඩොලර් මිලියන 282ක ද 2021 දී ඩොලර් මිලියන 12ක ද 2022 දී ඩොලර් මිලියන 11ක ද වාහන ආනයනය කර තිබේ. 2021 දී සහ 2022 දී ගෙන්වා තිබෙන්නේ ගිලන් රථ හා තානාපති කාර්යාලවලට අවශ්‍ය වාහන සහ රජයට අත්‍යවශ්‍ය වාහනයි. වාහන ආනයන වියදම 2019 සිට 2022 වෙද්දී ඩොලර් මිලියන 815 සිට 11 දක්වා පහත බැස තිබෙන බව ඉන් අනාවරණය වෙයි. එයින් රටේ ආර්ථිකයේ ඇති වූ ප්‍රශ්න සහ ඒ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇති වී තිබෙන සමාජ ප්‍රශ්න ගැන කිසිවකු තාමත් නිවැරැදි තක්සේරුවක් කර නැති බව අපේ වැටහීමයි.
අනෙක මේ සීමා කිරීම් සහ තහනම් කිරීම්වලින් වැඩියෙන්ම පහර වදින්නේ දුප්පත් සාමාන්‍ය මිනිසුන්ටය. රටේ වැඩි පිරිසක් පාවිච්චි කරන්නේ ස්කූටර්ය. 2015 වෙද්දී රටේ තිබුණු වාහනවලින් සියයට 60ක් ස්කූටර්ය. ඒ එක ස්කූටරයක මිල ඇමෙරිකන් ඩොලර් 600 සිට 700 අතර වෙයි. අඟල් 65 පළල රූපවාහිනියක සහ දොර දෙකේ ශීතකරණයක මිල ද ඩොලර් 600 සිට 1,000 අතර පවතියි.
ඩොලර් 500 සිට 1000ටත් වඩා වටිනා ජංගම දුරකතන ද දැන් රටට ගෙන්වයි. එහෙත්, පුංචි මිනිසුන් පාවිච්චි කරන ඩොලර් 700කට අඩුවෙන් වටිනා ස්කූටර් ගෙන්වන්නට ඉඩ නොදෙන්නේ ඇයි? කාර්, ජීප්, වෑන්, ට්‍රක්, ලොරි, බස් ආනයනය පැත්තකින් තබමු. යතුරුපැදි ගෙන්වන්නට ඉඩ නොදෙන්නේ ඇයි? ලංකාවට අවුරුද්දකට අවශ්‍ය යතුරුපැදි ගෙන්වීමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 150කට අඩු ගණනකි. ඩොලර් මිලියන 215ක් ගෙවා නිමි ඇඳුම් ද ඩොලර් මිලියන 318ක් ගෙවා එළවළු හා පලතුරු ද ගෙන්වන රටක පුංචි මිනිසුන්ට අවශ්‍ය ස්කූටර් ගෙන්වන්නට ඩොලර් මිලියන 150කට අඩු ගණනක් දිය නොහැක්කේ ඇයි?
සංගමයක් ලෙස අප කියන්නේ පළමුව රටින් පිටට ඩොලර් අසීමිතව ගලා යාම නැවැත්විය යුතු බවයි. ඒ සඳහා වාහන ආනයන සීමා සියල්ල එකවර ඉවත් නොකළ යුතුයි. දෙවනුව පාවිච්චි කළ වාහනවල මිල ජනතාවට දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යා යුතුයි. තෙවනුව රජයේ ආදායම් ඉහළ නංවාගත යුතුයි. ඒ අරමුණු ඉටුකරගැනීම සඳහා අපි යෝජනා කිහිපයක් කරමු.
අදියර තුනකින් වාහන ගෙන්වීමට අවසර දෙන්න. පළමුව යතුරුපැදි සහ ත්‍රීවීලර් ගෙන්වීමට අවසර දෙන්න. දෙවනුව රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වාණිජ වාහන ගෙන්වීමට ඉඩ දෙන්න. පෞද්ගලික පාවිච්චියට ගන්නා කාර් සහ ජීප් ගෙන්වීමට ඉඩ දිය යුත්තේ තෙවැනිවය. ඒ අදියර තුන ක්‍රියාත්මක කළ යුත්තේ කොපමණ කාල පරාසයක් ඇතුළත ද කියා රජයට අප සමග සාකච්ඡා කළ හැකිය.
අදියර තුනක් යටතේ වාහන ගෙන්වීමට ඉඩ දිය යුත්තේ ද දැනට තිබෙන බදුවලට අමතරව තවත් සියයට 130ක බද්දක් පනවමිනි. ඒ බද්ද පැනවිය යුත්තේ වාහනයේ වටිනාකම මතය. පළමුවැනි කාර්තුවේදී සියයට 130ක බද්දකුත්, දෙවැනි කාර්තුවේදී සියයට 115ක බද්දකුත්, තෙවැනි කාර්තුවේදී සියයට 100ක බද්දකුත්, සිව්වැනි කාර්තුවේදී සියයට 85ක බද්දකුත් වශයෙන් ඒ බද්ද කාර්තුවකට සියයට 15 බැගින් අඩු කළ යුතුය. එසේ කිරීමෙන් කාර්තු අටකදී ඒ සියයට 130 අමතර බද්ද අහෝසි වෙයි. පියවරෙන් පියවර එසේ කළහොත් රජයේ බදු ආදායම ඉහළ යයි. දැනට දැරිය නොහැකි මට්ටමක තිබෙන පාවිච්චි කළ වාහනවල මිල ද පහත වැටෙයි.
එසේම, එකවර ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටට ගලා යාම ද නවතියි. අපට කළ හැක්කේ යෝජනා කිරීමය. තීන්දු ගත යුත්තෝ ආණ්ඩු කරන්නෝය. අප යෝජනා කරන්නේ අපත්, ජනතාවත්, රටත් රැකෙන ක්‍රමයකි. රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්න අවම වන ක්‍රමයකි. ආණ්ඩු කරන්නෝ ඒ ප්‍රශ්නවලට පිළියම් සොයන්නෝ නම්, අපට සවන් දිය යුතු බව අපේ විශ්වාසයයි.
සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සභාපති චාරක පෙරේරා