රථවාහන අස්සේ පොලිසියේ වෙහෙසකර රාජකාරිය


‘‘මහ මග රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්නැයි’’ රියැදුරු අසුනේ වාඩිගන්නා රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි මාධ්‍ය සාකච්ඡාවක් තබා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ඉකුත් දා ප්‍රකාශ කළේය.

අතිශයින්ම සංවේදී ආයාචනයකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට එබඳු සංවේදී ඉල්ලීමක් කිරීමට සිදුවූයේ ආසන්න දිනවල දෙතැනක දී පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය යාමේ සිදුවීම් සමඟය.

කොළඹ කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් නිදහස් චතුරස්‍ර වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියේය. පිම්මේ පැමිණි සුඛෝපභෝගී රථයක් කොස්තාපල්වරයා යට කරගෙන ගියේය. බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද පසුව දා ඔහු ජීවිතයට සමු දුන්නේය.

එම සිදුවීමෙන් දෙතුන් දිනක් ගතවීමටත් මත්තෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් වැලි පිරවූ ටිපරයකට යටවී මිය ගියේය. ඒ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හන්දියේදීය. එම පොලිස් කොස්තාපල්වරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ රාත්‍රී කාලයේ මාර්ගයේ රාජකාරී කරමින් සිටිය දී මෙම අනතුරට ලක්විය. වැලි පිරවූ ටිපරයේ ගැටී විසි වූ පොලිස් කොස්තාපල්වරයා පොලිස් ජීප් රියේ බඳෙහි ගැටී බිම වැටී තිබේ. එයින්ම ඔහුගේ ඉරණම විසඳුණි.

රිය අනතුරුවලින් තුවාල වන මියයන සෑම පුරවැසියකු සම්බන්ධයෙන් අපගේ සංවේගය පළකළ යුතුය. එහෙත් මහා මාර්ගයේ රාජකාරි කරමින් සිටිය දී රිය අනතුරුවලට ලක්ව මිය යන තුවාල වන පොලිස් නිලධාරීන් විශේෂිතය.

මාර්ගයේ රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට එම රාජකාරියේ නිරතවන්නට සිදුවන්නේ මහ පාරේ මැද සිටය. ඔහුට තිබෙන්නේද ඇස් දෙකකි. එමෙන්ම එම රාජකාරිය අතිශයින්ම දුෂ්කරය. දාහයත්, දූවිල්ලත් පිරුණ මහා මාර්ගයක ගිනි අව්වේ පිච්චෙමින් සිදුකරන එම රාජකාරිය අතිශයින්ම වෙහෙසකරය. ඇතැම් විට ඇදහැලෙන අනෝරා මහ වැසි මැද වැසි දියට තෙත බරිත වෙමින් එම රාජකාරිය කිරීමට ඔවුන්ට සිදුවේ. එම පොලිස් නිලධාරීන්ගේ රාජකාරි ස්වරූපය ගැන හැඟීමක් රියැදුරන්ට තිබිය යුතුය.

කිසිදු රියැදුරෙකු වුවමනාවෙන් අනතුරු කරනු ඇතැයි සිතිය නොහැක. එහෙත් නොසැලකිලිමත්ව රිය පැදවීම ඇතැමෙකුගේ විනෝදාංශයකි. මහ මග රේස් යාමට ඇතැමෙක් බොහෝ කැමති වෙති. එමෙන්ම දඩය හා දඬුවම කෙතරම් සැර වුවද බේබද්දෝ රිය පදවති. එබඳු බේබද්දන්ට බීමත්ව රිය පැදවීමට පොලිසියේ අයකු හැඳිනීම හා ඥාතියකු පොලිස් නිලධාරීයකුවීම බලපත්‍රයක් බඳුය.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරි සරණ එක් වීඩියෝවක බීමතින් රිය පදවා අනතුරක් කළ රියැදුරකු දිස් වෙයි. එහිදී ඔහු කියන්නේ ඩී.අයි.ජී. මගේ මාමා කියාය. ඒ.ඩි.අයි.ජී හෙවත් නියෝජය පොලිස්පතිවරයා කවුදැයි අපි නොදනිමු. 

සැලකිල්ලෙන් අවධානයෙන් හා මනා සිහි කල්පනාවෙන් රිය පදවන්නේ නම් බොහෝ අනතුරු වළක්වාගත හැකිය. එය එසේ වන්නේ නම් මහමග රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ මෙන්ම සෙසු පුරවැසියන්ගේ ආරක්ෂාවට ද ඉතා යහපත්ය.

(***)