රසිකයා දමනය කළ හැකි භාෂාත්මක ශික්ෂණයක් නිර්මාණකරුවාට අවශ්‍යයි


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝලිතභානු දිසානායක මහතා පර් යේෂකයකු, සංගීතඥයකු. ගායකයකු විචාරකයකු මෙන්ම දේශකයකු ලෙස ද තම ශාස්ත්‍රීය නිර්මාණාත්මක දායකත්වය නොමදව මෙරට සමාජයට ලබාදෙන විද්වතෙකි. දිසානායක මහතා විසින් සම්පාදිත ‘සංගීතවිද්‍යා සංකථන’ ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උලෙළ දෙසැම්බර් මස 03 වැනිදා පෙරවරු 9.30ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලයනල් එදිරිසිංහ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කෘතියෙහි සාහිත්‍යයික, ශාස්ත්‍රීය අගය සහ සාහිත්‍ය කලා භාවිතාවන්ගේ සමාජ අවශ්‍යතාව යන කරුණු පදනම් කොටගෙන දිසානායක මහතා සමඟ අප විසින් පවත්වන ලද සංවාදයක සටහනකි මේ. 

සංගීත විෂය ක්ෂේත්‍රය අළලා ඔබ විසින් සම්පාදනය කරන ලද ‘සංගීත විද්‍යා සංකථන’ නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථයේ වැඩි වශයෙන් අවධානයට යොමු කොට තිබෙන්නේ කවර කාරණා පිළිබඳවද?

මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ සංගීත විද්‍යා අධ්‍යයන අංශයෙහි මවිසින් පවත්වන්නට යෙදුණ දේශනවල සාරය මෙම ග්‍රන්ථයට හකුළුවා දක්වා තිබෙනවා. ඇත්තෙන්ම මෙය සංස්කරණ ග්‍රන්ථයක් හැටියටයි ඉදිරිපත් වන්නේ. මේ කාර්යයේ දී මගේ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිල්ටස් දයාවංශ මහතාත් එක්ව සිටිනවා. ඊට අමතරව සමිත සමරතුංග මහතා සහාය සංස්කාරකවරයා ලෙස දායකවී තිබෙනවා. 
සංගීත විද්‍යා අධ්‍යයන අංශය පුබුදුවාලීමෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ආචාර්ය අනුර හේමන්ත රත්නසේකර මහතාට තමයි මේ ග්‍රන්ථය පුද දීලා තියෙන්නේ. 

ලෝකයේ භාවිත ප්‍රධාන සංගීත සම්ප්‍රදාය ත්‍රිත්වයක් තිබෙනවා. උත්තර භාරතීය රාගධාරි සංගීතය, බටහිර ශාස්ත්‍රීය සංගීතය, කාර්ණාටක සංගීතය නැත්නම් දක්ෂිණ භාරතීය සංගීතය වශයෙන්. මේ සම්ප්‍රදායන් තුනෙහි නාදමය සන්දර්භය හෝ ආශ්චර්යයට තුඩු දෙන සෛද්ධාන්තික පිළිවෙත් පුළුල් ලෙස මේ ග්‍රන්ථයෙන් සාකච්ඡාවට ලක් කොට තිබෙනවා. එසේම මේවායෙහි සාපේක්ෂතාව අධ්‍යයනය කරනු වස් ප්‍රධාන තේමා පහක් ඔස්සේ මේ සංගීත සම්ප්‍රදාය ත්‍රිත්වය ම සාකච්ඡාවට ගැනෙනවා මේ කෘතිය තුළ.

නාද නිෂ්පත්තිය හා නාදමය ආකෘතියෙහි ප්‍රස්තුත න්‍යාය, ගායනය හෝ සංගීත භාණ්ඩ ආශ්‍රිත ශිල්පයෙහි න්‍යාය, විශේෂිත පොදු ශිල්ප ක්‍රම, නාදය – තාලය - වෘත්තය - මාත්‍රාව හෝ තනුව ආශ්‍රිත අභිවර්ධනයෙහි  න්‍යාය, ප්‍රාසංගිකත්වය හා බැඳුණු ධර්මතා හෝ ආචාර්ය ධර්ම යනු ඒ ප්‍රධාන තේමා පහයි. 

අනෙක් පැත්තෙන් සංගීතය විද්‍යාවක් වන්නේ ඇයි කියන කාරණාවත් විද්‍යාවෙන් තොර කලාවක් නැද්ද කියන කාරණාවත්, සංගීතයේ ජීව විද්‍යාත්මක භෞතික හා මනෝ මූලික ක්‍රියාවලිය මත න්‍යාය ගොඩනැගෙන ආකාරයත් මේ ග්‍රන්ථයෙන් තවදුරටත් විග්‍රහ වෙනවා. එසේම ශිල්පීයත්වය, අනන්‍යතාව හා ස්වාධිපත්‍යය උදෙසා න්‍යාය බලපාන ආකාරයත් මෙහි ඇතුළත්. සංගීතයේ සිදුවන්නේ වෙන කිසිවක් නොව මේ ස්වාභාවික සංසිද්ධි ප්‍රේෂණය කිරීමයි. එහිදී පුද්ගලයකුගේ මනෝ මූලික ක්‍රියාවලිය විසින් දමනය කෙරෙන අන්දම මේ සංගීත සම්ප්‍රදාය ත්‍රිත්වයෙහි ඇතුළත්. 

අපේ රටේ සාහිත්‍යය පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී බොහෝවිට සංගීත සාහිත්‍යයේ ශාස්ත්‍රීය ග්‍රන්ථවල යම් අඩුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඊට හේතුව කුමක්ද? ශාස්ත්‍රීය වශයෙන් පොහොසත් සංගීත සාහිත්‍යයක අවශ්‍යතාව කෙබඳුද?

සංගීත සාහිත්‍යය සම්බන්ධව ප්‍රධාන කරුණු පහක් යටතේ යම් අදහසක් ඉදිරිපත් කළ හැකියි. සිද්ධාන්තයට හා න්‍යායට අදාළ සාහිත්‍යය, සංගීතයේ භාවිත පාරිභාෂික පදවලට අදාළ නිරුක්තිය හා සම්බන්ධ සාහිත්‍යය, සංගීත ඉතිහාසය හා පරිණාමය ට අදාළව ගොඩනැඟෙන සාහිත්‍යය, විවිධ සංගීත සම්ප්‍රදායවල භාවිත වන සංගීත ප්‍රබන්ධවලට අදාළවන සාහිත්‍යය, සම්ප්‍රදායික හෝ ජන සංගීතයේ ව්‍යවහාරයට  අදාළ සාහිත්‍ය මේ ප්‍රධාන කොටස් කීපයයි. 

පොහොසත් සංගීත සාහිත්‍යයක අවශ්‍යතාව පැහැදිලිව සාකච්ඡාවට  ගත යුත්තක්, හැබැයි සතුටින් කියන්න පුළුවන් විධිමත් පර් යේෂණ කාරියෙහි නියැළී සිටින තරුණයන් බොහෝ දෙනෙක් ස්වකීය අධ්‍යයන පළකිරීමට නැඹුරුව සිටිනවා. හැබැයි මා පිළිගන්නවා අපගේ මවු භාෂාවෙන් රචිත පොහොසත් සංගීත සාහිත්‍යයක යම් අඩුවක් තිබෙන බව. කොහොම වුණත් වත්මන් පරම්පරාවේ අර මා මුලින් කී මැදිහත්වීම්වල ප්‍රතිඵල අනාගතයේ දැකගන්න පුළුවන් වේවි. 

ගීතය අපේ රටේ ජනප්‍රිය මාධ්‍යයක්. ගීතයකින් උසස් වින්දනයක් ලබාදීමටත් එහි කල්පැවැත්මටත් ගීතයක පද මාලාව කරන බලපෑම කෙබඳුද?

උසස් වින්දනයේ කල්පැවැත්ම කියන කාරණාවේදී සාහිත්‍යයික සාරාර්ථ කියන දේ ඉතාම වැදගත් වෙනවා. අපේ රටේ සරල ගීතය ගත්තත් චිත්‍රපට ගීතය ගත්තත් වෙනත් ගීතයක් ගත්තත් ඒවායේ සාහිත්‍යයික සාරය, උසස් රසවින්දනයට හේතුවී ඇති බවට ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. 

මෙහිදී බොහෝ වෙලාවට අපේ රටේ සිදු වෙලා තියෙන්නේ ගායකයාගේ ගායනවේදය පිළිබඳව පමණක් වැඩි අවධානයට යොමුවීමයි. ඒත් ජනප්‍රිය ගීතයක් තුළ සැඟවිලා තියෙන්නේ පද රචකයාගේ හා සංගීත අධ්‍යක්ෂවරයාගේ ඥානය, දැනුම හා අර්ථකථනයයි. භාෂාත්මක අර්ථයෙහි සංගීතඥයා දැක්ක අර්ථකථනය තමයි තනුවෙන් විද්‍යමාන වන්නේ. භාෂාවේ හැඩය හා ධ්වනිය පදනම් කොටගෙන තමයි ඔහු ඒ දේ කරන්නේ. 

ගීතයක පද රචනයෙන් තමයි එහි ගාමක ශක්තිය ඉදිරියට රැගෙන යන්නේ. ගීතයක් සාර්ථක වීමට ත්‍රිපුද්ගල සම්මාදමක් දායක වන අතරෙහි රස, භාව, අර්ථ, ධ්‍යාන යන කරුණු මතු කරගැනීමේදී පදමාලාව වඩාත් වැදගත් වෙනවා. රසය කියන එක යම් රසිකයකුගේ මනසට ඇතුළුවන්නේ පදමාලාව කේන්ද්‍රගත කරගෙනයි. සංගීතය සහ පදමාලාව එකට සමපාතව ගමන් කළොත් තමයි සාර්ථක නිර්මාණයක් ගොඩනැඟෙන්නෙ. ඒ නිසා මා විශ්වාස කරනවා මේ සමාජයේ ගායක ගායිකාවන් ගැන කතා කරනවා වගේම ඉතා පුළුල් සාකච්ඡාවක් පදරචකයන් හා සංගීතඥයන් සම්බන්ධයෙනුත් අවශ්‍යයි. 

මෙරට ගීත කලාවේ ස්වර්ණමය යුගය අවසන් වී ඇතැයි චෝදනාවක් නැඟෙනවා. අද බොහෝ විට අසන්නට ලැබෙන ගීත සම්බන්ධයෙන් විද්වතුන්ගේ ප්‍රසාදයක් නැති බවද පෙනෙනවා. මේ ගැන මොකද හිතන්නේ?

මේ ප්‍රශ්නයේදී මම ඉන්නේ මධ්‍යස්ථ තැනක, ගීතයේ ස්වර්ණමය යුගය අවසන් වෙලා කියල කියන්න ඉක්මන් වෙන්න ඕනෑ නෑ. ඔබ මේ මතුකරන ස්වර්ණමය යුගය ගැන අපට ලොකු ප්‍රසාදයක් තිබෙනවා. පනස් හයේ පෙරළියේ ප්‍රතිඵලත් එක්ක එහි කූටප්‍රාප්තිය සිද්ධවෙන්නේ 70 දශකයේ දී. ඒත් ඇතැම් විද්වතුන් අද කෙරෙන යම් යම් නිර්මාණ ගැන ප්‍රසාදයක් නැති බව ප්‍රකාශ වෙනවා. 

මම හිතන්නේ ප්‍රසාදයෙන් කතා කරන්න බැරි නිර්මාණ සිදු වෙනවා වගේම අතිශය ඇගැයීමට ලක් කළ හැකි නිර්මාණ සුළු වශයෙන් හෝ වර්තමානයෙත් බිහි වෙනවා. හැබැයි ඒ නිර්මාණ තුළ තරුණ සංගීතඥයන්, ගායක ගායිකාවන්, පද රචකයන් පෙළඹෙනවා අර එතෙක් පැවැතීගන ආ ආකෘතියෙන් මිදිලා යම් යම් විශේෂිත අත්හදා බැලීම්වල යෙදෙන්න. ඔවුන් යම් ප්‍රායෝගික හැඩයක් ඒවා තුළ සොයන බව පෙනෙනවා. ඒ නිසා වර්තමාන නිර්මාණ සියල්ල හොඳ නෑ කියල අප්‍රසාදයෙන් බැහැර කරන්න අප ඉක්මන් විය යුතු නැහැ. 

හැබැයි එක් සත්‍යයක් තිබෙනවා. මා මෙය පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. ඒ තමයි සමහර වත්මන් නිර්මාණ සමාජය තුළ නැත්නම් සංගීත සංස්කෘතිය තුළ සදාතනික වෙනවාද කියන ප්‍රශ්නය. මේවා කිසියම් කාලයකට සීමා නොවී ජනවිඥානය තුළ තැන්පත් වෙනවාද? ගොඩක් නිර්මාණ කාලීනව මතුවෙලා කාලීනව මතකයෙන් ඉවත් වෙනවා. හැබැයි ඔබ මතු කළ අර ස්වර්ණමය යුගයට ඒක වුණේ නැහැ. එකල ඒ නිර්මාණ සදාතනික කලා කෘති හැටියට එදත් අදත් මතුවටත් මේ ජන විඥානය තුළ තැන්පත් වෙලා තිබෙනවා. 

මෙහිදී අපේ තරුණ පරම්පරාවට මා යෝජනා කරනවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇයි ඒ ස්වර්ණමය යුගයේ නිර්මාණ සදාතනික අගයකට පාත්‍රවුණේ කියලා. කාලයකට සීමා නොවන ප්‍රායෝගික සාරයක් ඒ නිර්මාණවල තියෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් හිතන්න. 

මම හිතන්නේ මේකට ප්‍රධාන හේතුව තමයි තරුණ පරපුර ඔවුන්ගේ සමාජ සංස්කෘතික පරිසරයෙහි ඔවුන්ගේ නිරීක්ෂණ, නිර්නායකවලට ජනප්‍රිය තලයේ අදාළ මිනුම්දඬු භාවිත කිරීම. මේ තත්ත්වය වෙනස්කර ගත්තොත් පෙර තිබූ ස්වර්ණමය යුගයට සමපාත වන එම යුගයේ සහජාත දරුවන් හැටියට විදග්ධ කලාකෘති දායාද කරන්න පුළුවන් වෙයි. ඒ සඳහා ශක්තිය ඇති තරුණ කලාකරුවන් අපට සිටිනවා. ඔවුන් මීට වඩා විමර්ශනශීලීව විචක්ෂණශීලීව මේ ක්ෂේත්‍රයේ සිදුවන ක්‍රියාදාමය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. 

විශේෂයෙන් නූතනයේ පද රචකයකුට අවශ්‍ය භාෂාත්මක ශික්ෂණය, වින්දනය හා දැනුම සම්බන්ධව ඔබ දරන මතය කුමක්ද?

භාෂාත්මක ශික්ෂණය කියන්නේ වඩාත් ගැඹුරු විෂය ක්ෂේත්‍රයක්. මේක අපි සාමාන්‍ය ජීවිතයේදී පවා නිතිපතා භාවිත කරන අත්දකින දෙයක්. මේ ශික්‍ෂණය කියන වචනයෙන් කුළුගන්වන ගැඹුර ඒ අසිරිය කලා මාධ්‍යයකට භාවිත කිරීමේදී ඇත්තටම එය අභ්‍යාසයෙන් සිදු විය යුත්තක්. සාමාන්‍ය රසික සමාජයට අප සාහිත්‍යයෙන් හෝ වෙනත් කලා මාධ්‍යයකින් කලා කෘතියක් මුදාහැරීමේදී අනිවාර්යයෙන් බලන්න ඕනෑ එයින් සමාජයට සිදුවන බලපෑම කුමක්ද කියලා. එහෙම බැලුවාම ගීතයක් වගේ නිර්මාණයකදී භාෂාත්මක ශික්ෂණය තමයි වින්දනීය දැනුම පෝෂණය කරන්න ඥානනය කරන්න ප්‍රබලම පිටිවහලක් වන්නේ. රසිකයා දමනය කරන්නේ එමඟින්. ඒ භාෂාත්මක ශික්‍ෂණය තමයි කලා නිර්මාණයක ප්‍රධාන සුදුසුකම වෙන්නෙ. රසිකයා එම නිර්මාණය තමන්ගේ කරගන්නෙ අර දමනයෙන්. 

මේ ශික්‍ෂණය කියන වචනයේ තියෙනවා විනය පිළිබඳව යම් අදහසක්. මේ කියන අභ්‍යාසයේ නියැළුණාම තමයි වින්දනීය පාර්ශවය හා රසාලිප්ත බව කියන එක ඇති වෙන්නේ. මේ වින්දනීය දැනුම ප්‍රමුදිත වූ තරමට තමයි සමාජයක පැහැපත් බවක් ඇති වෙන්නෙ. රටක සමාජයක විනය, දැනුම්වත් භාවය, උගත්කම, චින්තනය සම්බන්ධව ගත හැකි හොඳ මිනුම් දණ්ඩක් වන්නේ ඒ ජනතාවගේ භාෂාත්මක ශික්ෂණය යි. ඒ නිසා කලා මාධ්‍යයක ගාමක දේහයෙහි ප්‍රමුඛ විය යුත්තේ භාෂාත්මක ශික්ෂණයයි. 

වත්මන් සමාජයේ උසස් රසඥතාව ගිලිහී ඇති බවට නිතර චෝදනා නැගෙනවා. මේ වෙනුවෙන් වගකිය යුත්තේ කවුද?

ඒක ටිකක් උත්තර දෙන්න අමාරු සංකීර්ණ ප්‍රශ්නයක්. මේක මම හිතන්නෙ සමාජ විද්‍යාත්මක කරුණු කාරණාත් එක්ක ගැටගැහුණු දෙයක් හැටියට. මේ ගිලිහී යාම කියන එක අද අපට විමර්ශනය වන්නේ තරුණ පරම්පරාව තුළයි. ඒක බරපතළ වෙන්නේ පසුගිය දශක දෙකක පමණ කාලය තුළ. මේ පිරිස අර පෙර කී කලා භාවිතයට වඩා වෙනස් සංස්කෘතික ලෝකයක් දකිමින් ඊට අදාළ ඥානනය ලබමින් ඇතිදැඩිවුණ පිරිසක්. එහිදී පැහැදිලිවම අපට පෙනෙන දෙයක් තමයි ඒ අයව කලා භාවිතය පැත්තෙන් ඥානනය කිරීමට අවශ්‍ය කරන පසුබිම්ගත සාධක රටේ ගිලිහිලා ගිහින් තිබෙනවා. 

එහි මූලිකම දේ තමයි මා අදත් විශ්වාස කරනවා මේ අධ්‍යාපන ක්‍රමය රසාලිප්ත මනසක් වෙත යොමු කරන අවධානය ඉතාම අඩුයි. මීට වඩා අධ්‍යාපන ක්‍රමය වෙනස් මගකට යොමු විය යුතුයි. හොඳ නිර්මාණශීලී මිනිසෙක් සකස් කිරීමේ දැක්ම අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙනවාද? ඒ උන්මාදය පාසල තුළ ඇතිවෙනවද? එහෙම හැදෙනවා නම් හැදෙන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔවුන්ගේ පෙළඹීම් මත. තෝරා ගැනීම් මත. ඒත් පාසලෙන් හැදෙනවද?
අපි දන්නා දියුණු අධ්‍යාපන ක්‍රම භාවිතවන රටවල්වල සිද්ධවෙන්නේ විවිධ ක්ෂේත්‍රවලට දරුවන්ගේ ඇති උනන්දුව වුවමනාව වෙත ඔවුන් යොමු කිරීමයි. මෘදු සංවේදනවලට අවශ්‍ය කරන සාධනීය වැඩපිළිවෙළ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙම තිබෙනවා. ගීතය, සාහිත්‍යය, කලාව, ඉතිහාසය, පුරාවිද්‍යාව. ජනශ්‍රැති, ගොවිතැන, දේශීයත්වය කියන ඒවාට අදාළව ලොකු ඥානයක් අධ්‍යාපන ක්‍රමයක් ඇතුළෙම තිබිය යුතුයි. ඒත් ඒ රික්තය අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ තිබෙනවා. 

මේ සාම්ප්‍රදායික විෂය රාමුවක ගොඩනැඟෙන පිරිස සාමාජයට මුදා හැරියට පස්සේ රසඥතාවට අවශ්‍ය කරන මූලික පදනම ලැබිලා නෑ. අද නවයොවුන් වියට පැමිණ සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන්, තරුණ තරුණියන් එකට එකතුවුණාම ඔවුන්ගේ සාකච්ඡාවල මොනවාද තියෙන්නේ. ඔවුන් හැසිරෙන්නෙ කොහොමද? ඔවුන්ටත් රසයක් තියනවා තමයි. හැබැයි ඒ අය උසස් රසය කියන එක වින්දනාත්මක ශික්ෂණය කියන එක තේරුම් අරන් තිබෙනවාද? මනස දමනය කරගත යුත්තේ කොහොමද කියලා මේ අයට පැහැදිලි අවබෝධයක් තිබෙනවාද? ශ්‍රවණ පුරුද්ද, කියැවීමේ පුරුද්ද, පරිශීලන පුරුද්ද කොහොමද නාභිගත කරගන්නේ කියන එක මොවුන්ගෙන් අතහැරිලා තිබෙනවා. 

මොවුන් අද ලෝකයේ සමාජ මාධ්‍යයේ විවිධාකර දේවල් පරිශීලනය කරමින් යම් ඇදවැටීමකට ලක්ව සිටිනවා. අද තරුණයන් තාක්ෂණයට අදාළව බොහෝ  ඉදිරියෙන් සිටිනවා. හැබැයි තාක්ෂණයෙන් ලබාගන්නා තොරතුරුවල නිරවද්‍යතාව තේරුම්ගන්න අවබෝධයක්, ගැඹුරු වින්දනයක් තිබෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. මේ හේතුවෙන් ඉතාමත් හොඳ කලා නිර්මාණයක් ඔවුන් අතට පත්වුණත් එය නීරස දෙයක් හැටියට සලකලා ඉවත දමනවා. ඒවා ගෝචර කරගන්න තරම් පසුබිම්ගත වින්දන අවකාශයක් ඔවුන්ට ලැබිල නෑ. ඉතින් මේකට වගකියන්න ඕනෑ කවුද කියන කාරණාවෙදී මට හිතෙන්නේ මීට වඩා අපේ උගත් සමාජය මේ ගැන අවධානය යොමු කළ යුතු බවයි. ඒ උගත් සාමාජය අවතීර්ණ වුණත් මේ මහා ප්‍රවාහයට යම් බලපෑමක් කරන්න තරම් අවශ්‍ය කරන පසුබිම, පවුර ගොඩනැඟිල තියනවද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. 

 

සංවාද සටහන ගාමිණි කන්දේපොළ

 


මහාචාර්ය කෝලිතභානු දිසානායක