රාජ්‍ය ආයතන දේපාලනයට යටවීමේ ආදීනව


අප සිටින්නේ පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දෙමිනි. කල්පනාකාරීව මෙම අර්බුදය කළමනාකරණය නොකළ හොත් ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇති විය හැකිය. පළමුව අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ඊට බලපෑ හේතු සෙවිය යුතුය. එසේ කිරීමට අප අපොහොසත් වුවහොත් සිදු වන්නේ ද ප්‍රශ්නයෙහි දිග පළල තවත් වැඩි වීමකි.

මේ අර්බුදයෙහි මූල හේතු ගවේෂණය කිරීමේදී කිව හැකි කාරණය නම්, මෙය හුදු අහම්බයක් නොවන බවය. අප විසින් කාලයක් තිස්සේ නිර්මාණය කර ගන්නා ලද එකකි. පසුගිය කාලයේදී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයට සිදු වූයේ කුමක්ද යන්න විමසීම එහිදී වැදගත්ය. පාලකයන් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙය වූ ආකාරය අනුව අද වන විට රට මේ තත්ත්වයට පත්ව ඇති බව පැහැදිලි වේ.

සමාජ විද්‍යාඥයන් වශයෙන් අප මේ ප්‍රශ්නය දෙස බලන්නේ සමාජමය සහ සංස්කෘතිකමය පැතිකඩවලනි. ඒ අනුව අපට පෙනී යන කාරණය වන්නේ, ඉකුත් කාලය පුරාවට රාජ්‍ය මෙහෙය වූ ආකාරය අනුව විවිධ සමාජ සංස්කෘතික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වූ බවය. නිදහසින් පසු අපි නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් ලෙස ක්‍රියාවට නැංවූයෙමු. ඒ යටතේ නොයෙක් මහජන නියෝජිතායතන පිහිටුවමින් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් කළෙමු. ප්‍රමුඛ මහජන නියෝජිතායතනය වන්නේ පාර්ලිමේන්තුවයි. ඒ, ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක සිටින නිසාය. එබැවින් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය මෙරටේ ඉදිරි ගමනට තීරණාත්මකය.

පාර්ලිමේන්තුවෙන් අපේක්ෂිත අරමුණු සහ ඒවා නිසියාකාරව ඉටු වූයේද යන කාරණය පැහැදිලි කරමින් ප්‍රස්තුතයට ප්‍රවිෂ්ට වීම වැදගත්ය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ රටට අවැසි නීති සම්පාදනය කිරීමයි. දෙවැන්න ප්‍රතිපත්ති සම්පාදනයයි. එහිදී ආර්ථික, සමාජ, සංස්කෘතික, පාරිසරික ආදී විවිධ ක්ෂේත්‍රවලට අදාළ නිසි ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. එය පහසු කර්තව්‍යයක් නොවේ. ඉහත ක්ෂේත්‍රවල ප්‍රගමනය හෝ කඩාවැටීම හෝ තීරණය වන්නේ අප සම්පාදනය කරන ප්‍රතිපත්ති අනුවය. ඒ අනුව සුදුසු ප්‍රතිපත්ති පැනවීම රාජ්‍යයේ ප්‍රධාන වගකීමකි.

තෙවැනි කර්තව්‍යය වනුයේ රාජ්‍ය මූල්‍ය පාලනයයි. ඉහත කී  සියලු දේ කිරීමට රාජ්‍ය මූල්‍ය අවශ්‍ය වේ. විවිධාකාරයේ බදු වලින් රාජ්‍ය මූල්‍ය නිර්මාණය කර ගැනේ. එහිදී සමස්ත රාජ්‍ය මූල්‍ය නිසි ලෙස කළමනාකරණය සහ ආයෝජනය ඉතාමත් තීරණාත්මකය. 

යට සඳහන් කළ ක්ෂේත්‍ර තුනට අදාළ කටයුතු පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කෙරේ. එම කාර්ය ඉටු කිරීමට අපි මහජන නියෝජිතයන් පත් කරන්නෙමු. 1960 සහ 70 දසකවලදී පාර්ලිමේන්තුවේ මූලික කාර්යවලට මැදිහත්විය හැකි තරමේ සුදුසු පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් පත් කර යැවීමට අපට හැකි විය. එහෙත් එම තත්ත්වය පසුව ක්‍රමයෙන් වෙනස් විය. පාර්ලිමේන්තුවේ මූලික කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් නැති සහ ඒවාට තාක්ෂණික වශයෙන් මැදිහත් විය නොහැකි විශාල පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ. මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ වගකීම් තුන වන නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න උද්ගත විය.

කාලීන අවශ්‍යතා මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සිදු වේ. එහෙත් පටු අවශ්‍යතා මත ව්‍යවස්ථා වෙනස් කළහොත් එහි අහිතකර ප්‍රතිඵල සමාජයට බලපායි. පසුගිය දසක දෙකක කාලයේදී සිදු කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සලකා බැලුවහොත් ඒවායෙන් බොහෝ ප්‍රමාණයක් බලයේ සිටි පාලකයන්ගේ දේශපාලනික අරමුණු හා අවශ්‍යතා මත සිදු කර ඇති බව පෙනේ. එවැනි පටු සංශෝධන නිසා සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂිත නීතිමය පදනම ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට නොහැකි වීමය.

රාජ්‍ය ගතහොත් විවිධ අංශවල කටයුතු පහසු කිරීම සඳහා ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටුවා තිබේ. නීතිමය පදනමක් මත ස්ථාපනය කරන ලද එවැනි ආයතන 450 ක් පමණ ඇත. එවැනි විසල් ආයතන පද්ධතියක් පිහිටුවීමේ අරමුණ වන්නේ ඉහත සාකච්ඡා කළ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්ය ත්‍රිත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත්ය. මෙම ආයතන මෙහෙයවීම සඳහා පත්වන්නෝ වෘත්තීය නිපුණත්වයක් සහිත පුද්ගලයෝය. නිදහසින් පසු ජාතික ක්‍රම සම්පාදන මණ්ඩලය නමින් නව ආයතනයක් පිහිටුවන ලදී.

රටට අවශ්‍ය සැලසුම් සම්පාදනය එහි ප්‍රමුඛ වගකීම විය. එහි සාමාජිකයන් වශයෙන් පත් කරන ලද්දෝ එම විෂය සම්බන්ධව සිටි උගතුන් සහ වෘත්තිකයෝය. එහෙත් 1977 දී එම ආයතනය අහෝසි කරන ලදී. එවැනි ආයතන අහොසි කිරීමෙන් සිදුවන්නේ රටේ ක්‍රමසම්පාදන කටයුතු අයාලේ යන තත්ත්වයකට පත් වීමය. පසුගිය දසක කිහිපයක අත්දැකීම් පිරික්සීමේදී ක්‍රමසම්පාදන අංශයේ සිදුව ඇති කඩාවැටීම අවබෝධ කර ගත හැකිය. තවත් මෙවැනි ආයතන බොහෝ ප්‍රමාණයක් පිහිටුවා තිබුණද ස්වාධීන වෘත්තිකයන් මගින් ඒවා මෙහෙයවීම වෙනුවට විවිධ දේශපාලනික අනුග්‍රහ ඔස්සේ පත් වූ පිරිස් විසින් ඒවා පාලනය කරනු ලැබිණි.

මෙපරිදි ආයතනවලට දේශපාලනික මැදිහත්වීම් සිදුවීම මත ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීම ප්‍රබල අභියෝගයක් බවට පත් විය. එයින් සිදු වූයේ එම ආයතනවලින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වීමය. රාජ්‍ය යාන්ත්‍රණය එහි අපේක්ෂිත අරමුණු ඉටු කර ගත නොහැකි තත්ත්වයට පත් වීමෙන් සිදුවන්නේ රාජ්‍ය විවිධ ආකාරයේ ගැටලුකාරී තත්ත්වයට පත්වීමය. පසුගිය කාලයේදී එය දැක ගත හැකි විය.

ජාතික මට්ටමින් තිබිය යුතු වටිනාකම් සමුදායක් රාජ්‍ය යාන්ත්‍රණය සතු නොවීම ප්‍රශ්නයකි. ඒ වෙනුවට බොහෝ ආයතනවලට තිබෙන්නේ ඒවා මෙහෙයවන අයගේ පටු සහ පෞද්ගලික අරමුණුය. රාජ්‍ය ආයතනවලට තිබිය යුත්තේ පටු පෞද්ගලික අරමුණුවලින් ඔබ්බට ගිය පොදු සමාජමය අරමුණුය. පෞද්ගලික සහ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම අතර පැවති ගැටුමෙන් පෞද්ගලික පටු අරමුණු ජය ගන්නා තත්ත්වයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආයතන පද්ධතිය පිරිහුණි. එවිට සිදු වන්නේ රාජ්‍ය ආයතන පද්ධතියෙන් බලාපොරොත්තු වෙන සමාජ, ආර්ථික, සංස්කෘතික සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා නොහැකි වීමය. පාර්ලිමේන්තුව ද ඇතුළත්ව බොහෝ ආයතනවල මේ තත්ත්වය වර්ධනය වීමක් සිදු විය.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවට පත් වූ බොහෝ මහජන නියෝජිතයන් කටයුතු කළේ තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය පිණිස මිස රටේ පොදු අභිවෘද්ධිය සඳහා නොවේ. සෙසු සියලු ආයතනවල උද්ගතව තිබෙන්නේ ද මේ හා සමාන තත්ත්වයකි. අධ්‍යාපන අංශය ගත හොත් මතුපිටින් විශාල දියුණුවක් සිදුව ඇති බව පෙනුණද අභ්‍යන්තරය එතරම් සුන්දර නැත. අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. එය ප්‍රශස්ත අරමුණක් වෙනුවෙන් පිහිටුවූ ආයතනයකි. එහෙත් ප්‍රශ්නය නම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එම ආයතනය ක්‍රියාත්මක වූවේද යන්නය. 1977 න් පසු රාජ්‍ය අධ්‍යාපන රාමුවෙන් පරිබාහිර අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් බිහි විය. ජාත්‍යන්තර පාසල් ඊට දැක්විය හැකි හොඳ නිදසුනකි. පෞද්ගලික ව්‍යාපාර ලියාපදිංචි කරන ආයතනයක් හරහා එම පාසල් ලියාපදිංචි කෙරේ.

රටක ජතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේ නම්, එවැනි සමාන්තර අධ්‍යාපන ආයතන පැවතිය නොහැකිය. රටක අධ්‍යාපන ක්‍රමයට එරටේ රාජ්‍ය වගකිවයුතුය. මෙරටේ අධ්‍යාපන ක්‍රමයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු ද්විත්වය වන්නේ සැමට සමාන අධ්‍යාපනයක් සහ නිදහස් අධ්‍යාපනය සහතික කිරීමය. එහෙත් ඒවා උල්ලංඝනය වෙමින් තිබේ. එබැවින් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි විශාල වියවුල්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. 

පෞද්ගලිකත්වයට මුල්තැන දී පොදු අරමුණු පසෙකලා කටයුතු කිරීම මත සෑම ක්ෂේත්‍රයකම පාහේ මෙවැනි අර්බුද නිර්මාණය වී තිබේ. එම ක්‍රමය අනුව විවිධ අංශවල පිරිස් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීම සිදු විය. නැගෙනහිර ආසියානු රාජ්‍ය හඳුන්වන්නේ කුසලතා මත පදනම් වූ රාජ්‍ය වශයෙනි. එහි අර්ථය නම්, රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමට සම්බන්ධ පිරිස් ඊට අදාළ කුසලතා මත පමණක්ම පත් කළ සුදුසු පුද්ගලයන් බවය. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. විශ්වවිද්‍යාල පද්ධතියේ පවා එවැනි තත්ත්වයක් දැකිය නොහැකිය. මෙපරිදි සෑම ක්ෂේත්‍රයකම උද්ගත වූ ප්‍රශ්න නිසා රට බරපතළ අර්බුදයකට ගමන් කර තිබේ.

එබැවින් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සිදු විය යුත්තේ ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් සහ කුසලතාවලින් හෙබි පිරිසකගේ මැදිහත්වීමෙනි. එහෙත් අද වන විට එම ක්‍රියාවලිය විශාල වශයෙන් බිඳ වැටී ඇත. වැරදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා ණය අර්බුදය ඇති වූයේද එම අංශවලට අදාළව පිහිටුවා තිබෙන ආයතන නිසි පරිදි ක්‍රියාත්මක නොවූ නිසාය.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන පරිද්දෙන් ප්‍රශස්ත ආකාරයට පර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යෑමට අප අපොහොසත් වී ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස රට දරුණු සමාජ ආර්ථික අර්බුදයකට ඇද වැටී ඇත. මෙයින් ගොඩ ඒමට නම්, සිදු වූ දේ යථාර්ථවාදීව තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන යාන්ත්‍රණය ඒවායෙහි අපේක්ෂා ඉටු වන ආකාරයට නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළත යළි රාමුගත කරන්නේ කෙසේද යන්න ගැන අප ගැඹුරින් කල්පනා කළ යුතුය.

එවැනි ප්‍රතිසංවිධානයක් කිරීම පහසු නැත. ඒ, ඊට පොදු එකඟතාවක් තිබිය යුතු නිසාය. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එවැනි එකඟතාවක් ඇති නොවීමට පිළිවන. ඒ, මේ අර්බුදයට ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වගකිව යුතු හෙයිනි. ශ්‍රී ලංකාව කලක් ආසියානු කලාපයේ ගෞරවයට පාත්‍ර වූ රටක් විය. එවැනි රටක් දකුණු ආසියානු කලාපයට අයත් සියලු රටවලට වඩා අර්බුදවලින් පිරි රටක් බවට පත් විය. එබැවින් මා යළිත් අවධාරණය කරන්නේ අපට සිදු වූයේ කුමක්ද යන්න නිවැරදිව වටහා ගත යුතු බවය. සියලු දෙනා ඒවා පිළිගත යුතුය. දෙවැනුව අවශ්‍ය ප්‍රතිකර්ම යෙදිය යුතුය.

මෙම අභ්‍යන්තර අර්බුදයට අමතරව ගෝලීය අර්බුදයක් ද මේ වන විට නිර්මාණය වී තිබේ. එනම්, දේශගුණික විපර්යාසයන්ය. ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් ලොව බොහෝ රටවල් විවිධ පාරිසරික උපද්‍රවවලින් පීඩා විඳිමින් සිටියි. මේ අනතුරෙන් අපටද ගැලවීමක් නැත. එබැවින් එයින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කළ යුතුය. දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය නමින් ආයතනයක් ද මීට ඉහතදී පිහිටුවන ලදී. එහි ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලීම ද වැදගත්ය.

තිරසර සංවර්ධන ඉලක්ක පදනම් කර ගත් සංවර්ධනයක් ගැන ලෝකයේ අවධානය යොමුව තිබේ. එම ප්‍රවණතාව හමුවේ තිරසර සංවර්ධන රාමුවෙන් පිට සංවර්ධනයක් පිළිබඳ අපට සිතිය නොහැකිය. එහෙත් ඊට අදාළ ප්‍රයෝජනවත් කතිකාවක් ලංකාවේ ඇති බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට තිරසර සංවර්ධන කවුන්සලය නමින් ආයතනයක් ද 2017 දී පිහිටුවන ලදී. ඊට අදාළව වෘත්තිකයන් විසින් සකස් කරන ලද දැක්මක් ද ඇති අතර එය විවාදයට ගත හැකි නම් වැදගත්ය.

මේ අනුව පැහැදිලි වන්නේ අභ්‍යන්තර වශයෙන් අප මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට සමාන්තරව ගෝලීය වශයෙන් පැන නැග ඇති අභියෝගවලට ද ආමන්ත්‍රණය කළ යුතු බවය.


කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ

සටහන - උපුල් වික්‍රමසිංහ