රාජ්‍ය ආයතනවලින් ජනතා අපේක්ෂා ඉටුවෙනවාද?


රටේ ඇති එක ගඟකට ඇමැතිවරයකු පත් කළේ යැයි වර්තමානයේ කිසිවකු හෝ පැවැසුවහොත් එය එක් වරම පිළිගැනීමට මැලිකමක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් හයෙන් පහක ජනවරමක් ලැබ ඒ ආනුභාවයෙන් විධායක ජනාධිපති ධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා ගඟකට ඇමැතිවරයකු පත් කළේය. ගඟ මහවැලි ගඟය. ඇමැතිවරයා ගාමිණී දිසානායක මහතාය. අමාත්‍යංශයේ නම මහවැලි සංවර්ධන අමාත්‍යාංශය වේ.

ඉතිහාසයට අනුවත්, වර්තමානයට අනුවත් අනාගතයට අනුවත් එක් ගඟක් වෙනුවෙන් ඇමැතිවරයකු පත් කිරීම අපරාධයක් නොවේ. තිස්වසරකට දින නියම කර තිබූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හය වසරක කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රමයක් බවට පත් වූයේ ඒ අනුවය. එම සංවර්ධන යෝජනා ක්‍රමයේ සාර්ථක ප්‍රතිඵල අදටත් රටට ලැබෙමින් තිබේ. අනාගතයටද එසේමය. රාජ්‍යකරණය යනු එවැනි තුන්කල් දක්නා නුවණින් ගත යුතු තීන්දු තීරණ මතින් ක්‍රියාවට නැගිය යුත්තකි. එහෙත් දේශපාලනය බඩ රස්සාවක් බවට පත් වූ රටක තීන්දු තීරණ ගත යුත්තේ එසේ නොවේ.

පොල් සංවර්ධන මණ්ඩලය, තල් සංවර්ධන මණ්ඩලය, රබර් පර්‌යේෂණ ආයතනය ආදී වශයෙන් නොෙයක් ආකාරයේ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන සෑහෙන ප්‍රමාණයක් මෙරට වේ. ඒ ඒ ක්ෂේත්‍රවල වේගවත්ම දියුණුවක් අපේක්ෂාවෙන් එසේ කෑලි කෑලිවලට කැඩුවා විය හැකිය. එහෙත් වර්තමානයේ ඔප්පු වී තිබෙන්නේ එමගින් අපේක්ෂිත අරමුණු ඉටුවී නැති බවය.

එය එසේ වී තිබෙන්නේ ඇයිද යන්න විමසමින් ප්‍රධාන මාතෘකාවට පිවිසිය හැකිය. මෙම මණ්ඩල ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන පවත්වා ගෙන යනු ලබන්නේ තම හිතවතුන්ට රස්සා ලබා දීමටය. සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් මෙම ආයතනවල සිටින අතර ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවිය යුතුය. 

යාන වාහන ලබාදිය යුතුය. කාර්ය මණ්ඩල පත් කළ යුතුය. ඒ වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් වැය කළ යුතුය. එමෙන්ම මෙම ආයතනවල තනතුරු සඳහා පත් කෙරෙන්නේ අදාළ විෂය සම්බන්ධ ප්‍රමාණික දැනුමක් ඇත්තවුන් නොවේ. ඔවුන්ගේ එකම සුදුසුකම වන්නේ දේශපාලන දාස භාවය පමණි. එම රාජ්‍ය ආයතන රටට බරක් වී සුදු අලි බවට පත් වන්නේ එහෙයිනි. අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියක් එයට කදිම නිදසුනකි.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක් වියදම් කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන බවය. එමෙන්ම තල් සංස්ථාවට මෝටර් රථ ඇතුළු උපකරණ මිලදී ගැනීමට 2017  වර්ෂයේදී හය කෝටි පනස් අට ලක්ෂයක මුදලක් වැයකර ඇති බවත් මේවා මිලදී ගෙන ඇත්තේ අයවැය ලේඛනයේ ප්‍රසම්පාදන නොමැතිව බවත් එම විගණන වාර්තාවේ සඳහන් වන බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ඉහත විගණන වාර්තාවට අනුව බඳවා ගැනීමේ හා උසස්වීම් පටිපාටියේ විධිවිධානවලට පටහැනිව තල් සංවර්ධන මණ්ඩලය නිලධාරීන් අට දෙනකුට රුපියල් හතළිස් හය ලක්ෂයකට වැඩි වටිනා වැටුප් වර්ධක ලබා දී ඇති බවද විගණන වාර්තාවේ සඳහන්ය. ඉහත වැටුප් වර්ධක ලබාදී තිබීම නිසා එම නිලධාරීන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාර අරමුදලට හැට දෙලක්ෂයකට වැඩි අතිරේක දායකත්ව මුදලක් ලබාදී ඇති බවද එම විගණන වාර්තාව පෙන්වා දෙයි.

මහජන මුදල්වලට අත්වී ඇති ඉරණම මෙම විගණන වාර්තාවෙන් වුවද ඉතා පැහැදිලිය. නිලධාරීන් හැන්ද අතේ තබාගෙන තම තමන්ට ඇවැසි පරිදි බෙදාගෙන ඇති බව පැහැදිලිය. එහෙත් කෝටි ප්‍රකෝටි ගණනින් එසේ මුදල් කාබාසිනියා කළද එයින් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට කුමන හෝ ආකාරයක දායකත්වයක් ලැබී තිබේද යන්න මඟහැර යා යුතු නැති ප්‍රශ්නයකි. මෙතරම් මුදලක් වියපැහැදම් කරමින් නඩත්තු කර ඇති මණ්ඩලය එයට හිලව් වශයෙන් තල් සහ තල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කර මෙරටට ඩොලර් කන්ටේනර් පිටින් ගෙන්වා තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවී නැත.

රජයේ විගණන කාර්යාලය නිකුත් කළ බොහෝ වාර්තා පදනම් කර ගනිමින් මෙම තීරුව සෑහෙන වාරයක් ලියැවී ඇත. ප්‍රශ්නය වන්නේ විගණන වාර්තාවෙන් ප්‍රශ්න කිරීමට ලක්වන නිලධාරීන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් වාර්තා නොවීමය.

(***)