සති දෙකකට පෙර මා ලියූ කිවි දා දැක්මේ මාතෘකාව වූයේ ‘ජාතිකවාදය, සමාජවාදය සහ ලිබරල්වාදය’ යන්න ය. ඉන් අවධාරණය කෙරුණේ කවර වාදයක් වුවත් එය ජාතික (රාජ්‍ය) වාදය මත පිහිටා ක්‍රියාත්මක විය යුතු බව ය. ඒ යෝජනාවේ තේරුම් දෙකක් විය. ඉන් පළමුවැන්න වූයේ අප අපේ ජාතික රාජ්‍යය යළි සකසා ගත යුතු බවය. එනම් එහි ආකෘතිය පමණක් නොව අන්තර්ගතය ද ශිෂ්ට සම්පන්න ලෙස යළි සකස් කරගත යුතුය යන්න ය. දෙවැන්න වූයේ ඒ ශිෂ්ට සම්පන්න රාජ්‍යය ගොඩනැගිය යුත්තේ රැඩිකල් ජාතිකවාදී වැඩපිළිවෙළක් මත බව ය.
මෙවර කිවි දා දැක්ම පසුගිය ලිපියේ ඊ ළඟ කොටස ලෙස දැක්වීමට කැමැත්තෙමි. රාජ්‍යයක් යනු හුදු ආණ්ඩු පාලනයක් පමණක් ඇති එකක් ය කියා සිතන පාලකයනුත් බහුතර ජනතාවකුත් සිටින රටකට හොඳ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ලැබෙන්නේත් නැත. එවැන්නක් ගොඩ නගන්නටත් බැරිය. එබැවින් රාජ්‍යයක් යනු ආණ්ඩු විතරක් නොව ජනසමාජයකුත් ඇති සහ ඒ දෙකටම විශාල වගකීම් සහගත කාර්යභාරයක් ඇති සංවිධානයක් බව තේරුම් ගැනීම අප අපේක්ෂා කරන ශිෂ්ට සම්පන්න රාජ්‍යය ගොඩනගා ගැනීමේ පළමු පියවර ය.
කලක සිට මා සිතමින් ලියමින් කියමින් සිටින අදහස් සහ මතාන්තරවලට අලුත් ශක්තියක් ලැබුණු බව ඔබට දන්වනු කැමැත්තෙමි. විජයානන්ද ජයවීර විසින් ලියන ලද ‘සංවිචාරණීය සමාජයක්’ නමැති ග්‍රන්ථය ඒ අලුත් ශක්තිය ය. ඊට පෙර මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පුරවැසිභාවයේ න්‍යායන් සහ භාවිතය අළලා ලියන ලද ්සමාජයේ අපි ඔක්කොම සමානයි?’ ග්‍රන්ථයත් අාචාර්ය ගුණදාස අමරසේකර ගේ ‘සභ්‍යත්ව රාජ්‍යයක්’ නමැති ග්‍රන්ථයත් මහාචාර්ය සුමනසිරි ලියනගේ ගේ ‘සභ්‍යත්ව රාජ්‍යය සහ සමසමාජය’ ග්‍රන්ථයත් මා මේ සිතන ලියන කියන දෑ ට අමතර ශක්තිය සපයන දෑ අතුරින් ප්‍රමුඛ ය.
රාජ්‍යයේ අරමුණ ජනයාට ප්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ලබා දීම බව පැරණි ග්‍රීක පමණක් නොව පැරණි ඉන්දීය දර්ශනයේ ද හරයාත්මක දැක්මකි. එහෙත් ජනතාවගේ ජීවිතය යනු ‘ප්‍රාණය’ ට වඩා වැඩි දෙයක් බව පාලකයනුත් පරිපාලකයනුත් අමතක කොට ඇත. ඒ හිතාමතා ම ය. පාලකයෝ සහ බලවත් පරිපාලකයෝ සිය ‘ප්‍රාණය’ ට එහා ගිය ජීවිතයක රස විඳිති. එසේ ඔවුන් රස විඳින්නේ දෙකෝටියකට වැඩි ජනතාවකට ජීවිතයක් තබා පණ ගැට ගසා ගැනීම පවා අහිමි කරමිනි.
මෙහි උභතෝකෝටිකය වන්නේ පණ ගැටගසා ගැනීමෙන් එහාට ගිය ජීවිතයක් ගැන ජන සමාජයට ද දැක්මක් වැටහීමක් අරමුණක් මැදිහත් වීමක් නොමැතිවීම ය. ඒ අනුව රාජ්‍යයේ සැබෑ අරමුණු පාලකයන් සහ පරිපාලකයන් සොරාගෙන ය. ජනතාව ආණ්ඩුවකට දෙස් දෙවොල් තියනවා මිස රාජ්‍යයේ තම පංගුව වෙනුවෙන් අරගල කරන්නේ නැත.
බොහෝ පාලකයන් සිතා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු නියෝජිතවරණ කියා ය. නියෝජිතවරණවලින් පසු ජනයා නිෂ්ක්‍රීය විය යුතු ය කියා ය. එසේම නියෝජිතවරණ මගින් ජනයා සතු සියලු බලය පාලකයන්ට පවරා දී තම දෑත් හිස්කරගෙන ඇති බවය. ඒ නිසා පාලකයන්ට සිය ලාබ ප්‍රයෝජන සඳහා හිතෙන හිතෙන තාලෙට නියෝජන ආයතනවල වැඩකරන්නට තීරණ ගන්නට හැකිය කියා ය. එහෙත් ජනයා පාලකයන්ට දී ඇත්තේ බලය නොව සීමිත අධිකාරියක් බව ජනයා දන්නේත් නැත. පාලකයෝත් දන්නෙත් නැත, පරිපාලකයෝත් දන්නෙත් නැත. පාලකයෝ සහ පරිපාලකයෝ එය දැනගත්තත් නොදන්නවුන් සේ සිටිති.
බලය ඇත්තේ එනම් එහි පරම අයිතිය ඇත්තේ ජනතාවට ය. ව්‍යවස්ථා, විධායක, අධිකරණ සහ ආණ්ඩු මේ සියල්ල ජනයාගේ පරම බලයට යටින් මිස උඩින් නැත. බලයට වඩා අධිකාරිය කුඩා ය. සීමිත ය. එසේම ජනයා සතු පරම බලයෙන් කුඩා සහ සීමිත කොටස් වන අධිකාරි ඔවුන් සිය ප්‍රයෝජනය සඳහා පවරා ඇත්තේ ජනාධිපතිට, පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට සහ ප්‍රාදේශීය ආණ්ඩුවලට පමණක් නොවේ ය.
සියලු පරිපාලන ආයතනවලට පවරා ඇත්තේ ද එවැනි සීමිත අධිකාරි කොටස් බව අප කවුරුත් දැනගත යුතු ය. ඒ අනුව නියෝජිතයා යනු ජනයාගේ මෙවලමක් මිස ජනයා යනු නියෝජිතයන්ගේ මෙවලම් නොවේ ය. එසේම පරිපාලකයා යනු ද ජනතාවගේ මෙවලමක් මිස ජනතාව යනු පරිපාලකයන්ගේ හිතුමතේට කිරීමට නොකිරීමට සැලකීමට නොසැලකීමට ලක් කළ හැකි සහ යුතු පිරිසක් නොවේ ය. මන්ද පරිපාලකයන්ට දී ඇත්තේ ද සියලු බලය නොව සීමිත අධිකාරියක් වන නිසා ය.
එහෙත් ලංකාවේ සිදු වී ඇත්තේ පරම බලය හිමි ජනතාවට වඩා පාලකයන් පරිපාලකයන් බලවත් වීමය. ජනාධිපති, පාර්ලිමේන්තුව, ව්‍යස්ථාදායකය, විධායකය, අධිකරණය, පළාත් ආණ්ඩු සහ ප්‍රාදේශීය ආණ්ඩු බලවත් වීම ය. ඒ කිසිම තැනක් ජනතාව ගණනකට ගන්නේ නැත. ජනයාට වටිනාකමක් දෙන්නේ නැත. ලංකාවේ නියෝජිතයන් ජනතාවගේ නියෝජිතයෝ නොව තම නායකයන්ගේ හෝ ආණ්ඩුවේ නායකයන්ගේ නියෝජිතයෝ ය.
පාර්ලිමේන්තුවේ සිටින්නන් පත්කරන්නේ ජනතාව වූවාට ඒ අය නියෝජනය කරන්නේ ජනතාවගේ වුවමනා එපාකම් නොවේ ය. පාර්ලිමේන්තුවත් ජනාධිපතිගේ ය. පළාත් ආණ්ඩුත් ජනාධිපතිගේ ය. ප්‍රාදේශීය ආණ්ඩුත් ජනාධිපතිගේ ය. එසේ වූ අවධි අපි ඕනෑවටත් වඩා අත්දැක ඇත්තෙමු. සමහර කාලවල ආණ්ඩුවත් ජනාධිපතිගේ ය. විපක්ෂයත් ජනාධිපතිගේ ය. ඒ අනුව සමස්ත රාජ්‍යයම බූවල්ලන් කීප දෙනකුගේ ග්‍රහණයට නතු වී ඇත. හිතවත් පාඨකයනි ඔබ යන එන ඕනෑම ආණ්ඩුවේ ආයතනයක් කාර්යාලයක් මේ සඳහා උදාහරණ ලෙස සලකා බලන්න. එවිට ඔබ අප සමඟ එකඟ වනු ඇත.
මේ අප මුහුණ දෙමින් සිටින මහා අර්බුදය ඛේදවාචකය ඔය ඉහත කී විකෘතියේ ප්‍රතිඵලයයි. මේ රාජ්‍යය යහපත් ආකාරයෙන් යළි සකසා ගොඩනගා ගැනීමට නම් ඒ තත්ත්වය වෙනස් කළ යුතු ම ය. මේ ඊට හොඳම මොහොතය. එහි දී පළමු කල්පනාව විය යුත්තේ මේ ඇටුවම් බැහැපු පාලකයන්ට සහ පරිපාලකයන්ට මේ දේ කළ හැකිද යන්නය. දෙවැනි කල්පනාව විය යුත්තේ ඒ සදහා මේ අය පොළඹවා ගන්නේ යොදවා ගන්නේ කෙසේ ද යන්න ය.
තුන්වැනි කල්පනාව විය යුත්තේ මේ අයට බැරිනම් කොයි අයට ආණ්ඩුබලය දුන්නොත් මේ වැඩේ කරවා ගත හැකිද යන්න ය. හතරවැනි කල්පනාව විය යුත්තේ හුදු ආණ්ඩුවකට පමණක් මේ වැඩේ කළ හැකිද යන්න ය. පස්වැනි කල්පනාව විය යුත්තේ ආණ්ඩුවට වඩා සමාජ බලය විධිමත් කොට සංවිධානගතකොට ජනසමාජය දැනුවත්කොට සහ ශක්තිමත් කිරීම මගින් මේ වැඩේ කළ නොහැකි ද යන්න ය.
ප්‍රංශ සමාජ දේශපාලන චින්තකයකු වන අලාන් බදියු අනුව යමින් විජයානන්ද ජයවීර යෝජනා කරන්නේ අප පස්වැන්න ගැන වැඩියෙන් කල්පනා කළ යුතු බව ය. මාත් ඊට එකඟය. ජනාධිපති සහ පාර්ලිමේන්තුව ජන සමාජයට වඩා උත්තරීතර නොව වගවීම් සහගත විය යුතු ය. පාර්ලිමේන්තුව වග උත්තර බැඳිය යුත්තේ එහි නිර්මාණකරුවන් වන ජන සමාජයට මිස ජනාධිපතිට නොවේ ය. මන්ද පාර්ලිමේන්තුවට ජනයා දී ඇත්තේ සීමිත සහ නැවත ගත හැකි අධිකාරියක් මිස බලයක් නොවේ ය. එසේම නියෝජිතයා වගඋත්තර බැඳිය යුත්තේ ද ජනතාවට මිස පක්ෂයට හෝ එහි නායකයන්ට නොවේ ය. අධිකාරිය යනු බලයෙන් කුඩා කොටසක් මිස සියල්ල නොවේය. අපේ රටේ පාලකයන් සහ පරිපාලකයන් මේ ගැන දන්නේ හෝ ඊට ගරුකරන්නේ නැත. ඔවුන් සිතා ඉන්නේ ජනතාව නිෂ්ක්‍රීය කවන්ධයක් කියා ය. අදේශපාලනික සත්ව කණ්ඩායමක් කියා ය. එය නිවරදි නැත.
ශිෂ්ටසම්පන්න සමාජයක් අපට අවශ්‍ය නම් අප කළ යුත්තේ සමාජ බලයෙන් පාලක ක්‍රියාකාරකම් නියාමනය කිරීම ය. ව්‍යවස්ථා සම්පාදනය නීති සම්පාදනය ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය විගණනය හුදු පාර්ලිමේන්තුවේ කටයුත්තක් පමණක් නොවිය යුතු ය. ඒ සඳහා ජන සමාජයේ සක්‍රීය සහ දියුණු දායකත්වය සහ මැදිහත්වීම ලබාදීමේ පටිපාටි සකසා ගත යුතු ය. රාජ්‍ය ආයතන නියාමනය සහ සෝදිසි කරන විධිමත් සමාජ සංවිධාන ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම මත පදනම් වෙමින් සකස් කරගත යුතු ය. දේශපාලනය බලය හඹායන්නන්ගෙන් ගලවාගෙන එය යුක්තිය සහ සාධාරණත්වය හඹායන්නන්ගේ ක්‍රියාන්විතයක් ය යන්න සෑම සමාජ සාමාජිකයකුගේම මනසට කාන්දු කරවිය යුතු ය. රාජ්‍යය මිස ආණ්ඩු බලවත් නොකළ යුතු ය. මන්ද රාජ්‍යය යනු ජනසමාජය ය. ආණ්ඩුවක් යනු ඒ ජනසමාජයේ උපකරණයක් ය. ජනසමාජයට වඩා බලවත් ආණ්ඩු තිබිය නොහැක.
ආණ්ඩුවක කාර්යභාරය විය යුත්තේ සමාජ යුක්තිය සහ සාධාරණත්වය කෙරෙහි වන සමාජ වුවමනාවට සහය දීම මිස ආණ්ඩු බලය හොබවන්නන්ගේ පැවැත්ම සඳහා ජන සමාජය මිරිකා දැමීම නොවන බව හය හතර නොදත් පාලකයන්ට සහ පරිපාලකයන්ට උගන්වන විධිමත් ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ඉස්කෝල ඇති කිරීමට මේ හොඳම කාලය ය. මෙවැනි අර්බුදයක් ඛේදවාචකයක් නිසාවත් රාජ්‍යය සැකසීම පිළිබඳ නව දැක්මක් අප සකසා නොගත්තොත් ඒ දැක්ම නිසි ලෙස සමාජ ගත නොකළහොත් ඒ දැක්මට ගරුකරන පාලක පරිපාලක සංස්කෘතියක් ගොඩනගා නොගත්තොත් අප වැටෙන්නේ රෑ වැටුණු වළේ මහ දවාලේ ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ, ධම්ම දිසානායක