රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු


රටේ තත්ත්වය යහපත් නොමැති බව එකක් පසු පස එකක් වශයෙන් පළවන ප්‍රවෘත්තිවලින් පැහැදිලිය. කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ආශ්‍රිත වතුවලින් මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද කොරෝනා ආසාදිතයන් පොකුරු පිටින් හමුවෙමින් පවතී. පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදකලා කර විසි දෙදාහක් නිරෝධායනයට යොමු කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය. රටේ තත්ත්වය යහපත් නොමැති බවට එම ප්‍රවෘත්ති වුවද සාක්ෂි වේ.

ලෝක වසංගත තත්ත්වයක් වන කොරෝනා මාරාන්තික උවදුරට තවමත් නිශ්චිත ඖෂධයක් නැත. නිරෝධායනය පමණක් විසඳුම ලෙස ප්‍රකාශයට පත් වී තිබේ. මෙම රෝගයෙන් ගැලවී ගත හැකි වන්නේ පමණට වඩා ආරක්ෂා වීමෙනි. ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සඳහා මැළි නොවිය යුතුය. සුළු හෝ අත්වැරැද්දක් තමන්ට මෙන්ම තමන්ගේ පවුලේ සමිපතමයන්ට මරණය රැගෙන ඒමකි.

විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන ගැනීමට අසමත් වන්නේනම් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය අතිමහත්ය. මාසයකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ රටම ඇඳිරි නීතියේ ගිල්වා තිබිණි. දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය ලිහිල් කළ ද එම ලිහිල් කිරීම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමාණවත් නැත. රටේ ප්‍රධාන වාණිජ අග නගරය අඳිරියෙහි ගිල්වා තිබිය දී රට සාමාන්‍ය අතට පත් කිරීම කිසිලෙසකින් හෝ පහසු කාර්යයක් නොවේ.

රට මෙසේ ඉදිරියට යා නොහැකිය. අප රටේ නිෂ්‍පාදන ආර්ථිකය මෙන්ම සේවා ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබේ. ලෝක පරිමාණයෙන් ද වසංගත තත්ත්වයක් ඇතිවන බවට ඉඟි පළ කර තිබේ. එහෙයින් මේ ව්‍යසනයෙන් මිදීම සඳහා මුළු වැර යොදා කටයුතු කළ යුතු එකොළොස් වැනි පැය එළැඹ තිබෙන බව අවිවාදාත්මකය.

කොරෝනා මාරාන්තික උවදුරට එරෙහිව රටක් ලෙස අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් මගින් පමණක් මෙම උවදුර මුලිනුපුටා දැමිය නොහැකි බව පැහැදිලිය. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කොරෝනා සැක රෝග ලක්ෂණ පහළවීම නිසා ලංගම ඩිපෝ අධිකාරිවරයකුගේ බිරිඳ හා පුතා පරීක්ෂණ සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත්, මෙම ඩිපෝ අධිකාරිවරයාගේ පුතා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගී මාළු ව්‍යාපාරිකයා පදවා ගෙන ගිය යතුරු පැදියක පසුපස අසුනේ මීට දින කිහිපයකට ඉහත දී හිඳගෙන ගොස් ඇති බවත් එම පුතා එම සිද්ධිය වසන් කර තිබූ බවත්ය.

මෙහිදී මතුවන ගැටලුවක් තිබේ. මාළු ව්‍යාපාරිකයා එම ව්‍යාපාරයේ යෙදෙන විට ඔහු සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු යැයි හැඟීමක් සාමාන්‍ය කෙනෙකුට ඇති විය හැකිය. එහෙයින් විශේෂ ආරක්ෂාවකින් තොරව ඔහු සමග ගනුදෙනු කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. මිනිසුන් සමග විවිධාකාරයෙන් ගනුදෙනු කරන පුද්ගලයන්ට අදාළව ද මෙය පොදු තත්ත්වයකි.

‘චූන් පාන් වෙළෙන්දාද’ එක් උදාහරණයකි. ඔහු බොහෝ ප්‍රදේශවල සැරිසරයි. මෙහිදී විශේෂ සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින ලෙස උපදෙස් දී තිබේ. එහෙත් එබඳු වෙළෙන්ඳන් සමග විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළකින් තොරව කටයුතු කිරීම සාමාන්‍ය ජනයාගේ ස්වභාවයය. ගමට හෝ නගරයට පැමිණ විවිධ වෙළෙඳාම් කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට මෙන්ම විවිධ රාජකාරී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට ද මෙය පොදු තත්ත්වයකි.

කොරෝනා රෝගී මාළු වෙළෙන්දා සමග යතුරු පැදියේ එකට ගමන් කිරීම නිසා එම පුතාටත් මවටත් කොරෝනා සැක රෝගී තත්ත්වයක් ඇති වී තිබේනම් මෙසේ මහජනයා සමග විවෘතව ගනුදෙනු කරන පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොකළ සෞඛ්‍යමය විධි විධාන ක්‍රියාවට නැගිය යුතුය.

එබඳු පිරිස් විශේෂ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන්ට කොරෝනා සැක රෝග ලක්ෂණ පහළ වී ඇද්ද නැද්ද යන්න නිරීක්ෂණය කළ යුතුය. එබඳු රෝග ලක්ෂණ පහළ වී නොමැතිනම් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ඔහුට නිකුත් කළ හැකිය. එළැඹ ඇති අනතුරට මෙබඳු පිළියම් වඩාත් යෝග්‍ය බව ඉතාම පැහැදිලිය.

මේ මොහොතේ ඇති අවදානම එයට හිමි සැබෑ අර්ථයෙන්ම හඳුනා ගත යුතුය. එසේ හඳුනා ගනිමින් එයට අදාළව ක්‍රියාත්මක කළ යුතු සෑම විධිවිධානයක්ම ක්‍රියාත්මක කළ යුතුය. මෙය එක් අතකින් අතිශයින්ම දුෂ්‍කර විය හැකිය. සංකීර්ණ විය හැකිය. එහෙත් කොරෝනා රෝගීන් පොකුරු පිටින් බිහි වී මේ රට පතුළ නොපෙනෙන අගාධයකට ඇදවැටීම වැළැක්වීමට නම් කුමන දුෂ්කර තත්ත්වයක් තුළ වුවද කළ යුතු දේ කළ යුතුමය.